ඔබ හැසිරිය යුත්තේ කෙසේද?

පෙබරවාරි 7, 2022

 

සංසාර ගමනේ දී බහුතරයක් සත්ත්වයෝ කුමන තැනක උපත ලබා සිටියත් අඹුසැමි ජීවිත ගෙවන්නට කැමැත්ත දක්වති. එයට ප්‍රධානතම හේතුව වන්නේ ඔවුන්ගේ කාමය යි. රූපය, කටහඬ, වර්ණය, සිතුම් පැතුම්, දාංගලය, ආදී විවිධ කරුණු මුල් කරගෙන එකිනෙකා ගැන තණ්හාවෙන් බැඳෙන සත්ත්වයෝ, තමන් ආශා කරන කුමන හෝ කාරණා ඉෂ්ට කර ගනිමින් කැමති තාක් කල් ඒ බැඳීම් පවත්වා ගනී.

සමහර බැඳීම් සාංසාරික හොඳ හෝ නරක බැඳීම් වන අතර, සමහරක් බැඳීම් කාමාදී අරමුණු වෙනුවෙන්ම නිර්මාණය වන බැඳීම් වෙයි. සමහරක් ඒවා වෙනත් විවිධ හේතු මත නිර්මාණය වෙයි.

 

ඒ සමහරක් බැඳීම් ජීවිත කාලයම තිබෙන අතර, සමහරක් බැඳීම් එකිනෙකා බැදුණු හේතුව පවතින තෙක් පමණක් පවතී. උදාහරණයක් ලෙස ලිංගික ආශාවන් ඉෂ්ට කර ගැනීමට පමණක් ඇති කර ගන්නා බැඳීම් එම ආශාවන් ඉෂ්ට කර ගැනීමෙන් පසුව නැතිව යයි.

මෙලොව උපත ලබා තරුණ වයසට පැමිණ, ද්වීතීයික ලිංගික ලක්ෂණ පහළවීමෙන් පසුව, විරුද්ධ ලිංගිකයින් සමග හෝ සමලිංගිකයන් සමඟ එකිනෙකා බැඳීම් ගොඩනඟා ගනී. සමලිංගික බැඳීම් ධර්ම විනය විරෝධී මෙන්ම සමාජ ධර්ම විරෝධී ද වේ. නමුත් විරුද්ධ ලිංගික බැඳීම ධර්ම විනයට එකඟ වන අතර සමාජ ධර්මයටද එකඟ වේ.

 

අඹුසැමි බැඳීම් මිනිසුන් අතර පමණක් නොවේ. සතා සිවුපාවුන් අතරද තිබේ. විවිධ සත්ත්වයින් තම තමන්ගේ සහායක සහායිකාවන් තෝරා ගන්නා ආකාරයක් තිබේ. උදාහරණයක් ලෙස ගිජුලිහිණි කාන්තාව පිරිමි සත්ත්වයා තෝරාගන්නට කෝටුවක් ගෙන අහසේ ඉහළටම පියාඹා ගොස් එය පහළට හෙළයි. ඇය පසු පස යන පිරිමි සතුන් අතරින් අති දක්ෂයෙක් ඊයක වේගයෙන් පහළට පැමිණ, අර කොටුව රැගෙන නැවත ඇයට ගෙන ගොස් දෙයි. ඔහුව තමන්ගේ සහකරු කරගන්නට ගිජුලිහිණි කාන්තාව කටයුතු කරයි. ඉන් පසු දෙදෙනා ඉතා ඉහළ පර්වතයක කූඩුව තනා ගන්නා අතර, බිත්තරවලින් පැටවුන් එළියට පැමිණ පියාඹන කාළයේ ඉහළින් වැටෙන පැටවුන් ඊයක වේගයෙන් පහළට පැමිණ ආරක්ෂා කර ගන්නේ පිරිමි ගිජුලිහිණියා විසිනි.

 

තිරිසන් සත්ත්වයින්ගේ මෙන් නොවේ. මිනිසුන්ගේ අඹු සැමි බැඳීම සමාජ ධර්ම රාශියක් සමඟ බැඳී පවතී.

මෙම ලිපියෙන් කතා කරන්නේ මිනිසුන් අතර පවතින අඹූසැමි බැඳීමට අදාළ කාරණාවක් පමණී. ඒ “සැමියාගේ වරදක් ගැන යෙහෙළියක කියූ අවස්ථාවක, සිත කලබල වුණු වෙලාවකට, ධර්මානුකූලව එයට මුහුණ දෙන ආකාරයයි.”

