සති අන්තයේ කෑමකට ගැළපෙනම මෙනු එක

කෑම වේලක රස රහස
අප්‍රේල් 29, 2024

මේ සති අන්තයට වෙනසක් එකතුකර ගන්න හිත හිත ඉද්දිම මගේ හොඳම මිතුරිය එයාගේ නිවෙසේ කෑමකට අපි ඔක්කොටම එන්න කියලා ආරාධනා කළා.. මම ඒ ආරාධනය බාර ගත්තේ හරිම සතුටින්. මොකද එයාගේ කෑමවල රස මම හොඳටම දන්නවා. ඉතින් අපේ පවුලේ හැමෝම වගේ ලෑස්ති වෙලා තනුජාගේ නිවෙසට ගියේ රසම රස කෑම වේලක රස බලන්න. මම ආසම විදිහේ කෑම ටිකක් තමයි ඒ කෑම මේසයේ තිබුණේ. කහ බතක් හදලා, චිකන් කරියක් හදලා... එතකොට එළවළු සලාදයක්.. රටකජු බැදුමක්... මිංචි සම්බෝලයක් තව මහ ගොඩක් ජාති ඒ කෑම මේසයේ තිබුණා. ඒ කෑම වේලේ තිබුණේ හරි අපූරු ගැළපීමක්. එකකට එකක් වෙනස් ඒ කෑම ටිකේ රස එකට එකතු වුණාම තිබුණේ පුදුම රසයක්. හරි රහට තිබුණ කෑම වේල කොහොම එකක්ද කියලා දැන ගන්න ඔයාලත් ආස ඇති.. ඒ කෑම ටික ඒ විදිහටම හදලා ඔයාටත් පුළුවන් ළඟම ඉන්න හිතවතියකට හිතවතෙකුට ඔයාගේ කෑම රස බලන්න ආරාධනයක් කරන්න. එහෙනම් මේ විදිහට හදලා බලමු.

අමුත්තෙක් ගෙදර එනවා කියන්නේ ඉතින් කුකුළුමස් කරියක් වරදින්නේ නැහැ..මෙදා සැරේ මේ කුකුළුමස් කරිය හදන්නේ අපේ අත්තම්මලා හදපු ගමේ ක්‍රමයටයි. මේ සඳහා සෝදා පිරිසුදුකර කපාගත් කටු සහිත කුකුළු මස් ග්‍රෑම් 400ක්, හීනියට කපාගත් ලූනු පොඩි ගෙඩියක්, තළාගත් ඉඟුරු, සුදුලූනූ, රම්පෙ, කරපිංචා, සේර කෑල්ලක්, මහදුරු ඇට තේ හැඳි 1/2, කොත්තමල්ලි ඇට තේ හැඳි 1/2, කරදමුංගු 2ක්, කරාබුනැටි 5ක්, පොඩි කුරුඳු කෑල්ලක්, මිරිස් කුඩු තේ හැඳි 2ක්, බැදපු පහේ තේ හැඳි 1 1/2ක්, ගම්මිරිස් කුඩු තේ හැඳි 1ක්, ලුණු රස අනුව, විනාකිරි මේස හැන්දක් සහ සීනි තේ හැඳි 1/2ක් මේ සඳහා අවශ්‍යයි.

 පළමුව මස්වලට විනාකිරි, ගම්මිරිස්, ලුණු, මිරිස්, බැදපු පහේ ටික දාලා හොඳින් අනාගෙන විනාඩි 30ක් සීසන් වෙන්න තියාගන්න. ඒ අතරතුර මහදුරු සහ කොත්තමල්ලි යන්තම් කබලේ බැදගෙන කුඩුකර ගන්න.

මැටි වළඳක් රත් වෙන්න තියලා ඒකට තෙල් මේස හැඳි තුනක් එකතු කරගෙන, තෙල් ටික රත් වෙන කොට පිළිවෙළින් රම්පෙ, කරපිංචා, සේර, කරදමුංගු, කරාබු නැටි, කුරුඳු එකතු කරන්න. ඒ ටික සුවඳ එන්න බැදෙන කොට ලූනු එක්ක ඉඟුරු, සුදුලූනු එකතු කරගෙන ළූණු රන්වන් පාට වෙනකම් තෙම්පරාදුකර ගන්න.

