කියාගන්න බැරි ලෙඩ ගැන හිතේ තියාගන්නේ නැතිව අපට කියන්න

මැයි 6, 2024

 

පෙම්වතා ආදරය කරන්නේ මට නොව දෙපාවලටය

ප්‍රශ්නය

විසිතුන් හැවිරිදි තරුණියකවන මගේ පෙම්වතාගේ වයස අවුරුදු තිහකි. අප රටේ ප්‍රධානතම සමාගමක අලෙවි විධායක තනතුරක් දරන ඔහු නිහඬ අහිංසක ජීවිතයක් ගත කරන්නෙකි.

නමුත් අප නිදහසේ ගත කරන අවස්ථාවල ඔහු මගේ දෙපාවල වළලුකරෙන් පහළ කොටස කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වයි. මගේ දෙපාවල එම කොටස ස්පර්ශ කිරීමට සේම සිප ගැනීමට පවා ඔහු පෙලඹෙන අවස්ථා එමටය. පෙම්වතාගේ මේ හැසිරීම් සම්බන්ධයෙන් මගේ සිතේ තරමක ගැටලුවක් ඇති වී ඇත.

ඊට හේතුව මට ආදරය කරන මුවාවෙන් ඔහු මගේ දෙපා කෙරෙහි සුවිශේෂ ඇල්මක් දැක්වීමය. එමෙන්ම පෙම්වතාගේ මෙම අසාමාන්‍ය තත්ත්වය කිසිවකුටත් කීමට ද නොහැක.

ඔහු තුළ පවතින මෙම අසාමාන්‍ය තත්ත්වය කිසියම් මානසික රෝගී ලක්ෂණයක්ද ? මේ සඳහා ප්‍රතිකාර තිබේද ?

 

පිළිතුර

මෙම තත්ත්වය මනෝ වෛද්‍ය විද්‍යාවේදී හැඳින්වනුයේ අර්චන කාමය (Fetishism) යනුවෙනි. ඒ අනුව Fetishism යන වදන මානව සහ සමාජ විද්‍යාවේදී සහ මනෝ වෛද්‍ය විද්‍යාවේදී දෙඅයුරින් අර්ථ ගැන්වෙනු පෙනෙයි.

ලිංගික අවවර්තන ගණයට වැටෙන මානසික රෝගයක්වන මෙම අර්චන කාමය අප සමාජයේ වඩාත් ප්‍රචලිත වී ඇත්තේ කාන්තාවන්ගේ යට ඇඳුම් සොරකම් කරන්නවුන්ගේ ක්‍රියා මුල්කර ගනිමිනි.

මෙබඳු පුද්ගලයන් තෘප්තිමත් වනුයේ කාන්තාවන් සමඟ සාමාන්‍ය පරිදි ලිංගිකව හැසිරීමෙන් නොවේ. එසේ සොරකම්කර ගන්නා ඇඳුම් ඇසුරිනි. මෙම අර්චන කාමය නම් රෝගී තත්ත්වය ඇඳුම්වලට පමණක් සීමාවූවක් නොවේ.

කාන්තා ඇඳුම්, ආභරණ සේම කාන්තාවන්ගේ ශරීරයේ ලිංගික ආකර්ෂණයක් නොමැති ස්ථාන කෙරෙහි දැඩි ආකර්ෂණයක් පළ කිරීම ද මෙම රෝගයේම කොටසකි. කාන්තාවන්ගේ සෙසු ශරීරාංග අබිබවා දෙපා කෙරෙහි සුවිශේෂ ලිංගික ආකර්ෂණයක් ඇතිකර ගැනීම foot fetishism හෙවත් Podophilia යනුවෙන් හැඳින්වෙයි.

 

අතීත සමාජයේ කාන්තාවන්ට සාපේක්ෂව වත්මන් කාන්තාවෝ දෑත් දෙපා කෙරෙහි ද විශේෂ ඇල්මක් දක්වති. නවීන රූපලාවණ්‍යවේදයෙන් ද දෙපාවල සුන්දරත්වය පිළිබඳව පුන පුනාම කියැවෙයි. එසේ කෘත්‍රිම ක්‍රම මඟින් පවා හැඩ ගැන්වෙන කාන්තා දෙපාවල කිසියම් ආකර්ෂණීය බවක් පැවැතීම අරුමයක් නොවේ. එබැවින් යමකුගේ සිත තුළ එවන් දෙපා යුවළක් කෙරෙහි ආකර්ෂණයක් ඇගේ දෙපා කෙරෙහි පමණක් ඇති වීම රෝගයක් නොවේ.

 

එහෙත්, ඒ ආකර්ෂණය දෙපා කෙරෙහි පමණක් රැඳී තිබේ නම් එය අර්චන කාමය නම් රෝගය ලෙස මූලික වශයෙන් හඳුනා ගත හැක. එබඳු පිරිමි කාන්තාවන්ගේ දෙපා සුරතල් කිරීමෙන් (Foot Fonding) නොනැවතී ඒ මඟින් පූර්ණ ලිංගික තෘප්තියක් ලැබිමටද උත්සාහ කරති.

කාන්තා යට ඇඳුම් සොරකමේ සිට මෙවන් රුචිකත්වයන් දක්වා පැතිර ගත් අර්චන කාමය පිටුදැකිය හැකි විධිමත් මනෝ වෛද්‍ය විද්‍යාත්මක ප්‍රතිකාර තිබේ.

ඔහුව ළඟම රෝහ‍ලේ මනෝ වෛද්‍ය සායනය වෙත හෝ පිළිගත් මනෝ වෛද්‍යවරයකු වෙත යොමු කරවීම ඉතා වැදගත්ය.

 

ලිංගික ඉන්නන් නිසා පීඩාවෙන්

 

ප්‍රශ්නය

මම 41 හැවිරිදි එක් දරු මවක්. වසර කිහිපයක සිට මා ලිංගික ඉන්නන්ගේ රෝගයෙන් පීඩා විඳිමි. මා සැමියාගෙන් දික්කසාද වූ තරුණියක්. එක්තරා පුද්ගලයකු සමඟ ඇති වූ ලිංගික සම්බන්ධයක් නිසා මා හට මේ රෝගය වැලඳුනි. මම මෙයට ප්‍රතිකාර ලබා ගෙන සුව වූවත් නැවතත් එම තත්ත්වය වර්ධනය වී ඇත. මෙය සුවකර ගැනීමට මා හට උදව් කරන්න.

 

පිළිතුර

මෙය ඇත්තෙන්ම ‘හියුමන් පැපිලෝමා’ කාණ්ඩයේ වෛසරයක් නිසා ඇතිවන තත්ත්වයකි. මෙය බෝ වෙන්නේ ලිංගික සබඳතාවක් නිසයි. මෙම රෝග තත්ත්වය මවකට ඇති විටක දරු ප්‍රසූතියේදී එය දරුවාටද වැලඳෙන්න 400කින් 1ක් වගේ අවදානමක් තියෙනවා. ඒ වගේම මෙම රෝගයෙන් පෙළෙන කාන්තාවක් වෙත් නම් ඒ අයට සාමාන්‍ය කාන්තාවකට වඩා ගැබිගෙල පිළිකා වැලඳීමේ අවදානමක් පවතිනවා.

රෝගය වැලඳුණොත් නිට්ටාවටම සුව කළ නොහැකියි. නමුත් ගැටිති ඉවත් කිරීම සඳහා ප්‍රතිකාර තියෙනවා. රෝග ලක්ෂණ ජීවිත කාලය පුරාම මතු විය හැකියි. මේ සඳහා මුඛ අනුසාරයෙන් ලබාදෙන ඖෂධ නැහැ. මේ සඳහා භාවිත කරනු ලබන්නේ රසායනික ආලේපන ක්‍රමයයි. ෆොඩොෆිලින්, TCA වැනි රසායනික මේ සඳහා ආලේප කරනු ලබනවා. අනෙක් ක්‍රමය තමයි, ‘ක්‍රයෝතෙරපි’ නම් ක්‍රමය. මෙහිදී ප්‍රතිකාර කෙරෙන්නේ දියර නයිට්‍රජන් වායුව භාවිතයෙනුයි. ගැටිති විශාල ප්‍රදේශයක් පුරා පැතිරී ඇත්නම් කලාතුරකින් ඒවා ඉවත් කිරීමට සැත්කම්ද සිදුකරනු ලබනවා.

කොහොම වුණත් මෙම ප්‍රතිකාර ක්‍රම තීරණය වන්නේ රෝගියා සිටින තත්ත්වය මතයි.

ගැටිති සුවවන තුරුම සායනයේදී සතිපතා ප්‍රතිකාර ගත යුතුයි. එසේම මෙවැනි රෝගීන් තම ලිංගික ප්‍රදේශ පිරිසුදුව වියළි ස්වභාවයෙන් තබා ගැනීම වැදගත්. එසේම අනිවාර්යයෙන්ම තමන් සමඟ ලිංගික සබඳතා පවත්වන පාර්ශ්වයද මෙවැනි අවස්ථාවක පරීක්ෂාවට ලක් කළ යුතුයි. ලිංගික ඉන්නන් හැදුණු කාන්තාවන් වසරකට වතාවක් ගැබ්ගෙල පරීක්ෂාවක් කර ගත යුතුයි.