කෝවිඩ් නිසා ඩෙන්ටල් ක්ලිනික් යන්න බය වෙන්න එපා

මාර්තු 28, 2022

දත් ගැන අපට මතක් වෙන්නේ දත් කැක්කුමක්, දතට අනතුරක් වුණාමයි. විදුරුමස්වලින් ලේ ගියාමයි. මුඛ කුහරයේ අමුතු පැල්ලමක් තියෙනව ද කියලවත් දන්නේ නැත්තේ සිනාවේ සුන්දරත්වය බලනා තරමට මුව අභ්‍යන්තරය ගැන නො බලන නිසයි. අඩු වශයෙන් වසරකට වරක් වත් දත්වල සුවතාවය ගැන සිතිය යුතුයි.

එසේ සිතන්නෙක් වසරකට වරක්වත් දන්ත වෛද්‍යවරයකු හමු විය යුතුයි. කලින් හඳුනා ගෙන පහසුවෙන් ප්‍රතිකාර කළ හැකි දත් හා විදුරු මස් රෝග බොහොමයක් දුරදිග යන්නේ වසරකට වරක්වත් දන්ත වෛද්‍යවරයකු හමු නො වන බැවින්.

එදිනෙදා හුරු පුරුදුවලින් අප නො දැනුවත්ව ම අපේ දත් හා විදුරු මස් සෞඛ්‍ය පිරිහී යනවා. නිසි ලෙස දත් නො මැදීම හා පැණි රස ආහාර දත්වල ප්‍රධාන සතුරන්.

අද වෙළෙඳ පොළේ දන්තාලේප වර්ග ගණනාවක් තිබෙනවා. ෆ්ලෝරයිඩ් නැති දන්තාලේප සුලබ වෙමින් පවතින කාලයක දන්තාලේප තෝරා ගැනීම පරෙස්සමෙන් කළ යුත්තක්. අප තෝරා ගන්නා සෑම දන්තාලේපයකම ෆ්ලෝරයිඩ් අඩංගුවී තිබිය යුතුයි. ෆ්ලෝරයිඩ් දත් සවිමත්කර දත් දිරායාම වළක්වනවා. ජීවිතයේ අවසානය දක්වා ම අපට දත් සවිමත්ව තබා ගැනීමට උදව් වෙන්නේ ෆ්ලෝරයිඩ්.

ආහාර ගෙන පැය භාගයකට පමණ පසු දත් මැදීම, දත්වලට අමතරව දිව මැදීම, මුව නිතර වියළෙන්නට නොදී තබා ගැනීම, දත් බුරුසුවේ කෙඳි ඇදවන්නට ගත් විට ඒ දත් බුරුසුව ඉවත දමා අලුත් දත් බුරුසුවක් ගැනීම දත් ඇතුළු මුවේ සුවසෙත වෙනුවෙන් අපට කළ හැකි යුතුකම් කිහිපයක්.

සෑම දන්තාලේපයක ම අඩංගු ෆ්ලෝරයිඩ් ප්‍රමාණය සඳහන්කර තිබෙනවා. වැඩිහිටියන්ට ෆ්ලෝරයිඩ් 1,350 - 1,500ppm ලෙස සඳහන්කර ඇති දන්තාලේප වඩාත් සුදුසුයි.

රාත්‍රී නින්දට පෙරත් ඊට පෙර එක් වරකුත් දත් මැදිය යුතු අතර එය ආවාට ගියාට කලබලයෙන් කළ යුත්තක් නො වෙයි. අඩු වශයෙන් මිනිත්තු දෙකක්වත් දත් මැදිය යුතුයි.

කිරි දත් රැකීම වැඩිහිටි වියේදී නීරෝගි දත් පෙළක් ලබා ගැනීමට ඇති හොඳම මඟ. වයස අවුරුදු 3 ට අඩු දරුවන්ගේත් වයස අවුරුදු 3 - 6 ත් අතර දරුවන්ගේත් දත් දිනකට දෙවරක් ෆ්ලෝරයිඩ් 1,000ppm අඩංගු දන්තාලේපයකින් මදින්න අම්මලා වගබලා ගන්න ඕන. දන්තාලේපයකින් දත් මැද්ද විගසම මුඛ සෝදන දියරයකින් දත් නො මැදිය යුතුයි. ජලයෙන් මුව සේදීමත් නො කළ යුතුයි. එසේ කිරීමෙන් ෆ්ලෝරයිඩ් සේදී යනවා.

