බෝධිරාජ කුමාරයාට දරුවන් අහිමි වුණේ ඇයි ?

මාර්තු 4, 2024

 

බුදුන් වහන්සේ සැවැත් නුවර වැඩ සිටින කාලයේ බොහෝම ධනවත් කුමාරයෙක් සිටියා. මේ කුමාරයාගේ නම තමයි බෝධිරාජ. බෝධිරාජ කුමාරයාට බොහෝ ධනය තිබුණු නිසා මේ කුමාරයා කල්පනා කරනවා මේ නුවර කාටවත්ම නැති ලස්සන මාළිගාවක් නිර්මාණය කරන්න.

ඒ සඳහා සුදුසු නිර්මාණ ශිල්පියෙක් කැඳවලා තමන්ගේ මාළිගාව නිර්මාණය කරන්න මේ නිර්මාණ ශිල්පියාට භාර දුන්නා. නිර්මාණ ශිල්පයා ඉතාමත්ම අලංකාරවත් ලෙස කිසිම කෙනෙකුට නොමැති ආකාරයේ මාළිගාවක් නිර්මාණය කළා. කෝකනද මාළිගාව නමින් මෙම මාළිගාව හැඳින්වූවා. මෙම මාළිගාවට ගෙවදිම නිමිති කරගෙන, බුදුන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයට දන් පූජා කරන්න තීරණය කොට බුදුන් වහන්සේට ආරාධනා කළා. බුදුන් වහන්සේත් ආරාධනාව පිළිගෙන ආනන්ද හාමුදුරුවන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය සමඟ වැඩම කළා.

බෝධිරාජ කුමාරයට විශාල ධනයක් තිබුණත් වතුපිටි ඉඩකඩම් තිබුණත් දරු සම්පත්තියක් තිබුණේ නැහැ. මේ නිසා බෝධිරාජ කුමාරයා බොහෝම වේදනාවෙන් තමයි කාලය ගත කළේ.

බෝධිරාජ කුමාරයා, බුදුන් වහන්සේ තමන්ගේ මාළිගාවට වැඩම කරන වේලාවෙ දී බුදුහාමුදුරුවන්ට වැඩම කරන්න ඉතාමත්ම වටිනා පාවඩයක් ප්‍රධාන දොරටුවේ සි‌ට දාන ශාලාව තෙක් දැමුවා. මේ පාවාඩය බෝධිරාජ කුමාරයා දැමුවේ, මට දරු සම්පත් ඇත්නම් බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මේ පලස උඩින් වඩීවි යන බලාපොරොත්තුවෙන්. නමුත් බුදුන් වහන්සේ මේ පලස සමීපයට වැඩම කොට උන්වහන්සේ එහි වැඩම නොකොට නතර වුණා.

ආනන්ද හාමුදුරුවන් වහන්සේගේ උපදෙස් පරිදි මේ පාවඩය ඉවත් කළ පසු බුදු හාමුදුරුවෝ වැඩම කළා.

දානය අවසන් වූ පසු බෝධිරාජ කුමාරයා, බුදුන් වහන්සේ ළඟට පැමිණ බුදුන් වහන්සේගෙන් විමසනවා “බුදු හාමුදුරුවනේ, ඔබ වහන්සේට වැඩම කරන්න මම

ලස්සන ඉතාමත්ම වටිනා පාවඩයක් දැමුවා. ඔබවහන්සේ ඒ මතින් වැඩම කළේ නෑ. ඒකට හේතුව මොකක්ද?” ඒ වෙලාවෙදි බුදුන් වහන්සේ බෝධිරාජ කුමාරයාට දේශනා කරනවා “කුමාරයෙනි, ඔබේ සිතේ බලාපොරොත්තුවක් ඇතුවයි ඔබ මේ පාවඩය එළුවේ. ඉතින් ඒ බලාපොරොත්තුව ඉෂ්ට නොවන නිසයි මම මේ පාවඩය උඩින් වැඩම නොකළේ.”

එසේ වීමට හේතු විමසූ බෝධිරාජ කුමාරයාට බුදුන් වහන්සේ අතීත කතා පුවත දේශනා කරනවා,

කුමාරය, ඔබ පෙර ආත්මයක දී ස්වාමි දියණිය සමඟ සියගණන් මිනිස්සු ගමන් ගන්නා විශාල නැවකින් මුහුදු ගොස් ඒ නැව මුහුද මැද දී විනාස වුණා. අනතුරුව ඔබ දෙපළ එක් ලෑල්ලක් අල්ලාගෙන කුඩා දිවයිනකට ගොඩ බැස්සා.