ඒකට සීසන්කර ගත්ත චිකන් ටික එකතු කරගෙන කලවම් කරන් ළිපේ ගින්දර අඩුම කරලා පියනකින් වහල මඳගින්නෙ පිසෙන්න අරින්න. විටින් විට කලවම් කරගන්න.

කුකුළුමස්වල ඇති වතුර එළියට ඇවිත් මස් ටික තැම්බෙන්න පටන් ගත්තට පස්සෙ කබලෙ බැදලා එකට කුඩු කරගත්ත මහදුරුයි, කොත්තමල්ලියි එකතු කරන් කලවම් කරගෙන වතුර හෝ මිටි කිරි (කැමැත්ත අනුව අරගෙන) මස් එකෙන් භාගයක් වැහෙන ගාණට දාලා මඳ ගින්දරේම හිඳෙන්න තියන්න.

 

උපදෙස්

සූපවේදී

සුජිත් ආරියරත්න

 

කහ බත

මේ කහ බත හදන්න කීරි සම්බා හෝ බාස්මතී කිලෝ 1ක්, ලොකු පොල් ගෙඩි 1/2ක පොල් කිරි, කරඳමුංගු කරල් 1ක් කහ කුඩු තේ හැඳි 1ක්, කරාඹුනැටි 2ක්, සිහින්ව කපාගත් රතු ලූනු ගෙඩි 6ක්, උම්බලකඩ තේ හැඳි 2ක්, රම්පෙ කෑල්ලක්, කරපිංචා ඉති 1ක්, කුරුඳු පොතු කෑල්ලක්, මාගරින් මේස හැඳි 5ක්, තළාගත් අමු ඉඟුරු පෙති 1ක්, තළාගත් සුදුලූනු බික් 3ක් සහ ලුණු කුඩු මේස හැඳි 1ක් අවශ්‍යයි.

 

පළමුව හාල් ටික සෝදා දිය බේරෙන්න පසෙකින් තබන්න. බඳුනකට මාගරින් දමා ළිප තබා කරපිංචා, රතු ලූනු, සුදුලූනු, අමු ඉඟුරු හා රම්පේ දමා තැම්බීගෙන එන විට උම්බලකඩ, කුරුඳුපොතු, කරඳමුංගු, කරාඹුනැටිත් එකතුකර ලූනු දුඹුරු පැහැය වනතෙක් බැදගන්න. පොල් කිරි ටිකට කහ සහ ලුණු මිශ්‍රකර, එයට එකතුකර කලවම්කර හැඳි ගාන්න.

 

කිරි රත් වනවිට එයට හාල් දමන්න. හාල් තැම්බෙන ප්‍රමාණයට කිරි මදි බව පෙනේ නම් නටන වතුර ටිකක් එකතුකර අඩිය අල්ලන්න නොදී දෙතුන් වතාවක් හැඳි ගාන්න. කිරි හිඳුණු පසු ළිප නිවා පිළිගන්වන තෙක් බත ලිප මතම තබා වසා තබන්න. පිස ගත් කහ බත් සමඟ සීනි සම්බෝල, වම්බටු මෝජු, මාළු, මස් ව්‍යෑංජන, අච්චාරු ආදිය සමඟ උණුවෙන් පිළිගන්වන්න.

 

 

මාළු ඩෙවල්

කුකුළු මස් කන්නේ නැති කෙනෙක් එහෙම හිටියොත් ඒ අයට හරියන මාළු ඩෙවල් එකක් හදලා තිබ්බොත් හොඳයි නේද? ඒ අයටයි මේ මාළු ඩෙවල් එක.