 

විවාහ ජීවිතයක් ගෙවන කාන්තාවකට මුහුණ පාන්නට සිදුවන පීඩාකාරී දේවල් වල කෙළවරක් නැත. පිරිමින් සමඟ සංසන්දනය කර බැලූ විට, වැඩි වශයෙන්ම විවාහ ජීවිතයකදී පීඩාකාරී දුක් විඳින තැනැත්තිය වන්නේ කාන්තාවයි.

උදෑසනම අවදිවන ඇයට, දරුවන්ගේ පාසල් කටයුතුවල සිට නි‍ෙවසේ උයන පිහන කටයුතුත්, සැමියා රැකියාවට පිටත් කළ යුතු කටයුතුත්, ඇය රැකියාවක් කරනවා නම් ඇයගේ එම කටයුතුත්, දෙපාර්ශවයේම මවුපියන්ගේ කටයුතුත්, සමිති සමාගම් ආදී සමාජයේ යම් යම් බැඳීම්වල කටයුතුත්, දරුවන්ගේ පාසල්, දහම් පාසල් සහ පන්ති වලට අදාළ කටයුතුත්, ගෙවල් දොරවල් ඉදිකිරීම් , නඩත්තු කරගැනීම සහ පවුලේ අයගේ අසනීප ලෙඩ රෝග ආදී පවුලේ සියලු අවශ්‍යතාත්, මුළු මහත් පවුලේම අනාගතය සැලසුම් කිරීම ආදී තවත් බොහෝ වගකීම් දරන්නට සිදුව තිබේ. පවුල වෙනුවෙන් කරන්නට සිදුවන දේවල් වල සීමාවක් නැත. මේ සියල්ලම සාර්ථකව සිදුකර ගත හැක්කේ යහපත් පවුල් ජීවිතයක් ගෙවන විටදී ය.

 

බොහෝ විට කාන්තාවන් දැඩි සේ පවුල් ජීවිතයේදී පීඩාවට පත්වන ගැටලුවක් වන්නේ තමන්ගේ ස්වාමි පුරුෂයා වෙනත් කාන්තාවක් සමඟ අනියම් සම්බන්ධතා ගොඩනගා ගැනීම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම, ආදී ලෙස ස්වාමිපුරුෂයා තමන්ගේ ආරක්ෂාවත්, පවුලේ ආරක්ෂාවත්, සියල්ලගේම අනාගතයත් විනාශයට ඇද දමන වැරැදි කිරීමට පෙළඹී ඇති විටයි. එවැනි අවස්ථාවකදී බිරිඳට ස්වාමියාගේ එවැනි වැරැදි ගැන දැන ගැනීමට හැකි වන්නේ තමන්ගේ යෙහෙළියන් මඟිනි.

 

සැමියාගේ වරදක් ගැන යෙහෙළියන් කී විට, බොහෝ කාන්තාවන් අතිශයින්ම කලබලයට පත් වේ. කිසිසේත්ම එවැනි අවස්ථාවකදී කලබල නොවිය යුතු ය. කෙතරම් පීඩාකාරී දෙයක් දැන ගත්තත් කිසිසේත්ම කලබල නොවිය යුතුය. ඒ මොහොතේ එය එතරම් තැකීමක් නොකර, දැඩි ඉවසීමකින් යුක්තව ඒ දැන ගත් දෙය සත්‍යයක්ද, අසත්‍යක්ද කියා සොයා බැලිය යුතු ය.

 

ඒ සඳහා තමන්ගේ මව්පියන්ගෙන්, සහෝදර සහෝදරියන්ගෙන් උපකාර ලබාගත යුතුය. බොහෝවිට සමාජයේ සතුටින් සිටින දෙදෙනෙක් වෙන් කරන්නට, මිතුරු වේශය පෙන්වා සමීපවම සිටිමින් සතුරුකම් කරන පිරිස සිටී. එයට හේතුව කොතරම් සමීපව සිටියත්, ඔවුන් තුළ ඇතිව තිබෙන ඊර්ෂ්‍යාවයිි.

 

“පර සම්පත්තිං ඉස්සතීති - ඉස්සා” අනුන්ගේ යස ඉසුරු ඉවසන්නේ නැති ස්වභාවය ඊර්ෂ්‍යාවයි. අනුන්ගේ සැපතට, අනුන්ගේ සම්පත්තියට විරුද්ධ ස්වභාවය මේ ඊර්ෂ්‍යාවයි.

 

බොහෝ දෙනා තමන් තුළ ඇතිවන මෙම ඉරිසියාව නිසා සතුටින් සිටින අයගේ ජීවිත වලට අකුල් හෙළයි. එම නිසා යමක් දැන ගත් විගස කලබල නොවී, විශ්වසනීය සමීපතමයින් හරහා එය සත්‍යක්ද අසත්‍යක්ද කියා සොයා ගත යුතුය.

