දෙසවනට නොරිද්දා පරිස්සමෙන් සවන් දෙන්න

අප්‍රේල් 4, 2022

 

එක් මුවකුත් සවන් දෙකකුත් ඇත්තේ හොඳින් සවන් දීමටයි. දෙසවන අගුළු වැටුණොත් ජීවිතය ම යදමින් බැන්දා හා සමානය. ඉගෙනීමට, රැකියාවට, මානසික සෞඛ්‍යයට ඉන් ඇතිවන බලපෑම සුළුපටු නො වෙයි.

 

එදිනෙදා ජීවිතය පවත්වා ගෙන යාමේදී නීරෝගි දෙසවනක් තිබීම මොනතරම් වැදගත්ද? නැත්නම් ජීවිතය ම බීරි අලියාට වීණා වැනීමක් හා සමාන වනු ඇත. එහෙත් අපි බාහිරට නො පෙනෙන මේ වටිනා ඉන්ද්‍රිය මුලුමනින් ම අමතකකර දමා ඇත.

ලංකාවේ ජනගහනයෙන් සියයට නවයක් ශ්‍රවණාබාධවලින් පීඩා විඳිති. අනාගතයේ ලංකාවේ වාගේම ලෝකයේ ම මේ සංඛ්‍යාව දෙගුණ වීමේ දැඩි අවදානමක් තිබෙයි. ඊට හේතුව නව යොවුන් වියේදීම වැඩි දෙනකු අත රැඳෙන ජංගම දුරකථනය ඝෝෂාකාරී සංගීතය හා ශබ්දයන් ය. එනිසා ම තරුණ පරපුර ඉක්මනින් බිහිරන් වීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇත.

පුද්ගල ශ්‍රවණ උපකරණ භාවිතය සීග්‍රයෙන් ඉහළ යමින් පවතියි. හෙඩ් ෆෝන් භාවිතය මේ කෙරෙහි බලපාන ප්‍රධාන හේතුව ය. ගීත ඇසීමට , Zoom පන්ති, රැස්වීම්වලදී හෙඩ් ෆෝන් භාවිතය කෝවිඩ් - 19 සමඟ ඉහළ ගියේය. අධික ශබ්දයන්ට හෙඩ් ෆෝන් දමා සවන් දුන්නොත් එහි අවසාන ප්‍රතිඵලය ශ්‍රවණ ආබාධයකි. අධික ශබ්ද නිසා ඇතිවන ශ්‍රවණාබාධ සුව කිරීමට අසීරුය. කන අසළම උස් හඬින් පුපුරා යන රතිඤ්ඤා හඬට කන් නො ඇසී යාමට හැකි අතර ඊට ප්‍රතිකාර ද නැත. බෝම්බ පිපිරීමෙන් කන් නො ඇසී යාමට අපේ රටේ උදාහරණ ඕනෑ තරම් තිබෙයි. වාහන නාලාවල අධික ශබ්දයට ද අප බිහිරන් කිරීමේ හැකියාවක් පවතියි. සංගීත සංදර්ශනවල අධික ශබ්දය නිසා බිහිරි වූ අය විරල නැත. සමහරුන් ගේ දෙසවන් එක්වර නෑසී යන්නේ නැත. ඔවුන්ට ශ්‍රවණ ගැටලු ඇති වන්නේ දිගු කලක් උස් හඬට සවන් දීම නිසාය. ඝෝෂාකාරී පරිසරයක සේවය කිරීම, හෙඩ්ෆෝන්, ඉයර්ෆෝන් දමා ගෙන උස් හඬවල්වලට සවන් දීම මීට හොඳම උදාහරණ ය.

අපි පමණට වැඩි ශබ්දයකට ඇහුම්කන් දෙනවා නම් ඒ ගැන දැන ගැනීමට ඇති ක්‍රම කිහිපයකි. කෙනකු ඉයර්ෆෝන් හෝ හෙඩ්ෆෝන් දමා ගෙන සවන් දෙද්දී අසල සිටින්නන්ට එය ඇසෙනවා නම් ඒ තැනැත්තා සවන් දෙන්නේ උස් හඬකට ය. ඝෝෂාකාරී පරිසරයකදී අපට ඉතා උස් හඬින් කෑ ගසමින් කතා කිරීමට සිදු වනවා නම් එයින් ද කියවෙන්නේ කන් පුපුරා යන ශබ්දයක් ඇති පරිසරයක අප ජීවත් වන බවය. ශබ්ද වැඩි පරිසරයක අඩි දෙකක දුරින් සිටින කෙනකු පවසන දේ පැහැදිළිව ඇසෙන්නේ නැත්නම් එතැන ද පවතින්නේ කනට දරා ගත නො හැකි ශබ්දයකි. මෙවැනි තැන්වලින් හැකි තරම් දුරස් විය යුතුයි.

 

උස් හඬවල් නිසා කනට හානියක් සිදු වුණොත් දැන ගන්නේ කොහොමද ?

මුලින් ම කන්වල පිරුණු බවක් දැනෙයි.

කතා කරන වචන පැහැදිලි නැති වෙයි.

කනේ හෝ ගාන ශබ්දයක් එයි. මේ උස් හඬවල් නිසා ශ්‍රවණාබාධයක් ඇති වෙමින් පවතින බව පෙන්නුම් කරන මුල් ම ලකුණුයි. මෙවැනි ලකුණු ඇතිවුණ වහාම වෛද්‍යවරයෙක් හමුවන්න. මුල් අවස්ථාවේදීම හඳුනා ගත්තොත් තවදුරටත් කනට සිදුවන හානි වීම නැති කිරීම පහසු වෙයි.

 

කනට මෙවැනි හානියක් වීම වළක්වා ගන්නේ කෙසේද ?

 

ඉයර් ෆෝනයක් ( පුද්ගලික ශ්‍රවණ උපකරණයක් ) භාවිත කරනවා නම් එහි ශබ්දය සියයට හැටකට අඩුවෙන් තබා ගන්න. ඝෝෂාකාරී තැනක සිටිනවා නම් කන් ඇබයක් ( ඉයර් ප්ලග්ස් ) ගසා ගන්න. දවසේ වැඩි කාලයක් පුද්ගලික ශ්‍රවණ උපකරණ භාවිත කරනවා නම් පැයකට වරක් විනාඩි කිහිපයක් කනට විවේකයක් දෙන්න.

ඝෝෂාකාරී පරිසරයක ජීවත් වනවා නම් වසරකට වරක්වත් කන් උගුර කන නාසය පිළිබඳ වෛද්‍යවරයකු හමුවන්න.

 

 

උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ කණ නාසය සහ උගුර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය

යසත් වීරක්කොඩි

 

බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලි