රෝගියකු සුර දූතයකු වැනියි කිරි දරුවකු සේ රැක බලා ගන්න

දෙසැම්බර් 23, 2020

 

ජීවිතය රෝස මල් යහනක් නො වෙයි. උපන්දා සිට මරු තුරුළට යන තුරුම රෝග බියෙන් ගැලවීමක් නම් නැත. කෝවිඩ් - 19 වසංගතය නිසා ඒ බිය කවුරුත් හොඳීන් හඳුනයි. මේ අන් කවර කාලයකටත් වඩා මිනිසුන් රෝගී වන එක් තැන් වන කාලයකි.

නව කොරෝනා වෛරසය නිසා වාගේම බෝ නො වන රෝග නිසාත් රෝගී වන එක් තැන් වන පිරිස වැඩි වෙමින් පවතියි. හදිසි අනතුරු මඟින් සුනාමියට ද වඩා මරණ ගණන මෙන්ම ආබාධිත වන ගණන ද වැඩිවී ඇත.

කුහුඹුවකු සේ කඩිසරව එදිනෙදා වැඩ රාජකාරි කරගෙන ගිය පවුලේ සාමාජිකයකුට තාවකාලිකව හෝ ඇඳට රෝද පුටුවට පැදුරට සීමා වී සිටින්නට සිදු වුවහොත් කෙතරම් අසරණ වෙනවාද ? නිදහසේ අහස් කුස ඔබ මොබ සරණ කුරුල්ලකුගේ අත් තටු කපා දැමීමකට එය සමාන ය. රෝගියා සංකුලතා නිසා කබලෙන් ළිපට වැටෙයි.

එක්තැන්වූ රෝගියකු අවදානම් රැසකට මුහුණ පායි. ඒවා නම්,

 

නියුමෝනියාව

බැක්ටීරියා ආසාදනය, ආහාර පාන ඉස්මොල්ලේ යාම නිසා නියුමෝනියාව වැලඳීමේ ඉඩක් පවතියි. පරෙස්සමෙන් කෑම බීම ලබා දීමත් පෙණහලු තුළට හොඳීන් වාතාශ්‍රය ලැබෙන්න සැලැස්වීමත් වැදගත්ය.

මොවුනට භෞත චිකිත්සක වරුන්ගේ උවටැන් ද අවශ්‍ය වෙයි. භෞත චිකිත්සකවරුන් මඟින් ස්වසන අභ්‍යාස කර වීය යුතුය.

 

පාදවල ඇතිවන රුධිර කැටි

එක තැනකට කොටු වීමත් සමඟ රෝගියාට දෙපයින් ඇවිදීමට නො හැකි වෙයි.

නැතහොත් ඇවිදීමට අසීරු වෙයි. මෙහි භයානකකම පාදවල ඇති ශිරාවල රුධිර කැටි ඇති වීමයි.

වැඩිපුරම රුධිර කැටි ඇතිවන්නේ බත් කෙණ්ඩේ ගැඹුරින් පිහිටා ඇති ශිරාවලය. මෙවිට බත් කෙණ්ඩ ඉදිමීම, රතු වීම, එහි උෂ්ණත්වය ඉහළ යාම බත් කෙණ්ඩ ඇල්ලූ විට ඉතා තද ගතියක් දැනීම වැනි ලකුණු ඇතිවෙයි.

රුධිර කැටිය ගැලවී රුධිර ධාරාවට

එක් වුවහොත් එය රුධිර ධාරාව ඔස්සේ පෙණහලු කරා ගමන් කිරීමට පුළුවන. එය භයානක වන්නේ එයින් හදිස්සියේම පෙණහලු අක්‍රීය වීමට ඉඩ තිබෙන බැවිනි. මෙවන් අවස්ථාවක, පපුවේ වේදනාව, හුස්ම ගැනීමේ අපහසුතා, කැස්ස සමඟ රුධිරය පිටවීම වැනි රෝග ලකුණු ඇති වෙයි. හදිසි මරණයකට පවා මෙවැනි තත්ත්වයක් හේතු විය හැකිය. චෛද්‍යවරුන් ජීවිත අවදානම අඩුකරන ඔසු ලබා දුන්න ද රෝග ලක්ෂණ ගැන නිවැසියන්, භෞත චිකිත්සකවරුන්, හෙද කාර්ය මණ්ඩලය, උපස්ථාකයන් අවදියෙන් සිටිය යුතුය.

රෝග ලකුණු ඇතිවූ වහාම චෛද්‍ය ප්‍රතිකාර ලබා දිය යුතුය.

ඇඳ තුවාල

ඇඳ තුවාල හට ගැනීමෙන් රෝගියා දැඩි අපහසුතාවකට පත්වෙයි.

ඇඳ තුවාලවලට හේතුව සිරුරේ යම් යම් ස්ථාන පමණ ඉක්මවා දිගටම තෙරපීමයි.

සමෙහි ඉතා කුඩා රුධිර නාළිකා හරහා රුධිරය ගමන් කරන්නේ

ඒවා පීඩනයට, තෙරපීමට ලක් නො වී නිදහස්ව තිබෙන විටය.

ඇඳටම වී සිටින රෝගියකුට එකම ඉරියව්වෙන් සිටීමට සිදුවීම නිසා සම පීඩනයකට ලක්වෙයි.

එවිට ඉතා කුඩා රුධිර නාළිකා හරහා රුධිරය ගමන් කිරීම නතර වෙයි. එවිට ඒ ආශ්‍රිතව ඇති පටක මිය යයි. එතැන තුවාලයක් හට ගනියි.

මේවා ඇඳ තුවාල ලෙස හඳුන්වයි. වැඩිපුරම ඇඳ තුවාල හට ගන්නේ සිරුරෙහි බර දරන අස්ථිමය කොටස් ආවරණය කරන ප්‍රදේශ ආශ්‍රිත සමයෙහි ය.

ඇඳ තුවාල වඩාත් සුලබව ඇති වන්නේ හිස පිටු පස, උරහිස් පිටු පස, වැළමිට ආශ්‍රිතව, කොන්දේ පහළ ප්‍රදේශය ( විශේෂයෙන් කොඳු නාරටිය පහළ පෙදෙස ), උකුළේ පැති, දණහිස් සන්ධියේ ඇතුළු පැත්ත, වළලුකර පැත්ත, විලුඹ වැනි තැන්වලය.

රෝගියාට ඇඳ තුවාල ඇතිවීම වැළැක්වීමට නිතර ඉරියව් මාරු කළ යුතුය.

රෝගියාගේ මානසික සුවතාව රැක ගැනීම ඉතා වැදගත්ය.

ආගමික කටයුතුවලට යොමු කිරීමෙන් සිතට සහනයක් ලබා දිය හැකිය. රෝගියා දුකෙන් සිටිනවා නම්, නුරුස්නා ස්වභාවයක් ඇත්නම්, කැමැත්තෙන් කළ දේට අකැමැති නම්, මතක ශක්තිය - අවධානය අඩු නම්, නින්ද නො යනවා නම්, තමන් වැඩකට නැති කෙනකු කියා සිතනවා නම්, සියදිවි නසා ගැනීමට උත්සාහ ගන්නවා නම් මනෝ වෛද්‍ය උපදෙස් ලබා දිය යුතුය.

 

 

උපදෙස්

ජාතික පිළිකා මර්දන වැඩසටහනින්