ජාන තාක්ෂණයෙන් පියයුරු පිළිකා අවදානම කල් ඇතිව හඳුනා ගන්න

නොවැම්බර් 7, 2022

0112629710 දුරකතන අංකයට ඇමතීමෙන් ජාන පරීක්ෂණ හා උපදේශන පහසුකම් ලබා ගත හැකිය.

කාන්තා රූ සපුව වඩාත් සුන්දර වන්නේ සියලු අඟ පසඟ නිසිලෙස පිහිටා ඇති විටයි. පියයුරු කාන්තා සුන්දරත්වයට සේම මානව වර්ගයාටම වැදගත් වන අවයවයකි. එසේ වන්නේ දරුවකු ඉපදුණු පසුව පෝෂණය වන්නේ මවුකිරිවලින් නිසයි.

 

සුන්දරත්වයට ඉවහල් වන මේ අවයවය නිසාම ඇතැම්විට මරණය පවා ඇති වීමේ අවදානමක් පවතී. කාන්තාවන් අතර බහුල පිළිකා වර්ගයක් වන පියයුරු පිළිකා ඇති වීම මෙයට හේතුවයි. අද වනවිට මේ අවදානම වැඩි වෙමින් පවතී. මුල් අවධියේදී ම හඳුනා ගැනීම මඟින් මේ පිළිකාවෙන් සම්පූර්ණ සුවය ලැබිය හැකි වුවද බොහෝ දෙනක් මේ පිළිබඳ නිසි අවධානයක් යොමු නොකිරීම කනගාටුවට කරුණකි.

අප මේ ගෙවන්නේ පියයුරු පිළිකා සඳහා වෙන් කළ මාසයයි. එහෙත් අප මේ මාසයේ දී පමණක් නොව, හැම විටෙකම පියයුරු පිළිකා පිළිබඳ අවධානයෙන් සිට ජීවිතය සුරක්ෂිත කරගත යුතුය. පියයුරු පිළිකා වැලඳීම සඳහා ඇති ජානමය බලපෑම ගැන අපි දැන සිටීම ඔබට වැදගත් වේවි.

 

පියයුරු පිළිකාවක් යනු

පියයුරෙහි සෛලයක ඇතිවන ජාන විකෘතියක් (වෙනස්කමක්) නිසා හට ගන්නා අසාමාන්‍ය සෛල වර්ධනය වීමකි.

මෙය ලොව කාන්තාවන් අතර බහුලම පිළිකාවයි. එම තත්ත්වය ශ්‍රී ලංකාවට ද පොදු වන අතර පියයුරු පිළිකා කාන්තාවන් අතර ඇතිවන පිළිකාවලින් 26%ක පමණ ප්‍රතිශතයකි.

ජාන විකෘතිතා පියයුරු පිළිකා ඇති වීමට හේතු වේවිද?

ජාන, සෛලයක සාමාන්‍ය පැවැත්මට හා වර්ධනය පාලනයට වැදගත් වේ. එබැවින් මේවා විකෘති තත්ත්වයට පත් වූ විට අසාමාන්‍ය හා අධික වේගයකින් වර්ධනය වන සෛල පොකුරක් ඇතිවන අතර මෙය පිළිකාවක් ලෙස හැඳින් වේ. පියයුරු පිළිකාවට ගොදුරු වන කාන්තාවන් අතරින් සුළුතරයකගේ එනම් 5% - 10%ක ප්‍රමාණයකගේ මෙවැනි ජාන විකෘති ප්‍රවේණික (Hereditary) බව පිළිකාවක් ඇති වීමට හේතුව විය හැකිය. මේ ජාන විකෘතිතාව මවු හෝ පිය පාර්ශවයෙන් ප්‍රවේණිගතව සම්ප්‍රේෂණය වේ.

BRCA 1, BRCA 2, TP 53, STK 11, CDH 1, PALB 2, PTEN ජානවල ඇතිවන විකෘති ප්‍රවේණික පියයුරු පිළිකා සඳහා හේතු වේ. මෙම විකෘති, පිළිකා අවදානම 5 ගුණයකින් 10 ගුණයකින් පමණ වැඩි කරයි.

 

ජාන විකෘති හඳුනා ගැනීමට යොමු විය යුත්තේ කවුද?

ඔබ හෝ ඔබේ පවුලේ සාමාජිකයකු පහත නිරීක්ෂණයන් එකක් හෝ සම්පූර්ණ කරයි නම්, ජාන පරීක්ෂාවකට ලක් වීම සුදුසුය.

තරුණ වියේදී ම (අවු. 45ට අඩු) පියයුරු පිළිකා මතු වීම.

එකම පුද්ගලයකුගේ පියයුරු දෙකෙහිම පිළිකා ඇති වීම.

