විවිධ රසට අයිස් ක්‍රීම්

මැයි 6, 2024

 

පළමු ක්‍රමය

 

වැනිලා අයිස් ක්‍රීම්

 

අවශ්‍ය දේවල්

විපිං ක්‍රීම් මිලිලීටර් 500ක්

කන්ඩෙන්ස් මිල්ක් මිලිලීටර් 400ක්

වැනිලා එසන්ස් තේ හැඳී 2ක්

 

සාදමු

විපිං ක්‍රීම් බීට් කරන්න කලින් ශීතකරණයේ තබා ගන්න. ඔයාලා විපිං ක්‍රීම් වෙළෙඳ පොළෙන් ගෙනාවම ශීතකරණයේ සාමාන්‍ය කොටසේ තබන්න. විපිං ක්‍රීම් ඉඩ ඇති භාජනයකට එක්කර ප්‍රමාණය දෙගුණයක් වෙන තරමට හොඳීන් බීට් කරන්න. පීක්ස් තරමට ආවම එයට කන්ඩෙන්ස් මිල්ක් එකතු කරන්න. වැනිලත් එකතුකර හොඳීන් කලවම් කරලා විනාඩි දෙක තුනක් බීට් කරන්න. සුදුසු භාජනයකට මිශ්‍රණය එක් කර භාජනය හොඳීන් වහන්න. පැය හයකට විතර පස්සේ කෑමට ගන්න.

 

චොකලට් අයිස් ක්‍රීම්

චොකලට් අයිස් ක්‍රීම් සඳහා ඉහත සඳහන් ආකාරයට සාදාගත් මිශ්‍රණයට වැනිලා එකතුකිරීම වෙනුවට කොකෝ පවුඩර් කෝප්ප 1/2ක් (ග්‍රෑම් 60ක්) එක් කරන්න. නුතෙල්ලා රසින් අයිස් ක්‍රීම් සාදාගැනීමට ඉහත සඳහන් ආකාරයට විප් ක්‍රීම් බීට්කර එයට කන්ඩෙන්ස් මිල්ක් සහ හේසල් නට් ක්‍රීම් (Nutella) කෝප්ප 1ක් එක්කර බීට්කර ගන්න.

 

පලතුරු මිශ්‍ර අයිස් ක්‍රීම්

ස්ට්‍රොබෙරි, චෙරි, අඹ, දිවුල්, අන්නාසි පලතුරු රසින් අයිස් ක්‍රීම් සාදාගැනීමට පලතුරු ග්‍රෑම් 300ක් පමණ බ්ලෙන්ඩ් කර එකතු කරන්න. අවසානයට පලතුරු පුංචියට කපා එකතුකර කලවම් කර අධි ශිතකරණයේ තබන්න. පලතුරු උණුකර සිරප් එකක් සාදා එකතු කළ විට අයිස්ක්‍රීම් තවත් රසවත් වේ.

චොකලට් බිස්කට් පොඩි කැබලිවලට කුඩුකර ඉහත සඳහන් ආකාරයට අයිස්ක්‍රීම් මිශ්‍රණය සාදා එක්කර හොඳීන් කලවම් කර ශීතකරණයේ තබන්න.

 

ෆෘට් ඇන්ඩ් නට් අයිස්ක්‍රීම්

ෆෘට් ඇන්ඩ් නට් අයිස්ක්‍රීම් සඳහා නට්ස් වර්ග පුංචියට කපා එක් කරන්න. ඔයාලට පුළුවන් රෝස්ට් කරගත් කජු, රටකජු, ආමන්ඩ්, හේසල්නට් එකතුකරන්න. කැන්ඩීඩ් ෆෘට්ස් නට්ස් සමඟ සාදා ගත් අයිස් ක්‍රීම් මිශ්‍රණයට එකතු කරන්න. ඉන්පසු ශීතකරණයේ තබා පිළිගන්වන්න. ෆුඩ් කලරිං එසන්ස් වර්ග ද එක් කරන්න පුළුවන්.

 

බටර්ස්කොච්

බටර්ස්කොච් අයිස්ක්‍රීම් සෑදීමට, සීනි කෝප්ප කාලක් පමණ උණුකර පැණි පාටට එද්දී බටර් තේ හැන්දක් එකතු කරන්න. එයට පොඩියට කපා ගත් කජු එකතු කරන්න. ආමන්ඩ්, රට කජු, හේසල්නට් ඔයාලට තියෙන වර්ගයක් ගන්න. බේකිං පේපර් එකක් මතට සාදාගත් පැණි කජු මිශ්‍රණය දමා නිවෙන්න තියන්න. එයට උඩින් බේකිං පේපර් එකක් තබා රෝලිං පින් එකකින් පොඩි කැබලිවලට කඩා අයිස්ක්‍රීම් මිශ්‍රණය හා එකතුකර සෙට් වෙන්න ශීතකරණයේ තබන්න.

 

 

දෙවැනි ක්‍රමය

 

අවශ්‍ය දේවල්

 

නැවුම් කිරි මිලිලීටර් 500ක්

කෝන් පිටි මේස හැඳි 2ක්

කිරි පිටි මේස හැඳි 2ක්

සීනි කෝප්ප 1/4ක්

වැනිලා එසන්ස් තේ හැඳි 1ක්

 

සාදමු

නැවුම් කිරි සමඟ කිරි පිටි, කෝන් පිටි, සීනි එකතුකර දිය කර ගන්න. කිරි මිශ්‍රණය ළිපේ තියා මඳ ගින්දරේ විනාඩි 8ක් විතර රත් කරන්න. බුබුළු දමා රත්වීගෙන එද්දී ඔයාලට පෙනේවි මිශ්‍රණය ඝන වීගෙන එනවා. ඒ වෙලාවට ළිපෙන් ඉවතට ගෙන වැනිලා එසන්ස් එකතු කරන්න. දැන් හොඳින් නිවෙන්න හැර අධි ශීතකරණයේ තබන්න. පැය දෙකකට පසු එළියට ගෙන හොඳින් බීට් කරන්න. බීටරයක් නොමැතිනම් විස්ක් එකක් මඟින් හොඳින් විස්ක් කරගන්න. නැවතත් අධි ශීතකරණයේ පැය 8ක් හෝ රැයක් තබා අයිස්ක්‍රීම් එක සෙට් වුණාට පසු කෑමට ගන්න.

 

 

උපදෙස්

ප්‍රවීණ සූපවේදී ජනනි ගුරුසිංහ