කිරි සිහිනයට මුල පිරිලා තාම ඒක රහසක්

ජූලි 17, 2019

ඇහෙනවද ?

හ්ම්.... මොකක්ද ?

අපි දෙන්නගෙ හදවත්වල හඬ.

අපේ තුන්වැනියගෙ සිඟිති හදවතේ හඬත් ඉක්මනටම ඇහෙනවා නම්...

පොඩ්ඩක් ඉවසන්නකෝ. එයා ඉක්මනටම ඒවි.

ඔන්න පැටියෝ ඔයා එන්නත් ඉස්සෙල්ලා අපි ඔයා වෙනුවෙන් කරන්න ඕන යුතුකම් ටික කළා.

මතකද? අපේ හිතත් ආදරයෙන් බැඳුණු දවස්වල අම්මලත් එක්කම අපේ ජාන ගැළපෙනව ද බලන්න යන්න තීරණය කළා. අපි දෙන්නා නෑනලා මස්සිනාලා නොවුණත් දෙන්නගෙ ජානවලින් අනාගත දරු පැටියා සදාකාලික ලෙඩෙක් වුණොත්....

වයස අවුරුදු තිස් පහට වැඩිනම් හරි තැලසීමියා, හිමොෆීලියා, සිස්ටික් ෆයිබ්‍රෝසිස් වගේ රෝග ඇත්නම් හරි ජාන උපදේශනය හරිම වැදගත් කියලා මං අහලා තියෙනවා.

රුබෙල්ලා ගැන නම් මට කිසිම බයක් නෑ. ඉස්කෝලෙ යන කාලෙ විද්දනෙ.

ඔව් ඒක නම් ඇත්ත. ඉස්කෝලෙ යන කාලෙ විදලා නැත්නම් දරුවෙක් ගැන හිතන්න අඩු ගාණෙ මාසෙකටවත් කලින් රුබෙල්ලා එන්නත එන්නත් කරවා ගන්න ඕන. ඒක එන්න ඉන්න අපේ චූටියට ජීවිත රක්ෂණයක් වගෙයිනෙ. එන්නත නොගහා ඉඳලා අවාසනාවකට ජර්මන් සරම්ප හැදුණොත් එහෙම....

අම්මෝ කුසට පැටියා ඇවිත් මාස තුනක් ඇතුළතදි ජර්මන් සරම්ප හැදුණොත් ඊට වඩා අවාසනාවක් තියෙනව ද? අනිත් මාස හයේදිත් භයානක කමේ අඩුවක් නෑ. දරුවා බිහිරෙක් වෙන්න පුළුවන්. උපදින කොට බර අඩුවෙන්න පුළුවන්. ඇයි වලිප්පුව හැදෙන්නත් ඉඩ තියෙනවා. දරුවා රෝස කැකුළක් වගේ ලස්සනට අංග සම්පූර්ණව හැදෙන්නෙත් නෑනෙ. අම්මට රුබෙල්ලා හැදිලා ඔළුව පුංචි වෙච්ච ළමයිනුත් මම දැකලා තියෙනවා. උපතින් හදවතේ ගැටලු ඇති වෙන්න පුළුවන්. හැම අවයවයකටම ලෙඩේ බලපානවනේ.

භයානකම දේ ජර්මන් සරම්ප කියන්නෙ අපට හොරෙන්ම හැදිලා යන හොරෙන්ම සනීප වෙන ලෙඩක්. සමහරුන්ට නම් කැපී පේන රෝග ලක්ෂණ ඇති වෙන්නෙම නැති තරම්.

ඒත් මං අහලා තියෙන විදිහට මඳ උණ, හිසරදය, නහයෙන් සොටු දියර ගැලීම, ඇස් ප්‍රදාහයට පත්වෙලා රතුවීම, කන් පිටුපස, හිස පිටුපස වසා ගැටිති ඉදිමීම, මුහුණෙන් පටන් ගෙන අත් පා දක්වා පළු දැමීම, හන්දි වේදනාව වගේ ලක්ෂණත් ඇති වන අය ඉන්නවා.

චූටියගෙ වර්ධනයට බලපෑම් කරන්න පැපොල රෝගයටත් පුළුවන්. ඒ නිසා ඔන්න අපි පැපොල රෝගයටත් එන්නත ලබාගත්තා.

පැපොල එන්නත ගත්තෙ බඳින්න මාස කීපයක් තියෙද්දිනෙ. මට හොඳට මතකයි.

මුද්ද ගන්න ගිය දවසෙ හොඳ වෙලාවට එයා හම්බවූණේ. පවුලෙ වෛද්‍යවරයා අපි ගන්න බේත් ගැන ඇහුවා මතකද?

ඒ චූටියා එන එක ප්‍රමාද කරන බේත් ගන්නව ද බලන්නනේ. සමහර බේත්වලින් දරු සම්පත් පමා කරන නිසා ගන්න බේත් බඳින්න කලින් ඩොක්ටර්ට කියන එකත් වැදගත්.

ඔයා අද ෆෝලික් පෙත්ත ගත්ත නේද?

ඔව් කොහොමද අනේ ඒ මයික්‍රොග්‍රෑම් 400 වීරයා අමතක කරන්නෙ. බඳින්න මාස තුනක් තියෙද්දිනෙ ෆෝලික් පෙති ගන්න පටන් ගත්තෙ.නැත්නම් අපි හොඳ කොඳු නාරටියක් තියෙන දරුවෙක් ගැන බලාපොරොත්තු තියාගන්නේ කොහොමද?

දරුවගෙ ස්නායු රජ්ජුවේ ආබාධ නැති කරනවා විතරක් නෙවෙයිනේ. ඩිම්බ කෝෂවලින් නිපදවන ඩිම්බ සෛලවල ගුණාත්මක බවත් මේ ‘විටමින් බී’ කාණ්ඩයේ ෆෝලික් අම්ලවලින් වැඩි කරනවා. එතකොට පිළිසිඳ ගැනීමකට ඇති ඉඩත් වැඩි වෙනවා.

උපදෙස්
නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය
විජිත් විද්‍යාභූෂණ

 

2019/07/17 තරුණි බලන්න