භික්ෂුවක් ඉදිරිපිට කාන්තාවක් හැසිරිය යුත්තේ කෙසේද?

ජනවාරි 1, 2024

 

පිදිය යුත්තන් පිදීම නම් උතුම් මංගල කරුණකි. එය දෙලොව හිතසුව පිණිසම හේතු වාසනා වන්නකි. නමුත් පිදිය යුතු උතුමන්ව පිදීමට ලක්කළ යුත්තේ කෙසේ දැයි පුදන්නා හට නිසි අවබෝධයක් තිබිය යුතුය. එසේ නොමැති වූ විට අකැප වූ අකුසල වූ පූජාවන් සිදු කරගෙන තමාටත් අනුන්ටත් හානියක්ම සිදුකර ගන්නට සිදු වේ.

 

මේ එවැන්නක් ගැන පැහැදිලි කිරීමකි.

 

පසුගිය දිනෙක ධර්ම දේශනාවක් සඳහා වඩනා භික්ෂුන් වහන්සේ නමකට කාන්තාවන් පිරිසක් විසින් අමුතු විදියේ පූජාවක් සිදු කරනවා දුටිමි.

 

නිවසේ සුදු පාවඩ අතුරා , කාන්තාවන් කීපදෙනෙක් දෙපසින් වාඩි වී, පාවඩය මතට දෙපසින් කෙස්වැටි ඉහිරුවා තිබිණි. ඒ ධර්ම දේශකයාණන් වහන්සේට පාගාගෙන වැඩීම පිණිසයි. එම භික්ෂුන් වහන්සේට ද කරකියාගත හැකි දෙයක් නොවූයෙන් ඒ කෙස් පාගාගෙන වඩින්නට සිදු විය.

 

මේවා අනවබෝධය නිසා රැල්ලට සිදු කරන ක්‍රියාවන්ය. සාමණේරයන් වහන්සේ නමකට මෙන් නොව, උපසම්පදාව ලැබූ භික්ෂුන් වහන්සේ නමකට රැකීමට ඇති ශීලය ඉතා බරපතළ වූවකි. 227 ක් වූ ප්‍රධාන ශික්ෂා පදයන් අතර ලහුකාපත්තීන් මෙන්ම ගරුකාපත්තීන්ද ඇතුළත්ය.

 

ලහුකාපත්තීන් යනු සැහැල්ලු ආපත්තීන් වේ. ගරුකාපත්තීන් යනු බරපතළ ආපත්තීන්ය. ගරුකාපත්තීන් දෙවර්ගයකි. ඒ අතරට පාරාජිකා සතරත් සංඝාධිසේස තෙළෙසත් අන්තර්ගත වේ. පාරාජිකා සතරෙන් එකක් හෝ සිදුවුවහොත් එයින් භික්ෂූත්වයම නැතිවී පැවිද්දෙන් පැරදීම සිදු වෙයි. සංඝාධිසේස 13 යනු පාරාජිකාවලට පමණක් දෙවෙනි වන බරපතළ ශික්ෂාපද විශේෂයකි. එයින් එකක් බිඳීම භික්ෂුවකට බරපතළ දෝෂයකි. එසේම හානියකි.

 

ඒ සංඝාධිසේසයන් අතර දෙවැන්න මෙසේය.

 

"යො පන භික්ඛු ඔතිණ්ණො විපරිණතෙන චිත්තෙන මාතුගාමෙන සද්ධිං කායසංසග්ගං සමාපජ්ජෙය්‍ය, හත්ථගාහං වා වෙණිගාහං වා අඤ්ඤතරස්ස වා අඤ්ඤතරස්ස වා අංගස්ස පරාමසනං සංඝාදිසෙසො."

 

"යම් භික්ෂුවක් රාගය විසින් බැස ගත් සිතින්, ඒ නිසාම අයහපතට පෙරළී ගිය සිතින් ස්ත්‍රියක් හා කයින් කය ස්පර්ශ කිරීමට පැමිණියේ නම් අත ඇල්ලීම හෝ කෙස් කළඹ ස්පර්ශ කිරීම හෝ අන් ශරීරාවයවයක් ස්පර්ශ කිරීම හෝ කළේ නම් සංඝාදිසේසාපත්ති වේ" යනු එහි සරල අරුතයි.

 

සිත වනාහි ඉතා වෙනස්වන සුළු එකකි. භික්ෂුන් වහන්සේ නමක් සුන්දර ස්ත්‍රියකගේ කෙස් පාගමින් වඩිද්දී, එම වැඩමවීම විපරිණත සිතින් කළහොත් භික්ෂුවට බරපතළ ආපත්තියක් සිදුවේ. එයටම අඥාන කමින් එම ස්ත්‍රීහු ද කොටස්කාරියන් වන්නෝය. භික්ෂුවකට තිරිසන් සතෙකු හෝ ස්පර්ශ කරන්නට හුරතල් කරන්නට විනයෙන් ඉඩක් නැත. එසේ සුරතල් කිරීම, ස්පර්ශ කිරීම දුකුලා ඇවතකි. ශික්ෂා පදයක් බිඳීමකි.

 

ස්ත්‍රිය වනාහි භික්ෂුවකගේ බ්‍රහ්මචර්යාවට අනිවාර්යයෙන්ම කිලුටකි. එබැවින් ස්ත්‍රියක් සම්බන්ධව වූ කිසිඳු ස්පර්ශයක් සිල්වත් භික්ෂුවකට සුදුසු නැත.

 

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදී එක් භික්ෂුවක් මව් සෙනෙහසින් තම මවගේ අත ස්පර්ශ කළ අතර, ඒ හේතුවෙන් එම භික්ෂුව දුකුළා ඇවතකට පත්විය. ගිහිකළ දියණියගේ හිස, දූහිතෘ ප්‍රේමයෙන් අත ගෑ භික්ෂුන් වහන්සේ නමක් ද දුකුළා ඇවතකට පත්විය.

මෙහිදී විනය හා ධර්මය නොදැන, කර්මය හා ආපත්තිය පටලවා නොගත යුතුය. විනය තුළ සසුනෙහි චිර පැවැත්ම උදෙසා පැනවූ අනවජ්ජ ( අකුසල් නොවූ) ආපත්ති බොහෝමයක් දක්නට ලැබෙන බැවිනි.

 

එක් භික්ෂූන් වහන්සේ නමක් රාගික සිතින් කාන්තාවකගේ සිරුරට තම උරහිස හප්පන ලදි. එයින් ඒ භික්ෂුව සංඝාධිසේසයට පත් වූ බව ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වදාළ සේක. තවත් භික්ෂුවක් කාන්තාවක් තමන්ව වන්දනා කරනවිට ස්පර්ශ කරවා ගැනීමේ චේතනාවෙන් පා එසවූහ. එයින් ඒ භික්ෂුවද සංඝාධිසේස විය. භික්ෂුවකට නිවැරැදිව උපසම්පදා ශීලය රකින්නේ නම් අයහපත් සිතින් ස්ත්‍රියකගේ සිරුර උපකරණයකින් හෝ ඇල්විය නොහැක. එයින් ථුලැසි ඇවැතක් සිදුවන බැවිනි. ස්ත්‍රී සිරුරක් වෙත යමක් වීසි කිරීම හෝ කළ නොහැක. එසේ කළහොත් දුකුළා ඇවතක් සිදුවේ.

 

මෙසේ භික්ෂුවකගේ ශීලය ඉතාම සියුම් එකකි. ගිහියෙකුට නම් කිසිසේත්ම ඒ ශික්ෂා පද බිඳීයෑම හෝ අරක්ෂාවීම පිළිබඳව නිවැරැදි හැඟීමක් ඇති කර ගැනීම ඉතා අපහසුය. ඒ සඳහා මනා විනය විශාරදත්වයක් තිබිය යුතුමය.

 

එබැවින් කාන්තාවන්ගේ කොණ්ඩා භික්ෂුන්ට පාවඩ පිණිස ඇතිරීමෙන් වන්නේ මහා අවුලකි.

 

කාන්තාවකට කෙස් කළඹ පූජා කිරීමට අවශ්‍ය වේ නම් එය හිසෙන් වෙන්කොට, පාවඩ පිණිස හෝ වෙනයම් සැරසිල්ලක් හෝ උපකරණයක් පිණිස පූජා කිරීමට ඉඩකඩ තිබේ. එය කළ හැකිය. නමුත් ශරීරයට සම්බන්ධ ජීවී කෙස් කළඹ, ශරීරයට අයත් අංගයක්ව තිබියදී ස්පර්ශ කරන්නට දීමෙන් වන්නෙ භික්ෂූත්වයට නපුරකි. ඒ බව සැදැහැති මෙන්ම නුවණැති කුලකතක මැනවින් වටහාගත යුතුය. සංඝයා වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවත් වීම ඉතාමත් යහපත් කරුණකි. නමුත් එම ශ්‍රද්ධාව අවබෝධයෙන් යුක්ත එකක් විය යුතුය. නිර්වාණාවබෝධය අරමුණු කොටගත් ශීල, සමාධි, ප්‍රඥාවන් වඩනා භික්ෂුවට හානියක් නොවනා දෙයක් විය යුතුය. ගිහියනට භික්ෂූන්ගේ විනය කරුණු පිළිබඳව අවබෝධයක් තිබේ නම්, කැප අකැප දේ ගැන වැටහීමක් තිබේ නම් එය ඉතා යහපත් තත්ත්වයකි. ඒ දැනීමෙන් යුතුව කටයුතු කිරීමෙන් ගිහියනට බොහෝ කුසල් උපදවා ගත හැකිය.