ෆ්ලෝරයිඩ් කෙතරම් වැදගත් ද? වෙළෙඳ දැන්වීම්වලින් පෙන්වන ෆ්ලෝරයිඩ් රහිත දන්තාලේපවලට රැවටෙන්න එපා. ෆ්ලෝරයිඩ් රහිත දන්තාලේප භාවිත කිරීමෙන් දත් දිරායාමේ ඉඩ අප විසින් ම වැඩිකර ගන්නවා.

යන්තම් කෙඳි ඈත්වන්න ගත් සැටියේ ම දත් බුරුසුව මාරු කළ යුතු නමුත් තෝරාගත යුත්තේ කෙබඳු දත් බුරුසුවක්ද? හිස කුඩා, දිගු හා කෙටි කෙඳි ඇති මධ්‍යම හෝ මෘදු කෙඳි ඇති දත් බුරුසු මැදීමට වඩාත් සුදුසුයි.

 

ස්නායු පිරවුමක් කියන්නේ .....

දතක කොටස් ගණනාවක් තිබෙනවා. එනැමලය, දන්තිනය, ස්නායු තියෙන කල්ක කුහරය ප්‍රධාන කොටස් කිහිපයයි. දතක් දිරායාමට ලක්වුණාම මුලින් එනැමලය ඊළඟට දන්තිනයේ ස්නායුවලට බලපානවා. ස්නායුවලට බලපෑ විට ඉවසන්න බැරි තරම් වේදනාවක් ඇති වෙනවා. ඒ තත්ත්වයට පත් වෙන විට දත ආසාදනය වී අවසන්. ඒ වන විට සාමාන්‍ය පිරවුමක් කර දත බේරා ගැනීමට අමාරුයි. එවිට ස්නායු පිරවුමක් කිරීමට සිදුවෙනවා. එයින් කරන්නේ ආසාදනය වූ මියගිය විසබීජ සහිත ස්නායු කොටස් ඉවත්කර ස්නායු පිරවුම සිදු කරනවා.

 

දතක් අනතුරකින් ගැලවුණොත් මොකද කරන්නේ ?

දරුවන් සෙල්ලම් කරන විට, වැඩිහිටියන් ගේදොර වැඩ කිරීමේදී මාර්ග අනතුරුවලදී දත්වලට අනතුරු සිදුවන අවස්ථා නිතර ම වාර්තා වෙනවා. අනතුරකින් දතක් සම්පූර්ණයෙන් ම හකු ඇටයෙන් ගැලවුණොත් වහාම ගැලවුණු දත හොයා ගෙන කිරි හෝ තැඹිලි වතුර වැනි ද්‍රාවනයක දමා ගෙන ළඟම ඇති දන්ත වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යන්න ඕන. සම්පූර්ණ යොදය සහිත කිරිවල සංයුතියත් දතේ සංයුතියත් සමාන වීම නිසා කිරි වඩාත් සුදුසුයි. දතේ මුල ඇති සියුම් පටක වියළෙන්නට නොදී රැක ගන්න එසේ ද්‍රාවනයක දමනවා. කිසිවක් නැත්නම් ජලයේ හෝ දමා ගෙන එන්න.

අප මෙන් ම දත්වල ජීවත්වන බැක්ටීරියා ද සීනිවලට කෑදරයි. මුඛ කුහරයේ ජීවත්වන බැක්ටීරියා සීනි කෑම ආහාරයට ගෙන අතුරු නිෂ්පාදන ලෙස ලැක්ටික් අම්ලය වැනි අම්ල නිෂ්පාදනය කරයි. දත් අම්ලවලට නිරාවරණය වන හැම විට ම දතේ කැල්සියම් දියවී යයි. දන්තිනය දක්වා අම්ල බලපා කුහර සෑදී අවසානයේ ස්නායු අන්තර්ගත කල්ක කුහරය දක්වා ද පැතිරෙයි. ප්‍රතිකාර නො ලැබුණොත් ආසාදනයක් ඇතිවී දත් දිරායාමට මඟ පෑදෙයි. සීනි හා පිටි අඩංගු ආහාර හැකි තරම් සීමා කිරීමත් පැණි රස ආහාර පාන ගත් වහාම මුව සේදීමත් ඉතා වැදගත්.

 

 

උපදෙස් - මහරගම මුඛ සෞඛ්‍ය ආයතනයේ දන්ත සංරක්ෂණ බී ඒකකයේ විශේෂඥ දන්ත සංරක්ෂණ වෛද්‍ය

සොනාලි රණතුංග