ජීවිෙත් අයිසිං මල් ව ෙග් ලස්සන කරගන්න මම ෙගාඩක් කැපවුණා

දෙසැම්බර් 11, 2023

පෙති විහිදාගත් හැඩකාර රෝස කුසුම්, අඩක් විකසිත රෝස පොහොට්ටු, නිලට බබළන දියපිරි ජලාශයක් නැතුවද හරි අපූරුවට පිපුණු සුන්දර නෙළුම් මල්, සොඳුරු ඕකිඩ්, ක්‍රිසාන්තිමම්, ඇස්ටොමේරියා වාගේම නම නොදන්නා තවත් කුසුම් කැන් සමූහයක් එකම බඳුනක එක්ව සිනාකැන් විසුරුවාලයි. මේ ගිනිගත් නුගේගොඩ පුරවරය මැද මඳ සුළඟක් හෝ නොමැති වුවද ලතාවකට නැළවෙන මල් යායක මොහොතකට මගේ සිත අතරමං වේවි.

දෑතින්ම අත ගා බලා මොහොතක් සුවඳ බලන්නට සිතෙහි කෙතරම් කැමැත්තක් ඇති වීද අයිතිකාරිය අමනාප වේදැයි සිතා මම පසෙකට වීමි. ‘ඔය මගේ ගෝලයන්ගේ වැඩ‘

සොඳුරු මල් යායේ හිමිකාරිය පවසන්නීය. ඇය පවසනා දෑ මට නොතේරෙයි. “ඔය ඇත්ත මල් නෙමෙයි. කේක් සරසන්න හදන අයිසිං මල්. හැබැයි ගොඩදෙනෙක් රැවටෙනවා ඇත්තම මල් කියලා.“

එසේ නම් ඈ මල් යායක් රැකබලා ගන්නියක නොව කේක් නිර්මාණ ශිල්පිනියක් මගේ සිත මට කොඳුරයි.

“ඔව්. මම කේක් නිර්මාණ ශිල්පිනියක් විතරක් නෙමෙයි මම දන්න දේ තවත් කෙනෙකුට ආදරයෙන් කියලා දෙන ගුරුතුමියක්. මගේ ගෝලයෝ මේ රටේ හැමතැනම විසිරිලා ඉන්නවා. ඒ වාගේම ඒ ගොඩක් දෙනා දක්ෂ ව්‍යවසායිකාවෝ. ජාත්‍යන්තර තරග බොහොමයකට සහභාගි වෙලා ජයග්‍රහණ රැසක් ලංකාවට රැගෙන ආපු සිසු පිරිසක් ඉන්න ගුරුතුමියක්.“

දෙස්, විදෙස් පුහුණුව ලත් ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනියකවන ඇය දිලිනි හෑගොඩ. නුගේගොඩ Dillys Sugar Flowers and cake Decorating Academy හි හිමිකාරිනිය වූ ඈ වඩාත් ජනප්‍රියව ඇත්තේ ගුරු මුෂ්ටිය නොතබා හැමදේම සිසුන්ට කියාදෙන ගුරුවරියක ලෙසිනි.

කාර්ය බහුල දින කිහිපයකට පසුව නැවතත් සුපුරුදු වැඩ කටයුතු අරඹන දිලිනි සමඟ පුංචි කතාබහකට එකතු වෙන්න අප අදහස් කළා.

‘ඇත්තටම ඔව්. පසුගිය දිනවල අපි තරමක් කාර්ය බහුල වුණා. 2023 වසරේ අපේ පාඨමාලා හැදෑරූ සියයකට අධික සිසුන් පිරිසකට සහතිකපත් ප්‍රදානය කළා. ඊට සමගාමීව ඔවුන්ගේ නිර්මාණ ප්‍රදර්ශනයක් ද පැවැත්වුණා.‘

දිලිනි හෑගොඩ කියන්නෙ දක්ෂ වේෂ නිරූපණ ශිල්පිනියක්. ඇය තුළ සැඟවුණු කේක් නිර්මාණ ශිල්පිනිය එළියට එන්නේ වසර ගණනාවකට පස්සේ. ඒකත් හරි අහම්බෙන්.

