දුම්වැටිය රෝග පනහකට වැඩි ගණනක් උත්සන්න කරන්න හේතුවක්

මැයි 30, 2022

 

යන යන තැන දුගඳ පතුරුවන, උරුලෑවන් මෙන් ශරීරගත වන සෑම තැන ම රෝගී කරන අහිතකර ද්‍රව්‍ය මිහිපිට ඕනෑතරම් ය. දුම් කොළය එවැන්නකි. දුම් කොළය කෑමට ගත්ත ද දුම්වැටිය ඉරුව ද එය සිරුරට උග්‍ර විසකි. එනිසා ම ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලෝක දුම්වැටි විරෝධී දිනය ලෙස දින දසුනේ දිනයක් වෙන්කර තිබෙයි.

 

දුම් පානය කරන්නා පමණක් නොව අක්‍රීය දුම් පානය කරන්නා ද දුම් පානය කරන්නා යනෙන තැන් ද සියල්ල රෝගවලට මඟ පාදයි.

 

රෝග ආකරයක්

දුම් පානය නිසා පිළිකා, හෘද රෝග, ආඝාතය, පෙණහලු රෝග (ඇදුම, නියුමෝනියාව වැනි), දියවැඩියාව, දිගු කලක් පවතින ස්වසන රෝග ඇතිවෙයි. එපමණක් නොව ක්ෂය රෝගය, ඇතැම් අක්ෂි රෝග, රුමැටොයිඩ් ආතරයිටිස් වැනි ප්‍රතිශක්තිකරණ පද්ධතියේ රෝග සෑදීමේ අවදානම ඉහළ යයි. මෙසේ රෝග පනහකට වැඩි ගණනක් වැලඳීමේ ඉඩ දුම්පානයෙන් ඉහළ යයි. ලොව මරණවලට හේතුවන ප්‍රධාන කාරණයක් බවට දුම් පානය පත්වී ඇත. වාර්ෂිකව දුම් කොළ සැපීමෙන්, දුම්වැටි ඉරීමෙන්, අක්‍රීය දුම් පානයට ගොදුරු වීමෙන් මිලියන හතක් මිය යති. වසර 2030 වන විට දුම් කොළ භාවිතයෙන් මිලියන 8 කට වැඩි ගණනක් මිය යන බවට අනුමාන කර තිබෙයි. දුම් ඉරීම හේතුවෙන් ඇතිවන බෝ නො වන රෝගවලින් ලෝක ජනගහනයෙන් එක් අයකු සෑම තත්පර හතරකට ම වරක් මිය යයි.

 

යුග දිවියට බාධාවක්

සාර්ථක යුග දිවියක් ගත කිරීමට බලාපොරොත්තු වන කිසිදු පිරිමියෙක් එක් දුම්වැටියක්වත් නිවෙසට රැගෙන එන්නේ නැත. ඊට හේතුව ශිෂ්ණයට සිදුවන රුධිර සැපයුම එයින් සීමා වීම ය. එනිසා බිරිය සමඟ සම්බන්ධ වීම ගැටලුවක් වෙයි. ගැහැනු පිරිමි දෙපිරිසේ ම මඳසරු බවට දුම් වැටිය බලපායි.

 

ලංකාවේ තත්ත්වය

දුම්පානය කිරීම නිසා ඇතිවන රෝගවලින් ලංකාවේ දිනකට හැට දෙනකු මිය යයි. අවාසනාවන්ත තත්ත්වයකට ගොදුරු වී සිටින්නේ අපේ රටේ කාන්තාවන් ය. ඔවුන් මේ වැරැද්ද නො කළත් පිරිමින් කරන වරදකට ඔවුන් ට වන්දි ගෙවීමට සිදුවී ඇත. රැකියා ස්ථානයේ දී අපේ කාන්තාවන්ගෙන් සියයට 11 ක් දුමට ගොදුරු වෙති. නිවෙසේ දී අක්‍රීය දුම් පානයට ගොදුරු වන සංඛ්‍යාව සියයට 22 කි. නිවෙස දුමින් තොර ස්ථානයක් කිරීමේ දී බිරියටත් දරුවන්ටත් විශාල වගකීමක් පැවරී ඇත. "බුදු තාත්තෙ බොන්න එපා" ‍කියන්නාක්සේ ම "බුදු තාත්තේ දුම් බොන්න එපා" කීමට තවමත් පමා නැත. දුම් පානය කරන්නකු විවාහයට නුසුදුස්සකු කළ විට ඉබේට ම පිරිමින්ට දුම් පානය අත් හැරීමට සිදු වෙයි.

 

පරිසරයට සිදුවන හානිය

 

මෙවර තේමාව "දුම්වැටිය පරිසරයට තර්ජනයක්" යන්නයි. දුම උරා පරිසරයට විසි කරන සිගරට් කොටය ගෝලීයව පරිසරයට විශාල වශයෙන් එක්වන උග්‍ර විසකි. සෑම වසරක ම සිගරැට් කොට ට්‍රිලියන 4.5 ක් පරිසරයට එක් වන අතර ඉන් නිපදවෙන විස අපද්‍රව්‍ය ප්‍රමාණය රාත්තල් බිලියන 1.69 කි. ඉන් පසට ජලයට හා වාතයට එක් වන විස මිනිසාට කෝවිඩ් - 19 ට වඩා භයානක රෝග ඇති කරයි. දුම්කොළ වැවීම නිසා ලෝකයේ හෙක්ටෙයාර් මිලියන 3.5ක් විනාශ වී තිබෙයි.

 

බුලත් විට, සුරුට්ටුව සියල්ල විස සහිතයි

 

සමහරු සිතා සිටින්නේ බුලත් කෑම අහිංසක ක්‍රියාවක් කියාය. එහෙත් මුඛ පිළිකාවලට ප්‍රධාන ම හේතුව බුලත් කෑමයි. සමහරු නිදිමත නැතිකර ගන්නේ බුලත් විටක් සපා කෑමෙනි. බුලත් විටේ ඇති දුම් කොළය මෙන් ම හුණු හා පුවක් ද පිළිකා කාරක බව වැඩි දෙනෙක් නො දනිති.

ජීවිතය දුම්කොළෙන් දුරස් වූ තරමට ආයුෂ බොහෝ වෙන බව දුම් වැටි විරෝධී දිනයේ අප තදින් ම සිතට ගත යුතුය.

 

උපදෙස් -

ආචාර්ය වෛද්‍ය

සමාධි රාජපක්ෂ

 

 

 

පෙණහලු පිළිකාවලට සියයට හැත්තෑවක් ම හේතුවන්නේ දුම් පානයයි. පෙණහලු පමණක් නොව මුඛය, උගුර, ස්වරාලය, ගලනාලය, මුත්‍රාශය, අන්ත්‍ර, ගැබ්ගෙල, වකුගඩු, අක්මාව, ආමාශය, අග්න්‍යාශය ආශ්‍රිත පිළිකාවලට දුම් පානය හේතු වෙයි. හෘදයට සහ රුධිර සංසරණයට බාධා වීමෙන් රුධිර නාලවලට හානි වීමෙන් හෘද රෝග, හෘදයාබාධ, ආඝාතය සෑදීමේ ඉඩ වැඩි වෙයි.