විවාහ වීමට පෙර ඔබ කෙසේ සූදානම් විය යුතුද?

ජනවාරි 15, 2024

 

සමාජයේ ජීවත්වන කුඩාම හා වැදගත්ම ආයතනය තමයි පවුල. එය සංකීර්ණ එකක්. මුලින්ම අඹුසැමි වශයෙන් ගොඩනැඟෙන සම්බන්ධතාවය පසුව මවුපිය දූ දරු වශයෙන් සංකීර්ණ තත්ත්වයට පත් වෙනවා. ගෘහස්ථ කාමභෝගි ජීවිතයට අඹුසැමි සම්බන්ධතාවය වගේම මවුපිය දූ දරු සම්බන්ධතාවයත් වැදගත් බව සිඟාලෝවාද සුත්‍රයේ සඳහන් යුතුකම් හා වගකීම් තුළින් පැහැදිලි වෙනවා.

පවුලක් තුළ යම් ගැටලුවක් ඇති වුවහොත් එය සමස්ත පවුල් ඒකකයටම බලපාන බැවින් විවාහ වීමට පෙර සිටම ඒ සඳහා ඔබ සූදානම් විය යුතුයි. පවුල් ජීවිතය ආරම්භ කිරීමට පළමුව එය විධිමත් අයුරින් සැලසුම්කර ගැනීමට අවශ්‍ය උපදෙස් අඩංගු සූත්‍ර දේශනා රාශියක් බුදු දහමේ සඳහන් වෙනවා.

මෙම ලිපි මාලාව තුළින් බලාපොරොත්තු වන්නේ විවාහ වීමට පෙර සිටම සාර්ථක පවුල් සංස්ථාවක් ගොඩනඟා ගැනීම සඳහා අවශ්‍ය දැනුම බුදු දහම ඇසුරින් පැහැදිලි කරන්නයි. උපතේ සිට වෙනස් පවුල් පරිසර දෙකක හැදුණු වැඩුණු දියණියක් සහ පුතෙක් නිසි වයස් සම්පූර්ණ වූවාට පසු නීත්‍යනුකූලව එකට වාසය කිරීම විවාහය කියලා සරලව හඳුන්වන්න පුළුවන්. පවුල් පරිසර දෙකක හැදුණූ වැඩුණු මොවුන්‌ගේ සිතුම් පැතුම් අත්දැකීම් විවිධාකාරයි. අපි දෙදෙනා දෙන්නෙක් නොව එක් අයෙක් ලෙස ක්‍රියා කරන්න ඕනෙ කියලා ගොඩාක් තරුණ දරුවෝ හිතනවා. නමුත් ඒක ප්‍රායෝගික නෑ. එහෙම හිතන තරුණ දුවලා පුතාලගේ සම්බන්ධතා මාස දෙක තුනකින් විනාශ වෙනවා. ඇතැම් ඒවා අවුරුදු ගණන් ගත වෙලා විනාශ වෙනවා. විවාහ ගිවිසුම් ගැනීමට සියලු කටයුතු සැලසුම් කරලා තියෙන අවස්ථාවන්වලදීත් ඇතැම් සම්බන්ධතා විනාශ වෙනවා. ඇතැම් වෙලාවට මේක දරාගන්න බැරි වුණාම

ජීවිත හානි පාවා සිදු කරගන්නවා. ඒ නිසා සෑම වෙලාවකම අපි දෙදෙනා දෙන්නෙක් කියලා හිතලා බුද්ධිමත්ව ක්‍රියා කරන්න ඕන.

කාමභෝගී ගෘහස්ථ ජීවිතය මුළුමනින්ම ගැටුම්වලින් තොර පරමාදර්ශී පරිපූර්ණ එකක් වෙන්නේ නෑ. එදිනෙදා ජීවිතයේ කටයුතු සිද්ධ කරද්දි බොහෝ අසමානකම් දකින්නට ලැබෙනවා. කොපමණ

මිල මුදල් යාන වාහන ගේ දොර ඉඩ කඩම් තිබුණත්, නැතත් මේ සියල්ලම කළමනාකරණය කරගෙන සාර්ථක ගෘහ ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙන්නේ දහමට ජීවිතය යොමුකළ අවබෝධයක් සහිත පුද්ගලයෙකුට පමණයි. ඒ මොකද ඔහුට පුලුවන්කම තියෙනවා දහමෙන් ලැබුණු දැනුම හා ශික්ෂණය සමඟ එවැනි අසමානකම් මඟහරවා ගැනීමට.

බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ චිත්තපරියාදාන සූත්‍රයේ දී ලොව පවතින රූප අතරින් ස්ත්‍රියට පුරුෂයාගේ රූපයත්, පුරුෂයාට ස්ත්‍රියගේ රූපයත් ආකර්ෂණීය වන බව දේශනා කරනවා. මෙම ආකර්ෂණීය බව පදනම් කරගෙන තමයි ස්ත්‍රිය හා පුරුෂයා අතර සම්බන්ධතාවයක් ඇති වෙන්නේ. ඒ නිසා විවාහ ජීවිතයේ මූලාරම්භයක් ලෙස ආකර්ෂණීය බව පෙන්වා දෙන්න පුළුවන්.