 

තෝර මාළු ග්‍රෑම් 500ක්, ලොකු ලූනූ ග්‍රෑම් 50ක්, මාළු මිරිස් ග්‍රෑම් 100ක්, තක්කාලි ගෙඩි 02ක්, අමු මිරිස් කරල් 05ක්, මිරිස් කුඩු තේ හැඳි 2ක්, කෑලි මිරිස් තේ හැඳි 1ක්, තක්කාලි සෝස් තේ හැඳි 5ක්, සීනි ස්වල්පයක් සහ ඉඟුරු ස්වල්පයක් අවශ්‍යයි.

පළමුව තෝර මාළු කුඩා කැබලිවලට කපා සෝදා ලුණු, ගම්මිරිස් දමා අතගා විනාඩි 15ක් පමණ තබා ගැඹුරු තෙලේ බැද ගන්න. ලොකු ලූනූ ගෙඩි 4ට පළා පියලි ගලවා ගන්න. මාළු මිරිස්වල ඇට ඉවත්කර කැමති හැඩයකට කපා ගන්න. තක්කාලි දිග අතට කපා ගන්න. තෙල් ළිපේ තබා රත්වූ විට තළාගත් ඉඟුරු, සුදුලූනූ, කැපූ අමු මිරිස්, මාළු මිරිස්, ලූනු එකතු කරන්න. එය තෙම්පරාදු වූ විට කෑලි මිරිස්, මිරිස් කුඩු එක් කරන්න. තක්කාලි සෝස් හා වතුර ස්වල්පයක්ද එක් කරන්න. උකු ගතිය ඇතිවන විට තක්කාලි කැබලි දමා ඒවා තැම්බීගෙන ඒමට පෙර ළිපෙන් බා ගන්න.

 

එළවළු සලාදය

කහබතකට එළවළු සලාදයක් නැතුවම බෑනේ. මේ විදිහට එළවළු සලාදය හදලා බලමු.

පිපිඤ්ඤා ගෙඩි 01 ක්, මස් තක්කාලි ග්‍රෑම් 250ක්, කැරට් ග්‍රෑම් 250ක්, බීට් ග්‍රෑම් 250ක්, අමු අන්නාසි ගෙඩි 01ක්, මාළු මිරිස් ග්‍රෑම් 100ක්, ලුණු , ගම්මිරිස්, සීනි සහ දෙහි යුෂ මෙය සැකසීම සඳහා අවශ්‍යයි.

පළමුව කැරට් හා බීට්රූට් තම්බා හතරැස් හැඩයට කුඩා කැබලිවලට කපාගන්න. පිපිඤ්ඤා ගෙඩියද සෝදා මද ඉවත්කර සමාන හතරැස් කෑලිවලට කපාගන්න. අමු අන්නාසි ගෙඩියද ශුද්ධකර එසේ කෑලිවලට කපාගන්න. මාළු මිරිස් රවුම් පෙති කපාගන්න. මස් තක්කාලිද හතරැස් කෑලිවලට කපාගන්න.

මේ සියලුම එළවළු පැතලි දීසියක දමා ගම්මිරිස් , ලුණු කුඩු, දෙහි හා සීනි දමා කලවම් කරන්න. කැරට් හා බීට් උඩින් දමන්න. ඉන්පසු මාළු මිරිස් පෙති ද තබන්න. මෙය විශේෂ කෑම මේසයට අගනා කෑමකි.

 

 

අල තෙම්පරාදුව

 

අල තෙම්පරාදුව සැකසීම සඳහා අල ග්‍රෑම් 250ක්, ලොකු ලූනු 2ක්, අමු මිරිස්, සුදුලූනු, රම්පෙ, කරපිංචා, කුරුඳු, කෑලි මිරිස්, තෙල්, ලුණු සහ දෙහි යුෂ අවශ්‍යයි.

පළමුව අල හොඳින් ශුද්දකර වතුර දමා තම්බා ගන්න. අවශ්‍ය ප්‍රමාණයට කපා ගන්න. මැටි හට්ටියක් ගෙන ඊට තෙල් දමා රත් වනවිට, කරපිංචා දමා බැද ගන්න.

ඊට ලොකු ලූනු, අමු මිරිස්, සුදු ලූනු, කුරුඳු, කෑලි මිරිස් දමා බැද ගන්න. රන්වන් පැහැවී හොඳ සුවඳක් එනවිට අල දමා කලවම්කර ළිපෙන් බාගන්න.

නිවුණු පසු ඊට දෙහි යුෂ එක් කරගෙන කවලම් කරන්න.

 

 

රටකජු බැදුම

 

ලොකු පොඩි හැමදෙනාම රටකජු කන්න නම් හරිම කැමැතියි. බතට වෙනස්ම රසයක් එක් කරගන්න ඉතා රසවත් රටකජු බැදුමක් හදල බලමු ද?

මේ සඳහා පොතු සහිත රටකජු මිටක්, ක්ෂණික නුඩ්ල්ස් පැකට් 1ක්, කපාගත් රතුලුනු ගෙඩි 2ක්, තළාගත් සුදුලූනු ගෙඩි 2ක්, කරපිංචා අහුරක්, කෑලි මිරිස් තේ හැඳි 2ක්, මිරිස් කුඩු තේ හැඳි 1ක්, කහ කුඩු තේ හැඳි 1ක්, බැදීමට තෙල්, දෙහි යුෂ ස්වල්පයක් සහ රස අනුව ලුණු අවශ්‍යයි.

පළමුව භාජනයක් ළිප තබා එයට තෙල් වැඩිපුර දමා අඩු ගින්දරේ රත් වෙන්න තබන්න. රටකජු  රන්වන් පාට වනතුරු බැද ටිෂු කඩදාසියක් මත තබා තෙල් බේරෙන්නට තබන්න. නුඩ්ල්ස් ටික තරමක් දිගට කඩා රන්වන් පාට වනතුරු බැද තෙල් බේරෙන්නට තබන්න. කරපිංචා කොළ සහ සුදුලූනු ද එසේම බැදගන්න. රතුලූනුවලට කහ මිශ්‍රකර බැදගන්න.  ඒ ආකාරයෙන් කෑලිමිරිස් ද රන්වන් පැහැ වනතුරු විනාඩි 15ක් බැදගන්න. ඉන්පසු බැදගත් සියල්ල එක්කොට එයට මිරිස්, ලුණු, දෙහියුෂ එකතුකර හොඳින් මිශ්‍ර කරගන්න. මෙය සෑදූ විගසම පිළිගැන්විය හැකිය. නැතිනම් නිවුණු පසු බෝතලයකට අසුරා වෙනත් අවස්ථාවක දී ප්‍රයෝජනයට ගත හැකියි.

රටකජු තද දුඹුරු පාට වනතුරු තෙල්වල තැබීමෙන් කර වු රසයක් ලැබෙන නිසා රටකජු සාමාන්‍ය පාටට දුඹුරු පාට වු විගස තෙල්වලින් ඉවතට ගන්න. උත්සව අවස්ථා සඳහා මෙන්ම එදිනෙදා කෑම වේල රසවත් කරන්නත් මෙම රසවත් රටකජු බැදුම ප්‍රයෝජනවත් වේවි.

 

 

මිංචි සම්බෝලය

 

කහ බතක, බිරියානි බතක රස වැඩි කරන්න මිංචි සම්බෝලයට තියෙන්නේ පුදුම හැකියාවක්.

 

මේ මිංචි සම්බෝලය හදන්න මිංචි කොළ ග්‍රෑම් 100ක්, ගා ගත් පොල් ග්‍රෑම් 150ක්,

සුදුලූනු බික් 3ක්, හීනියට කපා ගත් අමු මිරිස්  5ක්, ගම්මිරිස් තේ හැඳි 1ක්, අවශ්‍ය ප්‍රමාණයට දෙහි යුෂ සහ

ලුණු පදමට අවශ්‍යයි.

මිංචි කොළ, පොල්, සුදුලූනු, අමු මිරිස් සහ දෙහි යුෂ බ්ලෙන්ඩර් එකට දමා පදමට ලුණු සහ ගම්මිරිස් දමන්න. ඉන්පසු හොඳින් උකු වන තුරු බ්ලෙන්ඩ් කරගන්න.