පුදන්නට සඟරුවන නිවැරැදිව සාදන අෂ්ටපාන

දෙසැම්බර් 18, 2023

විකාලයේ ආහාර ගැනීම හෙවත් විකාල භෝජනා වේරමනී සිල් පදය බෞද්ධ සියලුදෙනාම පවා හොඳින් අසා ඇති සිල් පදයකි. විනය පිටකයට අනුව අරුණෝදයේ පටන් හිරු මුදුනට පැමිණීම දක්වා කාලය බුදු, පසේබුදු, මහරහතන් වහන්සේලා විසින් අහර වළඳන කාලය යි. හිරු මුදුනට පැමිණි තැන් පටන් අරුණෝදය දක්වා කාලය බුදු, පසේබුදු, මහරහතන් වහනේලා විසින් අහර නො ගන්නා කාලය වූ විකාලය ය. හෙවත් නො කාලය ය. ආහාර වශයෙන් ගන්නා දෙයක්, යටත් පිරිසෙයින් එක බත් හුලක් වුව ද නො කල්හි උගුරෙන් එතරට කිරීමෙන් මෙම සිල් පදය බිඳෙන්නේ ය.

කන බොන දෑ සියල්ල ම යාවකාලිකය - යාමකාලිකය - සත්තාහකාලිකය - යාවජීවිකය කියා කොටස් සතරකට බෙදා තිබේ. ආහාරයක් පිලිගත් දින විකාලයට පෙර පමණක් වැළඳීමට සුදුසු වස්තූහු යාවකාලික නම් වෙති. ධාන්‍ය වර්ග හා ඒවායින් පිසූ කැඳබත් ද, මස් මාලු එළවලු ව්‍යඤ්ජන ද, නොයෙක් පිටිවර්ගවලින් පිළියෙළ කරන කැවිලි වර්ග ද ආහාරය පිණිස ගන්නා පොල්, කොස්, දෙල්, ගස්ලබු කෙසෙල්, බෙලි, දිවුල්, දොඩම්, නාරන් ආදි ඵලවර්ග ද, ආහාරය පිණිස ගන්නා අල කොළ කඳන් කරටි මල් ආදිය හා ඒවායින් තනන නොයෙක් ආකාර කෑම ද, බිත්තර කිරි දී යන මේ සියල්ල යාවකාලික වස්තුය. බුදු, පසේබුදු මහරහතුන් වහන්සේලා දිවිහිමියෙන් ද. සියළුම සාමණේර, උපසම්පදා භික්ෂුන්වහන්සේලා හටත්. සිල් මෑණි වරුන්ටත්, අටසිල් ගන්නා උපාසක උපාසිකාවන්ටත් මෙය අනුදැන වදාරා තිබේ. බොහෝදෙනෙකු පූර්ණ උපෝසථය හෙවත් පසුදින පහන්වනතුරු සම්පූර්ණ දවසක් උපෝසථය රකින්නට බිය වී ඇත්තේ මෙම විකාල භෝජනය සිල් පදය නිසාය. එය ගැරහීමට කාරණයක් නොවේ. එය සාධාරණ වූ හේතුවකි.

වර්තමානයේ කුඩා දරුවාගේ පටන් ඇති සුලභ රෝගයක් වන්නේ ගැස්ට්‍රයිටිස් හෙවත් අම්ල පිත්ත රෝගයයි. තවද බොහෝදෙනෙක් මෙකල රෝගාබාධ නිසා රාත්රියට බෙහෙත් බොති. කිසිවක් නොකා හිස් බඩට බෙහෙත් බී භාවනා කළ මා පෞද්ගලිකව දැන සිටි සිල්වන්ත උපාසක මහතෙකුගේ අවසානයේ ඒ නිසා වකුගඩු නරක් වී ජීවිතය පවා අවාසනාවන්ත ලෙස අවසන් විය. පන්දහසක් කල් බුදුසසුන පවැත්වීමට කටයුතු කල අපගේ බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව හොඳාකාරවම දැන සිටියේය. එමනිසා උන්වහන්සේ ගිලන්පස භාවිතයට අනුදැන වදාරා ඇත. ගිලන්පස යනු අාහාරයේත්, ඖෂධයේත් කාර්යන් දෙකම කරනා වූ දෙයකි. කුසගින්නම යනු රෝගයක් කියා ධර්මයෙහි සඳහන් වන නිසාත්, ගැස්ට්‍රයිටිස් යන රෝගයෙන් පීඩා විදින්නෙක්ට කැප වූ ගිලන්පස ඒකාන්තයෙන්ම ඖෂධයක් නිසාත් මෙම විග්‍රහය ඊට හොඳින් ගැළපේ.

අෂ්ටපාන යනු බුදුපාමොක් සඟරුවන පුදන්නට හැකි,විකාලයේ වැළදීම කැප යැයි බුදුරජාණන්වහන්සේ විසින් ම දේශනා කරන්නට යෙදුණ ගිලන්පස පාන වර්ග අටකි. ගිලන්පස පූජාව විකාල භෝජනයෙන් වැළකී දිවි හිමියෙන් සිල් රැකගෙන වාසය කරනා තථාගත ශ්‍රාවකයන් උදෙසා කළ හැකි උසස්ම සංඝෝපස්ථානමය පූජාවෙකි. විනය පිටකයට අයත් මහාවග්ග පාළිය නම් උතුම් ග්‍රන්ථයේ අපගේ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා අමතා මේ අයුරින් ඒ පිළිබඳ වදාළ බව සදහන් වේ.

මහණෙනි, මීපුප්රසය හැර සියලු මල් රස අනුදනිමි. මහණෙනි, උක් රසය (උක් ඉස්ම) අනුදනිමි” ඉහත සඳහන් කළ පාන වර්ග පිළිවෙළින්,

1. අඹ පැන්,

2. ජම්බු පැන්,

3. ඇටිකෙසෙල් පැන්,

4. මස් කෙසෙල් පැන්,

5. මිදියුෂ පැන්,

6. වියළි මිදි පැන්,

7. ඕලූ ගෙඩි පැන්,

8. මසන් (උගුරැස්ස)ගෙඩි පැන් යන අටවැදෑරුම් පැන් අනුදනිමි.

 

මහණෙනි, ධාන්‍ය ඵල රසය හැර සියලු ඵල රස අනුදනිමි.

මහණෙනි, පිසූ පලා කොළ රසය හැර දිය හා මුසුකොට මිරිකාගත් සියලු කොළ රස (කැප ලෙස තැනූ කැඳ) අනුදනිමි.

මහණෙනි, මීපුප්රසය හැර සියලු මල් රස අනුදනිමි.

මහණෙනි, උක් රසය (උක් ඉස්ම) අනුදනිමි”

එසේම දෙහි,දොඩම්,නාරන්,බෙලි,ආදී කුඩා පලතුරුවලින් සාදන ගිලන්පස ද කැපය. පැපොල්,කොස් ආදී මහා පලතුරුවලින් සාදන ගිලන්පස අකැපය. මෙහි මෙහි අර්ථය වන්නේ වරකා, කොමඩු වැනි විශාල ප්‍රමාණයේ පලතුරුවලින් සාදන බීම වෙනුවට බෙලි, නාරං, හෝ එවැනි කුඩා හෝ සාමාන්‍යය ප්‍රමාණයෙන් යුත් පලතුරුවලින් සාදන ගිලන්පස කැප යනුයි. එනම් ඇපල්, අලිපේර ,රට ඉඳි, කටුඅනෝදා වැනි දෑත් කැප වේ. පලතුරේ ප්‍රමාණය අනුව කැප අකැප බව ඔබටම සිතා ගත හැක. දහවල් දානයෙන් පසුව බොහෝ වේලාවක් නිරාහාරව සිටින නිසා හොදින් උකුවට හා රසවත්ව ඇල්වතුරෙන් මිරිකා හෝ බ්ලෙන්ඩර් කර පෙරා සාදා දීමෙන් සත්පුරුෂ දානයේ අංගයක් වන ප්‍රණීතවූ දෙයක් දන් දීමේ උතුම් විපාකය ලැබේ.

මීට අමතරව තේ වැනි කහට බීමත් චතුමධුරත් කැප බව ඔබ අසා ඇති. බොහෝදෙනා චතුමධුර සාදන ආකාරය පිළිබඳ ලොකු අවබෝධයක් නැති නිසා අප ලොව්තුරා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පසු ලෝකයට පළමුව දේශනා කල චතුරාර්‍ය සත්‍ය ධර්මයට උපමාවක් ලෙස ලොවේ ඇති මධුරම කොටස් හතරක් අරගෙන එනම්, ගිතෙල්, වෙඬරු (බටර්), උක් හකුරු සහ මීපැණි එකට එකතු කොට සදාගන්නා චතුමධුර ප්‍රණීත දානය සාදාගන්නා ආකාරය ද සඳහන් කිරීමට සිතුණි.

අවශ්‍ය දේවල්

*උක් හකුරු 250g

*බටර්(මාගරින් ගන්න එපා.)125g

*ගිතෙල් කාලේ බෝතලයක්(කෝප්පයක්)

*මී පැණි කාලේ බෝතලයක්(කෝප්පයක්)

*මෙම ප්‍රමාණ අඩු වැඩි වුණාට කමක් නෑ නමුත් ගිතෙල් දැමීම එතරම් සුදුසු නොවිය හැක.

 

සාදන ක්‍රමය

1.ග්‍රේටර් එකක් ආධාරයෙන් හකුරු සිහින්ව කැබලි නැති වෙන්නම සූරාගන්න.

