සාහිත්‍ය වසන්තයේ ඔබ අතට එන අලුත් පොත්

සැප්තැම්බර් 25, 2023

පොත පතට පෙම් බඳින බොහෝ දෙනකු ආසාවෙන් බලාසිටින සාහිත්‍ය මාසය එළඹුණා. ඊට සමගාමීව සෑම වසරකම කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍ර ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන දැවැන්ත පොත් ප්‍රදර්ශනයත් ආරම්භ වී දැන් දින කිහිපයක්. ඉතින් මේ සාහිත්‍ය මාසය වෙනුවෙන් ප්‍රවීණ ලේඛක ලේඛිකාවන් බොහොමයක් අලුත් පොත් එළිදැක් වූ අතර එයින් කිහිපයකි මේ.

 

එඩ්වඩ් මල්ලවආරච්චිගෙන් පොත් හතරක්

 

ප්‍රවීණ ලේඛක එඩ්වඩ් මල්ලවආරච්චි යනු තරුණී පාඨක ඔබට නුහුරු නුපුරුදු නමක් නම් නොවේ. ‘ආරතී, මින්දද, දිව්‍යංගනා, සිතක් නම්.. ආදී වශයෙන් ඔහු තරුණී පිටු අතරට එකතු කළ නවකතා බොහෝමයකි. ‘ප්‍රාර්ථනා‘ නවකතාවෙන් ආරම්භ වූ ඔහුගේ ලේඛන දිවිය තුළ මේ වනවිට පොත් 130ට වැඩි සංඛ්‍යාවක් පාඨකයන් වෙත තිළිණකර තිබේ. කවදත් ආදරය කැටිකරගත් සමාජයේ විවිධ ගැටලු ගැන සාකච්ඡා කරන ඔහු මෙවර ‘මා මගේ නොවේ. බැක් ටු ස්කූල්, ප්‍රියම්බිකා, පන්ථක‘ යන පොත් හතර ඔබ වෙත තිළිණ කරයි.

අනුර කේ එදිරිසූරියගෙන් කවි පොතක්

 

ප්‍රවීණ මාධ්‍යවේදියකු, ලේඛකයකු සේම පුවත්පත් මහගෙදර දිනමිණ පුවත්පතේ හිටපු විශේෂාංග කතුවරයකු වූ අනුර කේ එදිරිසූරිය මෙවර සාහිත්‍ය මාසය වෙනුවෙන් අපූරු කාව්‍ය සංග්‍රහයක් එළිදක්වා තිබේ. 'K කවි' නමින් නම් කළ මේ කවි පොතට කවි පනහකට ආසන්න සංඛ්‍යාවක් ඇතුළත්ය. ඒ සියල්ල මේ සමාජයේ විවිධ සිදුවීම් අළලා ලියැවී ඇති අතර ඒවා මාතෘකා නොමැති කාව්‍ය වීමත් විශේෂත්වයකි.

නගරයට ආ මුවැත්තිය (1998) (කාව්‍ය), නිශ්ශබ්ද (2003) - (කාව්‍ය සහ කෙටි කතා) මින් පෙර අනුර එදිරිසූරිය ලියු අනෙක් ග්‍රන්ථවන අතර ඊට අමතරව පරිවර්තන කෘති 20ක් පමණ ද ඔහු පාඨකයන් වෙත තිළිණකර තිබේ.

මොනිකා පුෂ්ප කුමාරිගෙන් පොත් තුනක්

 

ප්‍රවීණ ලේඛිකා මොනිකා පුෂ්පකුමාරි තරුණී පාඨකයන් හොඳින් හඳුනන තරුණීට කවදත් ආදරණීය ලේඛිකාවකි. ඇය විසින් තරුණීට රචිත නවකතා කිහිපය අතරින් ‘මනුසත් විමන‘ට හිමි වූ පාඨක ප්‍රතිචාර ඉමහත්. මේ වනවිට පොත් පනහකට වැඩි සංඛ්‍යාවක් මොනිකා තම පාඨකයන් වෙනුවෙන් පිරිනමා ඇති අතර මේ සාහිත්‍ය මාසයේ ද අලුත් පොත් තුනක් ඇය ඔබට පිරිනමන්නීය. ඒ ‘බෙර හඬ, අපෙන් එකෙක්‘ සහ ‘අපි‘ යන කෘති ත්‍රිත්වයයි.

 

රමණී බුලත්සිංහලගෙන් අලුත් පොත් තුනක්

 

ප්‍රවීණ ලේඛිකා රමණී බුලත්සිංහල කියන්නෙත් තරුණීට ළබැඳි අපුරු ලේඛිකාවකි. ස්වතන්ත්‍ර නවකතා මෙන්ම පරිවර්තන කෘති බොහොමයක් හරහා පාඨක සිත් සතන් ඇද බැඳ ගන්නට ඇය සමත් වූවාය. ඇය ලියූ ආදරණීය නිම්සා, අහිංසා, වාසුගී, දුමාරය, මේවර, නිලුපුලී වැනි නවකතා මෙන්ම ‘ලිට්ල් මෑන්‘, පිණි බිඳු‘ වැනි අනුවර්තන කෘති සඳහා වූ පාඨක ප්‍රතිචාර ඉතා ඉහළය. එකිනෙකට වෙනස් මාතෘකා යටතේ හරි අපූරුවට පෑන හසුරවාලන රමණී ‘දිගන්තය, වේමතක, එරීනා‘ යනුවෙන් අලුත් පොත් තුනක් මේ සාහිත්‍ය මාසය වෙනුවෙන් එළිදක්වන්නීය.