ලෝකය බිය ගන්වන අලුත්ම රෝගය

මන්කිපොක්ස්
මැයි 30, 2022

 

තවමත් කෝවිඩ් -19 වසංගතය ලෝකයට ගැටලුවක් වී තිබිය දී ආසාදිත දස දෙනකුගෙන් එක් අයකු මිය යන රෝගයක් ගැන වාර්තා වීමට පටන් අරන්. ඒ මන්කිපොක්ස් monkeypox. රටවල් දොළහක් මන්කිපොක්ස් රෝගීන් 80 දෙනකු සිටින බව තහවුරු කර තිබෙන බව බීබීසී පුවත් සේවාව වාර්තා කරනවා. බෙල්ජියම මේ වන විට රෝගීන්ට දින 21 ක නිරෝධායන කාලයක් පනවලා.

එක්වර ම කතා බහට ලක්වුණු මන්කිපොක්ස් මොන වගේ රෝගයක් ද? මෙයත් නව කොරෝනා වගේ ම වයිරස රෝගයක්. වසූරියට නෑකම් කියන මන්කිපොක්ස් වෛරසය ආසාදනය වීමට ඇති ඉඩකඩ අඩුයි වගේම වැලඳුණු විට දරුණු වන්නේත් අඩුවෙන්.

අලුත් රෝගයක් කියා අපට සිතුන ද මෙය මුලින් ම හඳුනා ගෙන තිබෙන්නේ 1958 දීයි. වඳුරන් අතර රෝගය තිබිලා. කොංගෝ රටෙන් පළමු රෝගියා 1970 දී වාර්තා වී තිබෙනවා. මධ්‍යම හා බටහිර අප්‍රිකානු රටවලින් රෝගීන් හමුවෙලා තිබෙනවා. ලේනුන් මීයන් වැනි කෘදන්තක සතුන්ගෙන් මිනිසාට වයිරසය ශරීරගත වීමට පුළුවන්. ආසාදිත පලු ඇති පුද්ගලයන් සමඟ කායික සබඳතා පැවැත් වීමේ දී ඇඳුම් මාරුකර ගෙන ඇඳීමේ දී වයිරස ඇති ශ්ලේෂ්මල ගෑවුණු ඇඳ රෙදි ආදියෙන් රෝගය බෝවන්න පුළුවන්. මෙය ද ස්වසන මාර්ගයෙන් ඇසෙන් නාසයෙන් මුවින් බෝ වීමට හැකි බව සොයා ගෙන තිබෙනවා.

 

උණ, හිසරදය, මාංසපේශි වේදනාව, කොන්දේ කැක්කුම, වසා ගැටිති ඉදිමීම (කිහිලි, ඉකිළි වැනි තැන්වල ඇති වසා ගැටිති ඉදිමීමට පුළුවන්.) පලු හටගන්නා අතර මුලින් මුහුණේ පලු හටගෙන එය සිරුරේ අන් කොටස් කරා පැතිරෙනවා. විශේෂයෙන් අත්පාවල සුලබව පලු දකින්න ලැබෙනවා. මුලින් සාමාන්‍ය පලුවක් මතුවී පසුව පැසවා පුපුරා යනවා. පලු වේදනාකාරීයි. කසනසුලුයි. සීතල හා විඩාබර බව ද මෙහි රෝග ලක්ෂණ ලෙස හඳුනාගෙන තිබෙනවා.

 

මන්කිපොක්ස් ආසාදනය දින 14ත් - 21ත් අතර කාලයේ දී ඉබේ ම සුව වෙනවා. වසූරියට දෙන එන්නත ලබා දීමෙන් මන්කිපොක්ස් රෝගයෙන් සියයට 85ක පමණ රැකවරණය ලැබෙන බවත් සොයාගෙන තිබෙනවා. ප්‍රතිවයිරස ඔසුත් රෝගයට ලබා දෙනවා.

 

බීබීසී පුවත් හා මේල්ඔන්ලයින් ඇසුරිනි.