 

පදනමක් නොමැති, අමූලිකා ශ්‍රද්ධාවෙන් කටයුතු කරන සමහර ගිහියන් නිසා බොහෝ ශීලවන්ත භික්ෂුන් වහන්සේලා මහත් කරදර වල පටළැවෙති. ශීලයෙන් ද පිරිහෙති. ශීලයෙන් පිරිහුණු කල්හි සමාධිය හෝ ප්‍රඥාව පූර්ණත්වයට පත් නොවන්නේය. ලැබීමට තිබූ දෙලොව සැපතින්ම ඒ භික්ෂූහු පිරිහෙති. සමහර කලෙක පැවිද්දෙන්ද බැහැර වී හීන වූ ගිහි බවට ද පැමිණෙති.

 

තමන්ගේ ඇවතුම් පැවතුම් හෝ පූජාවන් නිසා පැවිද්දෙකුට එසේ වනවාට සැදැහැති උපාසක උපාසිකාවන් කිසිකලෙක කැමති වන්නේ නැත. ගිහි උපාසක උපාසිකාවන් ඇති හැකි පමණින් සිව්පසයෙන් මහා සංඝයාට උපස්ථාන සිදු කරන්නේ, උන්වහන්සේලාට නිවන් මග වැඩීමට උපකාර කොට තමනුත් කුසල් පුරාගැනීම සඳහාය. එබැවින් මෙවැනි නුසුදුසු පූජාවන්, නොගැළපෙන ක්‍රියාවන් කිරීමට අනුබලයක් හෝ නොදිය යුතුය.

 

වෙනත් රටවලට වඩා පාරිශුද්ධ වූ ශ්‍රී සද්ධර්මය හෙවත් ධර්ම විනය දෙක තවමත් මෙරට විද්‍යමානව පවතී. එබැවින් වෙනත් රටවල අත්තනෝමතික ක්‍රියා දුටු පමණින් මෙරටට ආදේශ කිරීම නොකළ යුතුය.

කෙස් කළඹින් පාවඩ ඇතිරීම, කෙස් මතින් භික්ෂුන් වහන්සේලා වැඩම කරවීම පිරිසිදු බුදුදහම හා නොගැළපෙන කටයුත්තකි. ඒවා රැල්ලට අනවබෝධයෙන් කරනා කටයුතු මිස, අගය කළ යුතු ඥානවන්ත කටයුතු නම් නොවේ.

 

සැදැහැවත් පරිත්‍යාගශීලී කාන්තාවකට තම කෙස් කළඹ පරිත්‍යාග කිරීමට අවශ්‍ය යැයි කුසල් සිතක් උපදී නම් එය අනුග්‍රහ බුද්ධියෙන්ද සපුරාගත හැකිය. ඒ මහරගම පිළිකා රෝහලේ හිසකෙස් අහිමි වී සිටින අහිංසක පින්වතුන්ට කෘත්‍රිම කෙස් කළඹවල් නිමැවීම පිණිස තම කෙස් කළඹ පරිත්‍යාග කිරීම තුළිනි.

එය නම් වඩාත් අර්ථවත් පරිත්‍යාගයක් වනු ඇති.

 

මේ යුගය විවිධ විසම ක්‍රියාකාරකම් නිසා සීඝ්‍රයෙන් නිර්මල බුදුසසුන පිරිහී යන යුගයකි. ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ පැවිදි හෝ ගිහි ශ්‍රාවකයින් වශයෙන් අපි ඒවාට ඉඩ නොතැබිය යුතුය. අපගේ කිසිඳු ක්‍රියාකාරකමක් උතුම් බුදුසසුනේ පරිහානියට නම් හේතු නොවිය යුතුය. සෑම ක්‍රියාකාරකමක්ම උතුම් නිර්මල බුදු සසුනේ අභිවෘද්ධිය පිණිසම හේතු විය යුතුය.

 

එබැවින් ධර්ම විනය මැනවින් දැන ශාසනාලයෙන් පූජාදී කටයුතු සිදු කරමු.

 

තෙරුවන් සරණයි!

 

 

අනුශාසනාව

(ත්‍රිපිටකාචාර්ය , ත්‍රිපිටක විශාරද , සද්ධර්ම භාණක , අභිධර්ම භාණක පූජ්‍ය බඩල්ගම විපුලසිරි හිමි .

සිරි උපාලි ධර්මාශ්‍රමය ,

කුඩා කිවුල, කොට්ටුකච්චිය)