වර්තමාන ආර්ථික ප්‍රශ්න හමුවේ ගෘහණිය කටයුතු කළ යුත්තේ කෙසේද?

අප්‍රේල් 4, 2022

 

මේ දිනවල ලංකාවේ වාසය කරන බොහෝ දෙනා ජීවත් වන්නේ දැඩි ආර්ථික අසීරුතා මැද ය. එයට ප්‍රධානතම හේතුව පවතින ආර්ථික ගැටලුවයි. ගෘහණියක් ලෙස වර්තමාන ආර්ථික ප්‍රශ්න හමුවේ කටයුතු කළ යුත්තේ කෙසේද? යන්න මෙම ලිපියෙන් විමසා බැලේ.

 

පළමුව කිව යුතු වන්නේ ඔබ මේ ගෙවමින් සිටින්නේ කාල විපත්ති සමයක් බවයි. එම නිසා ඔබගේ නි‍ෙවසේ දෛනික පරිභෝජනයට අවශ්‍ය බොහෝ දේවල් නිවෙස අවටම රෝපණය කර ගත යුතු ය. මෙම ආර්ථික ගැටලුවට නිවැරැදිම විසඳුම වන්නේ බුදු දහමේ උගන්වන්නේ රටේ ස්වයංපෝෂිතකමයි. එය සකස් කර ගන්නට රට වැසියන්ට ඉක්මනින්ම මඟ පෙන්වීම සහ අවශ්‍ය නීතියේ නිදහසේ සිට, සියලුම පහසුකම් නොදුන්නොත් ඉදිරිය බොහෝම භයානක වේවි. අල්ලස, සොරකම, ආදිය නැති කර, කල් නොයවාම රට ස්වයංපෝෂිත කර ගන්නා ක්‍රමවේදයකට යා යුතු ය.

 

බුදු දහමේ උගන්වන ආකාරයට ගෘහණියන් තමන්ගේ නි‍ෙවස තමන්ට හැකි පමණින් ස්වයං පෝෂිත කර ගත යුතු ය. අද ෙබාෙහා් ෙදනා පිට රටවල් ගැන විශ්විසය තබාගෙන අත්‍යවශ්‍ය සේවා එම රටවලින් මිලදී ගන්නා ක්‍රම වේදයකට හුරු වී ඇත. එයින් සිදුව තිබෙන්නේ තමන් ළඟ මුදල් නැතිව මිල දී ගන්නට නොහැකි වී තිබීමයි. පිටතින් මිලදී ගත යුත්තේ තමන් ළඟ නැති පෙට්‍රල්, ඩීසල්, ගෑස් ආදිය යි. තමන්ගේ රටේ නිපදවා ගත හැකි දේ රට තුළ නිෂ්පාදනය කළ යුතු ය.

 

ගෘහණියන් ලෙස ඔබ ඔබගේ නි‍ෙවස හැකි පමණින් ස්වංපෝෂිත කර ගන්න. මිරිස්, තක්කාලි, බණ්ඩක්කා, කරපිංචා, කහ, ඉඟුරු, පලා වර්ග ආදි එදිනෙදා පරිහරණයට අවශ්‍ය දේවල් නි‍ෙවසේම වගා කර ගන්න. කුඹුරු ආදිය ඇත්නම් වගා කරගන්න. එයින් ඔබට සහ ඔබ පවුලේ යැපෙන්නන්ට මෙම දුෂ්කර කාලයේදී වුණත් නොමැරී ජීවත්විය හැකි ය.

 

මේ දිනවල, අත්‍යවශ්‍ය සේවා නොමැතිව බොහෝ දෙනා දැඩි සේ අසරණව සිටී. දිනෙන් දින ඉහළ යන අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිළ ගණන් මාසික වැටුපට කිසිසේත්ම දරා ගත නොහැකි වී තිබේ. රැකියාවට පාසලට යෑමේ සිට එදිනෙදා කටයුතු කර ගැනීම දුෂ්කර වී තිබේ. කෑම බීම සපයා ගැනීමද ඉතාමත්ම වෙහෙසකරව තිබෙන්නේ දිනෙන් දින ඉහළ යන භාණ්ඩ මිල දරා ගත නොහැකි නිසා ය.

 

මෙයට හේතුව කුමක්දැයි කෙනෙක් ඇසුවොත් එයට පිළිතුර කාල විපත්තිය යන්නයි. රටක මිනිසුන් දූෂ්‍ය ෙවද්දි එනම් අල්ලස් ගැනීම්, යුද්ධ පවතින කාල, නරක මිනිසුන් අධික අපරාධ බහුල කාල, දුර්භික්ෂ කාල ආදිය නරක කාල වේ. මේ නරක කාලවල ජීවත්වන අයට ආහාර පාන වස්ත්‍රාදිය ලබන්නට නිසි පින් තිබුණත් ඒ නරක කාලවිපත්තිය නිසා පිනේ විපාක ලැබෙන්නේ නැත. ලැබුණත් ලැබෙන්නේ අල්ප වශයෙනි.