 

ස්ත්‍රියක් හා පුරුෂයෙක් තුළ ඔවුනොවුන් කෙරෙහි පවතින ආකර්ෂණීයභාවයට කරුණු පහක් මුල්වන බව බුදු හාමුදුරුවෝ සංයුත්ත නිකායේ මාතුගාම සුත්‍රයේ දී හා පුරිස සූත්‍රයේ දී දේශනා කරනවා. විවාහයට පත්වීමට අපේක්‍ෂා කරන තරුණ දුවලා පුතාලා මේ පිළිබඳව ගැඹුරින් සිතා බැලීම ඉතාමත්ම වැදගත්. තරුණ දියණියක් සිය සැමියා වශයෙන් තරුණ පුතෙක් තෝරා ගැනීමේ දී හා තරුණ පුතෙක් සිය බිරිය වශයෙන් තරුණ දියණියක් තෝරා ගැනීමේ දී පහත සඳහන් කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතු යි.

 

1. මනා රූපයකින් යුක්ත වීම (රූපවා හොති)

 

2. මූලික අවශ්‍යතාවන් සපුරා ගැනීමට හා සුවපහසු ජීවිතයක් ගත කරන්නට අවශ්‍ය ධනය තිබෙන අයෙකු වීම (භොගොච හොති)

 

3. සිල්වත් විනය ගරුක මනා චරිතයකින් යුක්ත අයෙකු වීම(සීලවා හොති)

 

4. පවුලේ ආර්ථික කටයුතුවලදී මෙන්ම වෙනත් කටයුතුවලදීත් දක්‍ෂව අනලස්ව කටයුතු කරන්නෙක් වීම (දක්ඛො ච අනලසො)

 

5. දරුවන් ලබා දීමේ කායික හැකියාවෙන් යුක්ත අයකු වීම යන කරුණු ය.

 

(සංයුත්ත නිකාය මාතුගාම සූත්‍රය, පුරිස සූත්‍රය) විවාහයට පෙර මෙකී

කරුණු පහ කෙරෙහි සැලකිලිමත්වීම සාර්ථක පවුල් ජීවිතයක් ගතකිරීමට බෙහෙවින් ප්‍රයෝජනවත් වෙනවා. අද සමාජයේ බොහෝ තරුණ පිරිසක් තමාට

සහකාරියක් හෝ සහකරුවෙක් සොයා ගැනීමේ දී මුල් කාරණා දෙක කෙ‌රෙහි පමණක් අවධානය යොමු කරන බව ප්‍රසිද්ධ රහසක්. මෙම කරුණු පහ කෙරෙහිම අවධානය යොමු නොකොට මෙයින් එක් කරුණක් හෝ දෙකක් ගැන පමණක් සලකා විවාහ ජීවිතයට පත්වූ බොහෝ තරුණ තරුණියන්ගේ විවාහ ජීවිත බොහෝම ඉක්මනින් බිඳී වෙන්වී ගිය අවස්ථා කොතෙකුත් සමාජයේ දකින්නට ලැබෙනවා.

 

එමෙන්ම දෙදෙනාගේ වයස් පරතරය ද සාර්ථක ගෘහ ජීවිතයක් ගත කිරීම සඳහා වැදගත් වෙනවා. විවාහ වීමට අපේක්‍ෂා කරන දෙදෙනා අතර පවතින වයස් පරතරය බොහෝ සෙයින් වැඩි නම්

පසුකාලීනව නොයෙකුත් කායික හා මානසික ගැටලු නිර්මාණය වෙන්න පුළුවන්. තරුණ දියණියක් තමා‌ට වඩා බොහෝ සෙයින් වැඩිමහලු පුද්ගලයෙකු විවාහ කරගන්නේ නම් එය මෙලොව

පිරිහීමට හේතුවන බව බුදු හාමුදුරුවෝ පරාභව සුත්‍රයේ දී දේශනා කරනවා. එමෙන්ම තරුණ පුතෙක් තමා‌ට වඩා බොහෝ සෙයින් වැඩිමහලු කාන්තාවක් සමඟ විවාහ වන්නේ නම් එයත්

මෙලොව පිරිහීමට හේතුවන කරුණක් බව සිතීම යුක්ති යුක්තයි.

පවුල් සංස්ථාව මුළුමනින්ම සදාචාරය මත පදනම්ව ක්‍රියාත්මක විය යුතු සමාජ සංස්ථාවක් නිසා විවාහ ජීවිතයක් ආරම්භ කිරීමට පළමුව එය මැනවින් සැලසුම් සහගතව සිදුකිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරගන්නේ නම් සාර්ථක ගෘහ ජීවිතයක් ගත කිරීමට ඔබට හැකියාව ලැබෙනු ඇත.

 

 

සම්බන්ධීකරණය  - මධුර ප්‍රභාත් ගමගේ

 

අනුශාසනාව

තෙල්ලඹුර ශ්‍රී පුෂ්පාරාම විහාරවාසී

යක්කලමුල්ල ආදිච්චවංස පිරිවනේ ආචාර්ය මනෝවිද්‍යා උපදේශන ඩිප්ලෝමාධාරී රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති කොට්ටවගම ධම්මජොති හිමි.