අනෙක් සියලුදෙනාම මුහුදේ ගිලී මරණයට පත් වූණා. ඔබ දෙපළ ගොඩබැස්ස දිවයිනේ ආහාරයට ගත හැකි කිසිවක් තිබුණේ නෑ. ඒ දූපතේ මහත් පක්ෂි සමුහයක් පමණයි වාසය කළේ. ආහාරයට ගත හැකි කිසිවක් නොතිබුණු නිසා ඔබ දෙපළ එම කුරුල්ලන්ගේ කුරුලු බිජු ආහාරයට ගත්තා. ඒවා අවසන් වු විට කුඩා කුරුලු පැටවුන් ද අනතුරුව ලොකු කුඩා කුරුල්ලන් ද ආහාරයට ගත්තා.

මේ එක් අවස්ථාවකවත් ඔබ දෙපළට සංවේගයක් හෝ බියක් හට ගත්තේ නෑ. ඔබ එදා මේ අපරාධය නොකළා නම්, සිහි නුවණින් ක්‍රියා කළා නම් තුන් වයසින් එක් වයසක දී වත් ඔබ දෙපළට දරුවෙක් ලැබෙන්නට ඉඩ තිබුණේ යැයි අතීත සිදුවීම සිහිපත් කර මෙම ගාථාවෙන් ධර්මය දේශනා කළා.

“අත්තානං චෙ පියං ජඤ්ඤා රක්ඛෙය්යළ නං සුරක්ඛිතං

තිණ්ණමඤ්ඤතරං යාමං

පටිජග්ගෙය්ය පණ්ඩිතො.”

තමන්ට තමන් ප්‍රිය මනාප නම් තමන් විසින් ම තමන් ආරක්ෂාකර ගනු ලබනවා. එමෙන්ම නුවණ ඇති තැනැත්තා නම් තමන්ගේ ජීවිතයේ එළැඹෙන බාල, තරුණ හා මහලු යන අවස්ථා තුනෙන් කුමන හෝ එක් අවස්ථාවකදීවත් තමාගේ අධ්‍යාත්මික ආරක්ෂාව සලසා ගනු ලබනවා.

ආරක්ෂාව සලසා ගැනීම යන්නෙන් අදහස් වන්නේ ආරක්ෂිත ස්ථානයක ආරක්ෂිතව සිටීම නොව බාල, තරුණ හා මහලු යන අවස්ථා තුනෙන් එකකදී අප්‍රමාදීව අකුසලයෙන් දුරුව දානා දී පින් දහම් සිදු කරමින් සිත දමනය කර ගැනීම යි.

බාල, තරුණ හා මහලු යන අවස්ථා තුනෙන් බාල කාලයේ දී ක්‍රීඩාවෙන් හා විනෝදයෙන් කුසල් දහම් නොකරයි.තරුණ කාලයේ දී රැකි රක්ෂා කිරීම, අඹුදරුවන් පෝෂණය කිරීම ආදිය නිසා කුසල් දහම් නොකරයි. කුඩා කාලයේ දී කුසල් දහම් නොකරන්නේ නම් මධ්‍යම වයසේ දී අප්‍රමාදීව කුසල් කළ යුතු ය. මධ්‍යම කාලයේ දී කුසල් නොකරන්නේ නම් මහලු කාලයේදීවත් කළ යුතු ය. මහලු වියට පැමිණි පසු අතපය වාරු නොමැති නිසා තරුණ කාලයේ දී අප්‍රමාදීව කුසල් දහම් වඩමින් දානාදී පින් දහම් සිදු කිරීම ඉතා සුදුසු ය.

එසේ සිදු කිරිම තුළින් සංසාරයේ ඇති බියෙන් මිදී යම් සුගතිගාමී ආත්මභාවයක් ලබන්න ඔබේ ඔය කුසල සිත උපකාරයක් වේවි.

 

තෙරුවන් සරණයි !

 

සම්බන්ධීකරණය - මධුර ප්‍රභාත් ගමගේ

අනුශාසනාව

තෙල්ලඹුර ශ්‍රී පුෂ්පාරාම විහාරවාසී

යක්කලමුල්ල ආදිච්චවංස පිරිවනේ ආචාර්ය මනෝවිද්‍යා උපදේශන ඩිප්ලෝමාධාරී රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති කොට්ටවගම ධම්මජොති හිමි.