2.සූරාගත් හකුරු එකට බටර් යොදා ක්‍රීම් වනතුරු කවලම් කරගන්න.

3.ඉන්පසු ගිතෙල් ටිකෙන් ටික මිශ්‍ර කරමින් කවලම් කරගන්න.

4.එයටම මීපැණිත් යොදා කවලම් කරගන්න.

*සියල්ල හොදින් මිශ්‍ර කරගත් පසු ස්වල්පයක් ගෙන රස බලන්න.එවිට එය එක් දෙයක රස ඉස්මතු නොවී සියල්ලගේම රස සමානව යන ආකාරයට ප්‍රණීත රසයකින් යුක්ත විය යුතු වේ.

මෙහි ප්‍රධාන වශයෙන් සඳහන් කල යුතු කරුණක් වන්නේ මෙම සිල් පදය නිසා බොහෝ පිරිස් මේ ශාසනයට ඇතුළුලු වීමට පවා බිය වී ඇති කාලයකි මේ. මන්දයත් දහවල් දානයෙන් පසු නිරාහාරව සිටින්නට තිබෙන කාලය ඉතා දීර්ඝ නිසාත් පෙර සඳහන් කළ පරදි වර්තමානයේදී සුලභව පවතින ගෑස්ට්‍රයිටිස් වැනි රෝග නිසාත් විවිධ රෝගාබාධවලට රාත්‍රියට බෙහෙත් බොන නිසාත් මෙම සිල් පදය රැකීම බොහෝවිට අභියෝගාත්මක වී ඇත. තවත් වැදගත්ම කාරණයක් නම් ධර්මයේම සඳහන් වන පරදි එකල බුද්ධ කාලයේ දි මිනිසුන්ගේත්, වලඳන ආහාරයේත් රස ඕජාවත්, ධාතු ස්වභාවයත් ඉහලය. එකල තිබුණු එම ඉහල පෝෂ්‍ය ගුණයෙන් යුත් එක් ආහාර වළදා සමහර භික්ශුන් මුලු දිනයක්ම කිසිම අපහසුවකින් තොරව ගත කර ඇත. නමුත් මේ කාලයේදි ආහාරයන්ගේ පෝෂ්‍ය ගුණයත් මිනිසුන්ගෙත් ධාතු ස්වභාවයනුත් වේගයෙන් පිරිහේ. මැදිවියේ සිටින අයෙකුගෙන් ඇසුවහොත් කියාවි එකල වරක ගෙඩියක් කපද්දී එහි පුසුඹ මුලු වත්තේම පැතිරෙයි. නමුත් අද එම ඔජා ගුණය නැත. එකල බේකරියට පවා පාන් දමද්දි පළාතම පාන් සුවදය. අද එය නැත. මන්ද ලොව වේගයෙන් ආහාරයන්ගේ පෝෂණීය පිරිහීමයි. එව්වා කන බොන මිනිසුන්ට ද එසේමය. එම නිසා මෙවැනි අඩු පෝෂණීය ගුණාංගයන්ගෙන් යුත් ආහාර වළඳා මෙපමණ වෙලාවක් නිරාහාරව සිටින භික්ෂූන් පිළිබඳව දායක ඔබලා මීට වඩා සැලකිලිමත් වීම වටී. “ මහණ වුණා නම් කැපවීමෙන් සිල් රකින්න ඕනෙ, සිල් පදය රකින්න ගිහින් මැරිල ගියත් කමක් නැහැ“ වැනි පවුකාර කථා කටමැත කියව කියවා සිටීමට වඩා අමාරුවෙන් හෝ සිල්පද රැකගෙන මේ බුද්ධ ශාසනයේ රැකවරණය ඔබටත්, මටත් අනාගත පරපුරටත් රැක දෙන ඔබේ ගම්මෙ සිටින ස්වමීන් වහන්සේලා හට අමිල වූ අනුග්‍රහයක් ලෙස මෙම ගිලන්පස පූජාව කෙරෙහි මිට වඩා සිතට ගනු මැනවි. ගමේ පන්සලට සවස ගිලන්පස පූජාව කිරීමෙන් ශාසනයට ඇතුළුවී සිට්න භික්ෂූන්ගේ ආයුශය සහ නිරෝගී භාවය රැකීමත්, ඉදිරියේ දි මහණ වීමට සිතේ කැමැත්තක් ඇති අයව දිරිමත් කිරීමත් නිසා මේ ගෞතම බුද්ධ ශාසනයේ ආයුෂය දීමත් එය රැකීමත් යන මහඟු වු පින ඒකාන්ත වශයෙන්ම සසර බොහෝ සුවපත් වීමටත්, නිර්වාණය සාක්ෂාත්කර ගැනීමටත් හේතුවනවා නො අනුමානය.

 

 

 

අනුශාසනාව

පූජ්‍ය , තෙලඟපාත ධම්මජෝති ස්වාමින් වහන්සේ