ලොව්තුරා බුදුරජාණන් වහන්සේට 'තථාගත' කියා ව්‍යවහාර කරන්නේ ඇයි?

මාර්තු 18, 2024

 

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ හැඳින්වීම උදෙසා බොහෝ නාමයන් බෞද්ධ සම්ප්‍රදාය තුළ භාවිතයට ගනු ලැබේ. ඒ අතර එක් සුවිශේෂී නාමයක් වනුයේ 'තථාගත' යන නාමයයි.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේට 'තථාගත' යැයි ව්‍යවහාර කරන්නේ කුමන අරුතකින් දැයි විමසා බැලීම මේ ලිපියේ අරමුණයි.

බොහෝවිට 'සුගත' සහ 'තථාගත' යන පද එක සමාන අර්ථයක් සේ පෙනෙන්නට තිබේ. නමුත් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ විසින්ම තමන් වහන්සේ හැඳින්වීම උදෙසා වඩාත් භාවිත කොට ඇත්තේ 'තථාගත' යන පදයයි.

මෙම 'තථාගත' පදයට දුන් අර්ථ විවරණ බොහෝමයක් පෙළ, අටුවා දෙකෙහි දක්නට ලැබේ.

අංගුත්තර අට්ඨකථාව , ථේරගාථා අට්ඨකථාව, පංච ප්‍රකරණ අට්ඨකථාව හා දීඝ නිකාය අට්ඨකථාව ආදී මූලාශ්‍රයන්හි මෙසේ අර්ථ විවරණ දක්වා තිබේ.

"අට්ඨහි කාරණෙහි භගවා තථාගතොති වුච්චති. කතමෙහි අට්ඨහි?

1.තථා ආගතොති තථාගතො,

2.තථා ගතොති තථාගතො,

3.තථලක‍්කඛණං ආගතොති තථාගතො,

4.තථධම්මෙ යාථාවතො අභිසම්බුද‍්ධොති තථාගතො,

5.තථදස්සසිතාය තථාගතො,

6.තථවාදිතාය තථාගතො,

7.තථාකාරිතාය තථාගතො,

8.අභිභවනට්ඨෙන තථාගතොති"

 

මෙහි අර්ථය එකිනෙක මෙසේ සලකා බැලිය හැකිය.

1. අතීත ලොව්තුරා බුදුරජාණන් වහන්සේලා පංච මහා පරිත්‍යාග කරමින්, සමත්‍රිංශත් පාරමී දහම් සපුරමින්, නියත විවරණ ලබමින් පැමිණි ආකාරයෙන්ම ලොව්තුරා බුද්ධත්වයට පැමිණ වදාළ නිසා 'තථාගත' යැයි කියනු ලැබේ.

 

2. අතීත ලොව්තුරා බුදුරජාණන් වහන්සේලා ගමන්ගත් ආකාරයෙන්ම ගමන් කළ නිසා ද 'තථාගත' යැයි ව්‍යවහාර කරනු ලැබේ.

 

එනම් සියලු ලෝක සත්ත්වයා කෙරෙහි අපමණ මහා කරුණාවකින් සත්‍යය සොයා ගිය ආකාරයෙන්ම ගිය බැවිනුත්, උපන් කෙණෙහි අනෙක් මහ බෝසතාණන් වහන්සේලා සේ උතුරට මුහුණලා සත් පියවරක් ගිය පරිද්දෙන්ම ඉදිරියට පියවර තැබූ හෙයිනුත්, අතීත බුදුවරයන් වහන්සේලා බෝධිසත්ත්ව සිටියදී අභිනිෂ්ක්‍රමණය කළා සේම අභිනිෂ්ක්‍රමණය කොට පැවිදිව ලොව්තුරා සම්මා සම්බෝධියට පත් වූ හෙයිනුත් 'තථාගත' යැයි කියනු ලැබේ.

 

එසේම අතීත ලොව්තුරා බුදුරජාණන් වහන්සේලා සේම පරිපූර්ණ වශයෙන් ලොව්තුරා සම්බුද්ධ කෘත්‍යය ඉටුකොට පිරිනිවනට වැඩියා සේම පිරිනිවනට වැඩි හෙයින් ද 'තථාගත' යැයි කියනු ලැබේ.

 

3. නාම රූප ධර්මයන්ගේ සත්‍ය තත්ත්වයට 'තථ' යැයි කියනු ලැබේ. මෙම සත්‍යය තත්ත්වය නොදැන පෘථග්ජනයින් සම්මුතිය තුළ මුළාවට පත්වී සිටී.

නාම රූප ධර්මයන්ගේ යථා ස්වරූපය විදර්ශනා ඥානයෙන් අවබෝධ කරගැනීම එම සත්‍ය ලක්ෂණයට නුවණින් පැමිණීමකි.

එබැවින් තථ ලක්ෂණයට පැමිණියාය යන අර්ථයෙන් ද ලොව්තුරා බුදුරජාණන් වහන්සේට 'තථාගත' යැයි ව්‍යවහාර කරනු ලැබේ.

 

4. නොවෙනස් වන ශ්‍රී සද්ධර්මය අවබෝධ කළ බැවින් ද ලොව්තුරා බුදුරජාණන් වහන්සේට 'තථාගත' යැයි කියනු ලැබේ.

දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග යන චතුරාර්ය සත්‍යයත්, පටිච්ච සමුප්පාදයේ සියලු ප්‍රත්‍ය සම්බන්ධයෙනුත් කිසිකලෙක අන්‍යාකාරයකින් සිදු නොවේ. සිදුවන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළ ආකාරයටමය.

එසේ නොවනස්වන, අන්‍යාකාරයකට පත් නොවන ශ්‍රී සද්ධර්මය අවබෝධ කිරීම නිසා ලොව්තුරා බුදුරජාණන් වහන්සේට 'තථාගත' නාමය ව්‍යවහාර කරනු ලැබේ.

 

5. සාමාන්‍ය ලෝකයේ සත්ත්වයින් ඉන්ද්‍රියන්ට අරමුණු වන දෑ විපර්යාස වශයෙන් වටහා ගනී. ඒවා නිත්‍ය, සුඛ, ආත්ම දෑ ලෙස ග්‍රහණය කරගනී මුළාවට පත් වේ.

නමුත් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ඒ සියල්ලෙහි අනිත්‍ය , දුක්ඛ, අනාත්ම ස්වාභාවය තත්වාකාරයෙන්ම දකිනු ලැබූ සේක.

එසේ 'තථ' හෙවත් සියල්ලෙහි සත්‍යය ලක්ෂණය දුටු නිසා ලොව්තුරා බුදුරජාණන් වහන්සේට 'තථාගත' යැයි කියනු ලැබේ.

 

6. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බෝධියට පත්වූ තැන් පටන් පරිනිර්වාණයට පත්වූ මොහොත දක්වා යමක් දේශනා කළ සේක් ද, පනවා වදාළ සේක් ද, ඒ සියල්ල එසේම වන බැවින්, අන්‍ය අයුරකින් නොවන බැවින් , නොවරදින දෙයම දෙසූ බැවින් ද ලොව්තුරා බුදුරජාණන් වහන්සේට 'තථාගත' යැයි කියනු ලැබේ.

 

7. ලෝකයේ සමහරුන්ගේ කතාව එකකි. ක්‍රියාව අනෙකකි. වචනය හා ක්‍රියාකාරීත්වය එකිනෙකට පරස්පරව පවතී. නමුත් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ කියන දේ කරන, කරන දේ කියන, යථාවාදී තථාකාරී ගුණයෙන් යුක්ත වූ උත්තමයන් වහන්සේ නමකි. එබැවින්ද ලොව්තුරා බුදුරජාණන් වහන්සේට 'තථාගත' යැයි කියනු ලැබේ.

 

8. සියලු විශ්වයේම සීල,සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්ති ඤාණ දර්ශන යන ගුණයන්ගෙන් ලොව්තුරා බුදුරජාණන් වහන්සේට වඩා උසස් වූ හෝ සම වූ හෝ උතුමෙක් නොමැත. සියලු ලෝක සත්ත්වයා සීල, සමාධ්‍යාදී ගුණාංගයන්ගෙන් අභිභවනය කොට උත්තරීතරත්වයට පැමිණ වාසය කරන සේක. ඒ හේතුවෙන්ද ලොව්තුරා බුදුරජාණන් වහන්සේට 'තථාගත' යැයි කියනු ලැබේ.

 

මීට අමතරව අංගුත්තර නිකායේ ලෝක සූත්‍රය තුළ මෙසේ දක්වා තිබේ.

 

"ලොකො භික්ඛවෙ තථාගතෙන අභිසම්බුද්ධො ලොකස්මා තථාගතො විසංයුත්තො, ලොක සමුදයො භික්ඛවෙ තථාගතෙන අභිසම්බුද්ධො ලොකසමුදයො තථාගතස්ස පහීනො, ලොක නිරොධො භික්ඛවේ තථාගතෙන අභිසම්බුද්ධො ලොක නිරොධො තථාගතස්ස සච්ඡිකතො, ලොක නිරොධගාමිනී පටිපදා භික්ඛවෙ තථාගතෙන අභිසම්බුද්ධා ලොකනිරොධ ගාමිණී පටිපදා තථාගතස්ස භාවිතා. යං භික්ඛවෙ සදෙවකස්ස -පෙ- සබ්බං තං තථාගතෙන අභිසම්බුද්ධං තස්මා තථාගතොති වුච්චති"

 

"මහණෙනි, ලෝකය (දුක්ඛ සත්‍යය) තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලදි. තථාගතයන් වහන්සේ ලෝකයෙන් (දුක්ඛ සත්‍යයෙන්)

වෙන් වූහ.

 

‘මහණෙනි, ලෝක සමුදය (තෘෂ්ණාව) තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලදි. තථාගතයන් වහන්සේ විසින් ලෝක සමුදය ප්‍රහීණ කරන ලදි.

 

මහණෙනි, ලෝක නිරෝධය තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලදි. ලෝක නිරෝධය තථාගතයන් වහන්සේ විසින් පසක් කරන ලදි.

මහණෙනි, ලෝක නිරෝධගාමිණි ප්‍රතිපදාව තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලදි. ලෝක නිරෝධගාමිණී ප්‍රතිපදාව තථාගතයන් වහන්සේ විසින් වඩන ලදි.

මහණෙනි, දෙවියන් සහිත යම් -පෙ- ඒ හැම තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලදි. එහෙයින් ‘තථාගත’ යැයි කියනු ලැබේ."

 

යනුවෙන් චතුරාර්ය සත්‍යයන් සත්‍යය , කෘත්‍යය, කෘත වශයෙන් තිපරිවට්ටයෙන් සම්පූර්ණ කළ නිසා ලොව්තුරා බුදුරජාණන් වහන්සේට 'තථාගත' යැයි ප්‍රකාශ කෙරෙන බව පැහැදිලි කොට තිබේ.

 

තවදුරටත් අටුවාව තුළ මෙසේ ද දක්වා තිබේ.

 

"කථං තථාපවත‍්තිකොති තථාගතො?

අනඤ‍්ඤසාධාරණෙන ඉද‍්ධානුභාවෙන සමන‍්නාගතත‍්තා අත්‍ථපටිසම්භිදාදීනං උක‍්කංසපාරමිප‍්පත‍්තියා අනාවරණඤාණපටිලාභෙන ච භගවතො කායප‍්පවත‍්තියාදීනං කත්‍ථචි පටිඝාතාභාවතො යථාරුචි තථා ගතං ගති ගමනං කායවචීචිත‍්තප‍්පවත‍්ති එතස‍්සාති තථාගතො. එවං තථාපවත‍්තිකොති තථාගතො"

 

"එසේ පැවතුම් ඇති හෙයින් තථාගත වන්නේ කෙසේද?

 

අන් අයට පොදු නොවූ සෘද්ධි ආනුභාවයෙන් යුක්ත හෙයින් ද ඉතා උසස් අයුරින් අත්‍ථපටිසම්භිදාදියේ කෙළවරට පැමිණි බැවින් ද, අනාවරණ ඤාණය ලැබීමෙන් ද කයේ පැවැත්ම ආදියේ ගැටීමක් කිසිතැනක නැති බැවින් උන්වහන්සේගේ කය,වචන,සිතේ පැවැත්ම රුචි වූ පරිද්දෙන් ගියේය යන අරුතින් ද ‘තථාගත’ නම් වෙති. මෙලෙස ‘තථා’ එසේ ‘පවත්තිකො’ පැවැත්ම ඇත්තේ යන අරුතින් ‘තථාගතො’ තථාගත නම් වෙති"

 

මේ ආදී වශයෙන් ලොව්තුරා බුදුරජාණන් වහන්සේට 'තථාගත' යැයි ව්‍යවහාර කිරීමට බොහෝ හේතු, පෙළ සහ අටුවා තුළ දක්වා තිබේ.

ඒවා අවබෝධයෙන් යුතුව වන්දනාමානාදියේ දී භාවත කළහොත් ඤාණ සම්ප්‍රයුක්ත උසස් කුසල් වර්ධනය කරගත හැකිවනු ඇත.

එබැවින් අර්ථය දැන එවැනි ගුණ නාමයන් භාවිතයට බෞද්ධයන් වශයෙන් අපි සැම පුරුදු පුහුණු වෙමු.

 

තෙරුවන් සරණයි !

 

අනුශාසනාව

(ත්‍රිපිටකාචාර්ය , ත්‍රිපිටක විශාරද , සද්ධර්ම භාණක , අභිධර්ම භාණක පූජ්‍ය බඩල්ගම විපුලසිරි හිමි .

සිරි උපාලි ධර්මාශ්‍රමය ,

කුඩා කිවුල, කොට්ටුකච්චිය)