‘මම අධ්‍යාපනය ලැබුවේ ලුමිබිණි විද්‍යාලයෙන්. ඊට පස්සේ වේෂ නිරූපණ ශිල්පිනියක් විදිහට තමයි රැකියාව ආරම්භ කළේ. නමුත් විවාහය සහ දරුවා ලැබීමත් සමඟ ඒ රැකියාවට සමුදෙන්න වුණා. ගෙදර දොරේ සහ දරුවාගේ වැඩවලටත් පස්සේ ඉතිරිවන කාලය තුළ කේක් කලාවේ ඉහළට ඉගෙන ගන්න මට හිතුණා. තරුණ සේවා සභාවෙන් වගේම නුගේගොඩ හෝටල් පාසලෙනුත් බේකරි පාඨමාලා කිහිපයක් කළ මම තවත් ගුරුවරු කිහිපදෙනෙක් යටතේම දැනුම උකහා ගත්තා.‘

වැඩිදෙනකුගේ ඉහළ ප්‍රතිචාර ලැබුණු, තනියෙන්ම කේක් එකක් හදපු දවස මතකයි නේද?

“ඔව්. මගේ දුවගේ පළමු උපන් දින කේක් එක. එයා ආස කාටුන් චරිතයක් අනුව හදපු ඒ පුංචි කේක් නිර්මාණයට හැමෝගෙන්ම ඉහළ ප්‍රතිචාර ලැබුණා. එයින් ලැබුණු දිරිය තමා මේ තරම් දුර මාව රැගෙන ආවේ.“

ඊට පස්සේ...

‘ඒ ප්‍රතිචාර කේක් කලාවේ නව මානයන් සොයා යන්න මාව පෙලඹුවා. විශේෂයෙන්ම විදෙස් පාඨමාලා කිහිපයක් හරහා මගේ දැනුම වැඩිකර ගත්තා. ඒ වගේම අලුත් නිර්මාණ සඳහා පෙලඹුණා. පවුලේ ඥාතීන්ගේ වගේම හිතවතුන්ගෙන් ඇණවුම් ගලාගෙන ආවා. ඔය අතරතුරේ මගේ දැනුම අනෙක් අයටත් ලබාදෙන්න කියලා ලැබුණු ඉල්ලීම් නිසාම පාඨමාලා කිහිපයක් පටන් ගත්තා.“

විදෙස් දැනුම සිසුන් අතරේ බෙදාගත් නිසාම ඔබ සිසුන් අතරේ ජනප්‍රිය වුණා.

‘මම කවදාවත් ගුරු මුෂ්ටිය තියාගත්තෙ නෑ. මා ලබාගත් දේ ඔවුන්ටත් බෙදා දුන්නා. මේක්අප් ආටිස් කෙනෙක් වුණු නිසාම වර්ණ ගැළපීම ගැන අපුරු හැකියාවක් මට තිබුණා. එයත් සිසුන් අතරේ ජනප්‍රිය වෙන්න හේතු වුණා. මොකද විවිධාකාරයේ අයිසිං මල් වර්ග මම අත්හදා බලනවා. සිසුන්ටත් කියාදෙනවා. ඒක මගේ විනෝදාංශය.

ඒ වගේම මොඩර්න් වෙඩින් කේක් ආකෘති කලාව අපේ සිසුන්ට හඳුන්වා දෙන්නත් මට හැකියාව ලැබුණා. ඒ කලාව ජාත්‍යන්තරය තුළ නිතරම දකින්නට ලැබෙනවා. ඒ හරහා අපේ සිසුන් ජාත්‍යන්තර තරගවලට ඉදිරිපත් කරලා රන්, රිදී, ලෝකඩ ජයග්‍රහණ රැසක් දිනාගන්නත් අපට හැකි වුණා.' ‘ඔබේ ඉදිරි වැඩ කටයුතු ගැනත් අපි සඳහන් කරමු.

‘සතියේ දින පහේ වගේම සතිඅන්තයෙත් කේක් පාඨමාලා පැවැත්වෙනවා. මාස තුනක පාඨමාලා විදිහට තමයි මේ පාඨමාලා ආරම්භ වන්නේ. ලබන වසරේ NVQ Leval 4 පටන් ගන්නත් බලාපොරොත්තු වෙනවා. මම දැනට පන්ති කරගෙන යන්නේ නුගේගොඩ ඇකඩමියේ විතරයි. නමුත් ඊට අමතරව ජනවාරි මාසයේ සිට නුවර පන්ති ආරම්භ කරනවා. ඒ සති අන්තයේ ඉරිදා දවසට. ඇත්තටම මම ඒ තීරණය ගත්තෙ ගොඩාක් දුර බැහැර ඉඳන් කාලය වගේම විශාල ගමන් ගාස්තුවක් දරාගෙන එන දරුවෝ ගැන හිතලයි. ඒ නිසා ජනවාරි මාසයේ සිට දුරබැහැර දරුවන්ට නුවර පන්තිවලදී මා හමුවිය හැකියි. මගේ face book Page එක හරහාත් මේ පිළිබඳ තොරතුරු දැනගත හැකියි.'