අච්චුවක් භාවිත කරමින් බතික් නිර්මාණයක් කරමු

බතික් නිර්මාණ කලාව
ජූලි 14, 2021

 

බතික් කියූ සැණින් අපේ මතකයට එන්නේ විදේශීය සංචාරකයන්. ඒ තරමටම ඔවුන් අපේ බතික් නිර්මාණ ප්‍රිය කරනවා. ලෝකයේ තවත් රටවල් කිහිපයක්ම බතික් නිර්මාණකරණයේ නියැළුණත් අපේ රටේ බතික් ඇඳුම් වලට විශාල ඉල්ලුමක් විදෙස් සංචාරකයන්ගෙන් ඇත්තේ ඒවා අපටම ආවේනික මෝස්තර රටා මෙන්ම විවිධ දර්ශන ඇතුළත් කර අපේ ශිල්පීන්ගේ දක්ෂතා මත නිර්මාණය වන නිසයි.

අතීතයේ අපේ රටේ ජනතාව අතර ද බතික් ජනප්‍රිය වී තිබුණත් කාලය ගතවීමත් සමඟම ඒ ඉල්ලුම අඩුවී තිබුණා. එහෙත් මෑතකදී අපේ තරුණ පරපුර මේ බතික් නිර්මාණවලට කැමැත්තක් දැක්වූ නිසාම යළිත් ඒ සඳහා විශාල ඉල්ලුමක් ඇතිවුණා. බොහෝ දෙනකුට බතික් නිර්මාණකරණයේ යෙදෙන්නට වුවමනාව තිබුණත් ඒ සඳහා දැනුම නොමැති වීම අඩුවක් වුණා. ඉතාමත් පහසුවෙන් බතික් නිර්මාණ සිදු කළ හැකි වුවද ඒ සඳහා මනා දැනුමක් තිබිය යුතුයි. තරුණී පුවත්පත තුළින් බතික් නිර්මාණ පාඩම් මාලාව අප ආරම්භ කිරිමට තීරණය කළේ ඒ නිසයි. නිර්මාණශීලී කාන්තා ඔබට ඉතාමත් පහසුවෙන් බතික් කලාව උපයෝගී කර ගනිමින් ස්වයං රැකියාවක් ලෙස ඇඳුම් නිර්මාණය කරන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය දැනුම කිසිම ගුරු මුෂ්ඨියකින් තොරව අප ඔබට ලබා දී තිබෙනවා.

පසුගිය සතියේ බතික් පාඩමින් අපි ඔබට ජ්‍යාමිතික හැඩතල උපයෝගි කර ගනිමින් නිර්මාණයක් සිදුකරගන්නා ආකාරය විස්තර කළෙමු.

මෙවර ඔබට ගෙන එනු ලබන්නේ අච්චුවක් භාවිත කරමින් බතික් නිර්මාණයක් සිදුකර ගන්නා ආකාරය.

මෙසේ අච්චුවක් භාවිත කරමින් බතික් නිර්මාණ සිදුකිරීම අප රටේ බහුලව දක්නට නොලැබුණ ද ජාවා දූපත්, ඉන්දියාව, පකිස්තානය, මැලේසියාව, තායිලන්තය, දකුණු අප්‍රිකාව වැනි රටවල ඉතා බහුල වශයෙන් දක්නට ලැබෙනුයේ මෙවැනි බතික් නිර්මාණයි.

චිත්‍ර ඇඳීමට දක්ෂතාවක් නොමැති අයකුට වුවද ඉතා පහසුවෙන් මේ ක්‍රමයෙන් නිර්මාණ කළ හැකි වීම මෙහි විශේෂත්වයයි. එසේම මෙවැනි අච්චුවක් භාවිත කිරීමෙන් නිර්මාණයේ සමබරතාව ඒකාකාරීව පවත්වා ගැනීමට හැකිවීම මෙහි ඇති අනෙක් වාසිය වේ.

අච්චුව සාදා ගන්නේ මෙහෙමයි

මුලින්ම මේ සඳහා විවිධ මෝස්තරවල අච්චු අවශ්‍ය වේ. ඒ සඳහා තෝරාගත් මෝස්තර ලීයක පිටපත් කර අච්චුව සාදා ගත යුතු වේ. යකඩ වලින් ද මේ අච්චු සාදා ගත හැකිය. (ඒ සඳහා මනා පළපුරුද්දක් ඇති අයකු ලවා එම අච්චුව සකසා ගැනීම යෝග්‍ය වේ.) රූප සටහන්වල දැක්වෙන්නේ එලෙස සාදාගත් අච්චු කිහිපයකි. මේවා මෝස්තර හෝ සතුන්ගේ හැඩ යන ඕනෑම ආකාරයක විය හැකිය.

දැන් අපි බලමු එවැනි නිර්මාණයක් සිදුකරගැනීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය.

* නිර්මාණය සිදුකර ගැනීමට කපු හෝ සිල්ක් රෙද්දක් (ඔබගේ අවශ්‍යතාවට අනුව)

* ඒ සඳහා ඔබ යොදා ගැනීමට කැමැති ඩයි වර්ගයක් (වැට්, නැප්තෝල් හෝ රිඇක්ටිව් ඩයි වර්ගයක්)

* ඉටි මිශ්‍රණය (අප පසුගිය පාඩම්වලදි සඳහන් කළ ආකාරයටම සකසා ගන්න.)

* ඔබ යොදා ගන්නා ක්‍රමයට අනුව බාත් (Bathe) සකසා ගන්න.

පසුව ඔබ තෝරාගත් රෙද්ද ලී රාමුවක් මත හෝ මේසයක් මත හොඳින් සවි කර ගන්න. (pin කරගන්න) ඉන් පසුව ඔබ සකසා ගත් ඉටි මිශ්‍රණය තුළ අච්චුව, අවශ්‍ය ප්‍රමාණයට බහාලමින් ඔබගේ කැමැත්ත පරිදි නිර්මාණය ඉටි කර ගන්න. (රූපවල පෙනෙන පරිදි)

නිර්මාණය ඉටි කරගත් පසු පෙර පරිදිම ඉටි නොකැඩෙන සේ ජලය පිරවූ බාත් එකක හොඳින් පොඟවා ගන්න. පසුව ඔබගේ කැමැත්ත පරිදි තෝරාගත් ඩයි ක්‍රමයට අනුව වර්ණ ගැන්වීම කළ යුතුවේ. අවසානයේදී ඉටි ඉවත්කර ගැනීම සඳහා හොඳින් රත්වූ ජල බඳුනක බහාලමින් ඉටි ඉවත්කර ගන්න. අවසානයේ මද පවනේ වියළා ගැනීම සිදු කළ යුතුවේ.

 

ඩයි වර්ග, ඉටි මිශ්‍රණය සාද ගැනීම, බාත් ( Bathe ) සකසා ගන්නා අන්දම පිළිබඳව අප පසුගිය කලාපවලින් ගෙන ආවෙමු. ඒ පිළිබඳව කිසියම් ගැටලුවක් තිබේනම් 0773597949 යන දුරකථන අංකයෙන් ( WhatsApp)මඟින් යොමු කරන්න නැත්නම්

 

බතික් නිර්මාණ ගැටලු තරුණී කර්තෘ මණ්ඩලය

ලේක්හවුස් කොළඹ -10

යන ලිපිනයට ලියා එවන්න.

 

ඉදිරිපත් කිරීම

kenuri batik ආයතනයෙහි

අධිපතිනි

එච්. චන්දිමා ද සිල්වා