සිරුරේ එක් අවයවයකට වඩා පිළිකාවලට ගොදුරු වීම. උදා - ඩිම්බ කෝෂ, අග්න්‍යාශය, මෙලනෝමා (සමේ පිළිකා), ආන්ත්‍රික හා ගුද මාර්ගය, පුරස්ථි ග්‍රන්ථිය, ගර්භාෂය, තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකා, අස්ථි පිළිකා, රුධිර පිළිකා) ලේ ඥාතීන් අතර බහුල ලෙස පිළිකා හට ගැනීම. (මෙහිදී වැදගත් වන්නේ එක් පාර්ශ්වයක (මවු හෝ පිය) පරම්පරා කිහිපයක සාමාජිකයන් පිළිකා තත්ත්වයන්ට ගොදුරු වීමයි.)

පිරිමි ලේ ඥාතියකු පියයුරු පිළිකාවට ගොදුරු වීම.

 

ජාන පරීක්ෂාවක් යනු

ඔබගේ රුධිර සාම්පලයකින් ලබාගත් DNA නියැදියක් NGS (next Generation Sequencing) තාක්ෂණය යටතේ පිළිකා කාරක ජාන විකෘතිතා සඳහා පරීක්ෂාවට ලක් කරයි. මෙම පරීක්ෂණයට ප්‍රථමයෙන් ඔබ පූර්ව පරීක්ෂණ ජාන උපදේශනය ලබා ගත යුතුය. ඉන් අනතුරුව පරීක්ෂණය සඳහා ඔබගේ දැනුවත්කමින් කැමැත්ත ලබා දිය යුතුය.

 

අපේ රටේ මේ පහසුකම තිබේද?

කොළඹ වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මානව ප්‍රවේණි වෛද්‍ය අංශය මඟින් ඔබට මෙම පහසුකම සපයා ගත හැකිය. මෙහි වෛද්‍ය කණ්ඩායම විසින් ජාන උපදේශන සේවයක් ද ක්‍රියාත්මක කරනු ලබයි.

සඳුදා දිනයන්හි උදෑසන මේ ආයතනයේ පැවැත්වෙන පිළිකා සම්බන්ධ සායනයට ඔබට සහභාගී වීමට අවශ්‍ය නම් කලින් වේලාවක් වෙන් කර ගත යුතුය. (දු. අංකය 0112629710) එමඟින් ඔබට මේ ජාන පරීක්ෂණ හා උපදේශන පහසුකම් ලබා ගත හැකිය.

 

ජාන පරීක්ෂාවකින් ලැබෙන ප්‍රතිලාභ

ප්‍රවේණික පියයුරු පිළිකාවකින් පසුව ජාන පරීක්ෂාවකට ලක් වීම ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේදයක් වන අතර මෙමඟින් ඔබට ඇති පිළිකා අවදානම වඩාත් නිශ්චිතව තහවුරු කළ හැකිය.

 

පිළිකා කාරක ජාන විකෘතියක් හඳුනාගත් පසුව ඔබට පහත ප්‍රතිලාභ හිමි වේ.

1. දැනටමත් පියයුරු පිළිකාවට ගොදුරු වූ ඔබට අනාගත පිළිකා අවදානම අවම කිරීමේ ශල්‍යකර්ම ( Prophylactie Surgery) හෝ අවදානම අවම කිරීමේ ඖෂධවලට ලක්වී අනාගතයේ දී ඇතිවන පිළිකා මුල් අවස්ථාවේදී ම හඳුනා ගැනීමට හැකිවේ.

2. එම විකෘතිය මෙතෙක් පිළිකාවට ගොදුරු නොවූ ඔබගේ අනෙකුත් ලේ ඥාතීන්ගේ ද ඇති දැයි පරීක්ෂා කිරීමට හැකියාව ඇත. එවන් අවස්ථාවක එම ජාන විකෘතිය ඔවුන් තුළ ද පවතී නම් ඔවුන්ට ද පිළිකා අවදානම අවම කිරීමේ ශල්‍යකර්ම සිදු කළ හැකිය. එමෙන්ම පිරික්සුම් ක්‍රමවේද මඟින් අනාගතයේ දී ඇතිවිය හැකි පිළිකා මුල් අවස්ථාවේදී ම හඳුනා ගැනීමට හැකියාව ලැබේ.

 

උපදෙස් -

වෛද්‍ය කෞමදී ගුණවර්ධන

සායනික ප්‍රවේණික රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ ලේකඛාධිකාරී

වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනය

කොළඹ විශ්වවිද්‍යාලය

ආචාර්ය නිර්මලා ඩී. සිරිසේන

ඡ්‍යෙෂ්්ඨ කථිකාචාර්ය සහ සායනික ප්‍රවේණික රෝග වෛද්‍ය

මානව ප්‍රවේණි වෛද්‍ය අංශය,

වෛද්‍ය පීඨය,

කොළඹ විශ්වවිද්‍යාලය.