'සිත් සුව කැන්දන මායා බන්ධන' කෘතිය ඔබේ අතට

අගෝස්තු 29, 2022

 

ලේඛක වංශ කතාවට අලුතින්ම එක් වූ ඇය අචිනි රණවක ආරච්චිගේ දියණියයි. ඇගේ කුලුඳුල් නවකතාව "සිත්සුව කැන්දන මායා බන්ධන" නමින් මාර/රදම්පල ශ්‍රී සුමංගල විද්‍යාලීය රංගශාලාවේ දී පසුගියදා එළිදැක්විණි.

මාර/රදම්පල ශ්‍රී සුමංගල මාධ්‍ය මහා විද්‍යාලයෙන් උසස් පෙළ හදාරන අචිනි සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ පූර්ණ අනුග්‍රහය සහිතව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් පවත්වනු ලැබූ ප්‍රාදේශීය සාහිත්‍ය තරගවල දී වැඩිම ජයග්‍රහණ රැසක් හිමි කර ගන්නට සමත් වූ අයෙකි. ඒ 2019 වසරේ නාට්‍ය පිටපත් අංශයේ ප්‍රථම ස්ථානය, 2019 වසරේ පද්‍ය රචනා සඳැස් තෙවැනි ස්ථානය, 2020 වසරේ පද්‍ය රචනා සඳැස් ප්‍රථම ස්ථානයත් නාට්‍ය පිටපත්, දෙවැනි ස්ථානයත් ගී රස වින්දන දෙවැනි ස්ථානයත් ය.

මේ සියලු අත්දැකීම් රුකුලක් කර ගනිමින් "සිත්සුව කැන්දන මායා බන්ධන" කෘතිය ඇය අතින් බිහි විය. පාඨකයා ග්‍රහණයට ගනිමින් රසවත් කතාවක් ඉදිරිපත් කිරීමේ අපුරු හපන්කමක් මින් විදහා පෑමට ඇය සමත් ව තිබේ. ගැඹුරු සමාජ හා ජීවිතාවබෝධයෙන් ද පෝෂණය වී සතතාභ්‍යාසයේ යෙදෙමින් ලේඛන කලාවේ දස්කම් පාන්නට වෙර දරන ඇයගේ කෘතිය එළැඹෙන සාහිත්‍ය මාසයේ දී ඔබ අතට පත් වේ. මේ එම කෘතිය ජනගත කළ අවස්ථාවේ ඡායාරූප කිහිපයකි.