 

ඉතාමත්ම උසස් සැප සම්පත් ලබන්නට පෙර පින් තිබුණත්, කාල විපත්තියේදී ලැබෙන්නේ දුර්වල සම්පත් ටිකකි. මේ කාලයේදී පෙර සසරේ කරගෙන ඇති උසස් කුශලයන්ට විපාක දෙන්නට අවස්තාව ලැබෙන්නේද නැත. පෙර දුර්වල අකුශල කර්මයෝ ද මතු වේ.

 

භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ දිව්‍ය, මනුෂ්‍ය, බ්‍රහ්ම ආදී කොතැනක ජීවත් වූවත් ජීවත් වන සියල්ලන්ටම සැපවත් විය හැකි මඟයි. ඒ සැපවත් බව ලෞකික ලෝකෝත්තර යන දෙයාකාරයෙන්ම ලැබිය යුතුය. සියලුම සැපයන් අතර උසස්ම සැපය නිවන් සැපය යි.

 

මෙවැනි කාල විපත්ති කාලයක නි‍ෙවසේ සම්පූර්ණයෙන්ම වගකීම දරන ගෘහණියන් ලෙස ඔබ කටයුතු කළ යුත්තේ කෙසේද? ගිහි ජීවිතයට අදාළව බුදු දහමේ උගන්වන ප්‍රධාන ඉගැන්වීමක් අංගුත්තර නිකායේ අණන සූත්‍රයේ සඳහන් වේ. එහි උගන්වන කරුණු හතර වන්නේ අත්ථි සුඛය, භෝග සුඛය, අණන සුඛය, අනවජ්ජ සුඛය යන්නයි. ඔබ ඒ අනුව කටයුතු කළයුතුම වේ.

 

අත්ථි සුඛය - මම සහ මගේ යැපෙන්නන්ට ජීවත් විය හැකි ලෙස උපයාගත් ධනය භවභෝග සම්පත් ආදිය අවශ්‍ය තරමට තිබෙනවා යන සතුට තිබිය යුතුය. මෙයින් කියැවෙන්නේ තමන්ගේ ස්වයං පෝෂිතභාවය ගැන ඇතිකර ගත හැකි ආත්මතෘප්තිය යි. ජීවත් වන්නටත් දෙලොව යහපතට පින්කම් ආදිය කර ගන්නටත් ලෙඩ දුක් පීඩා ආදී සෑම දේකටම මුහුණ දෙන්නට උපයා ගත් ධනයක්, භව භෝග සම්පත් ආදිය තිබිය යුතුය.

 

භෝග සුඛය - ඒ උපයා ගත් ධනය ධාන්‍ය භවභෝග සම්පත් ආදිය පරිභෝජනය කරනවා කියන සතුට විඳීම දෙවැනි සැපය යි. උපයා ගත් දෙයින් තමන්ගේ අඹුදරුවන් ආදී යැපෙන්නන්ද කම්කරුවන් ආදීන් ද පෝෂණය කළයුතු ය.

 

අණන සුඛය - මම කිසිවකුට අල්ප වශයෙන් හෝ බොහෝ වශයෙන් හෝ ණය නැහැ කියන සතුට විඳින්නට පුළුවන් විය යුතු ය. කිසිවකුට කිසිම දෙයක් ණය නොවිය යුතු ය. ණය වී ව්‍යාපාර ආදිය ආරම්භ කළත් ඉක්මණින්ම එම ණය ගෙවිය යුතු ය.

 

අනවජ්ජ සුඛය - තමන්ගේ කයින්, වචනයෙන්, සිතින් පව්කම් නොකිරීම නිසා නිවැරැදි දිවිපෙවෙතත් ගත කිරීමෙන් ලබන සැපය විඳිය යුතු ය. මෙයින් කියැවෙන්නේ සිල්වත් බවයි.

 

මෙම ඉගැන්වීම අනුව කටයුතු කරන පින්වතුන්ගේ නිවෙස් ධනවත් බලවත් නිවෙස් වේ. ඔවුන් දෙළොවම යහපත් කර ගනී. බෞද්ධ ඉගැන්වීම් අනුව පවතින රටක් කිසිසේත්ම දුප්පත් රටක් වන්නේ නැත. අතීතයේදී මෙන් හැම අතින්ම සශ්‍රීක බලවත් රටක් වේ.

ඉදිරියේදී සොර සතුරු බිය ද වැඩි වන නිසා, ඔබගේ වටිනා ආභරණ සහ වස්තුව ආරක්ෂිත තැනකම තැන්පත් කර ගන්න. නිරන්තරයෙන්ම තමන්ගේ ශක්තිය මත විශ්වාසය තබා ගන්න. තුණුරුවන්ම සරණ යන්න.

 

බුදු රජාණන් වහන්සේ දේශනා කර තිබෙන ආකාරයට ඔබ නිවෙස් ස්වයං පෝෂිත කර ගෙන මේ දුෂ්කර කාලයේත් සුවසේ ජීවත් වන්න. එය ඔබට කර ගත හැකිය.

 

පූජ්‍ය, තපෝවනයේ 
රතන ස්වාමින් වහන්සේ.
රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක, පණඩිත,
මිණිපුර අමාශාන්ති තපෝවනය,
පැල්වාඩිය,  
රත්නපුර.