 

ඒ සෑම මොහොතකදීම තමන්ගේත්, දූ දරුවන්ගේත්, තමන්ගේ පවුලේත්, ස්වාමියාගේත්, එම පවුල් පරපුරේත්, අනාගත ජීවිතයට එම ගැටලුව බලපාන ආකාරය තේරුම්ගෙන එය විසඳා ගන්නට දූරදර්ශී විය යුතුය. තමන්ගේ සතුටින් සිටින පවුල් ජීවිතය අවුල් ජාලාවක් කරන්නට කේළම් කියන්නන්ට ඉඩ නොදිය යුතුය.

 

ජීවත් වන විට නානාප්‍රකාර ගැටලුවලට අපට මුහුණ පාන්නට සිදුවේ. ඒ හැම විටකදීම ම ඇතුළත ගිනි පිටතට නොදිය යුතුය. පිටත ගිනි ඇතුළට නොගත යුතුය. තමන්ගේ ස්වාමියා අතින් තමන්ට දැඩි අසාධාරණයක් සිදු වූවත්, නැවත එවැනි වැරැදි නොවන ආකාරයට එය සකස් කරගෙන ඉදිරියට පවත්වාගෙන යා යුතු ය. නැතිනම් ඒවා සමඟම ගැටි ගැටී සිටීමෙන් වන්නේ වටිනා මනුෂ්‍ය ජීවිතයේ ජීවත් වන්නට තිබෙන කාළය ඒවා නිසාම අපතේ යෑමයි. නමුත් කොයි මොහොතක දී වත් එවැනි වැරදි තවදුරටත් සිදුකරගෙන ගෙනයන්නට අවස්ථාවක් නොදිය යුතුය.

 

සාර්ථක පවුල් ජීවිතයක් ගෙවන්නට ධනංජය සිටුතුමා දියණිය වන විශාඛාවට දුන් උපදෙස් දහය කාන්තා ජීවිතයකට අතිශයින්ම උපකාර වේ. ඒවා දැනගෙන ඒ අනුව කටයුතු කළ යුතුය.

 

පවුල් ජීවිත සියල්ලම එක හා සමාන නොවේ. ඒවා විවිධාකාර වේ. සමහර පවුල් ජීවිත විවාහ යෝජනා මත සිදුව තිබේ. තවත් සමහර පවුල් ජීවිත පෙම් සබඳතා නිසා ඇතිවුණු ඒවාය. ස්වාමියා අතහැර ගොස් අසරණ වී සිටියදී වෙනත් විවාහයක් කරගත් භාර්යාවන්ද සිටී. බිරිඳ ස්වාමියා හැර වෙනත් සැමියෙකු වෙත ගිය පසුව එම ස්වාමියා වෙනත් විවාහයක් කරගෙන ජීවත් වන පවුල්ද තිබේ. නීත්‍යානුකූලව විවාහ නොවී දරුවන් සාදා ජීවත් වන අය ද සිටී.

 

සමහර පවුල්වල බිරිඳට වඩා ස්වාමියා වයසින් අඩුය. එහි ධර්ම විනයානුකූලව නම් කිසිදු ගැටලුවක් නැත. තවත් සමහරක් පවුල්වල දරුවන් සමඟ අසරණ වූ කාන්තාවන් විවාහ කරගෙන පවුල් ජීවිත ගෙවන ස්වාමීපුරුෂයින් සිටී. තවත් සමහරක් පවුල්වල දරුවන් සමඟ අසරණ වූ පිරිමින් විවාහ කරගත් කාන්තාවන් සිටී. එවැනි පවුල් ජීවිතද සාර්ථක පවුල් ජීවිත වන අතර දස භාර්යාවන්ට අයත් වන්නේත් නැතිනම්, කාමයෙහි වරදවා හැසිරීමට අයත් වන්නේත් නැතිනම් ඒවායෙහිද ධර්ම විනයානුකූලව කිසිදු ගැටලුවක් නැත.

 

දෙදෙනාගේ අවබෝධයෙන් දරුවන්, මව්පියන් රැකගෙන සිල්වත්ව, ගුණවත් ව, අතීතයේ වූ වැරැදි සියල්ල අමතක කර, සාර්ථක පවුල් ජීවිතයක් ගෙවිය හැකිනම්, ධර්මානුකූලව එය ප්‍රශංසා කරන පවුල් ජීවිතයකි. එවැනි සාර්ථක පවුල් ජීවිතයක් අවුල් කරන්නට කිසිවකුට ඉඩ නොදිය යුතුය.

 

පූජ්‍ය, තපෝවනයේ

රතන ස්වාමින් වහන්සේ.

රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක, පණඩිත,

මිණිපුර අමාශාන්ති තපෝවනය,

පැල්වාඩිය,

රත්නපුර.