දඟකාර ඔබට උරපටි සහිත ගවුමක්

ඇඳුමක් මසමු
ජූලි 28, 2021

 

යොවුන් වියේ දූවරුන්ට වගේම දඟකාර තරුණියන්ට ගැළපෙන සැහැල්ලු ගවුමකි. උරපටි සහිත මේ ගවුම ඔබට නිසැකවම හැඩකාර පෙනුමක් ගෙනදේවි. කඳ කොටස ප්‍රින්සස් ලයික් ක්රමයට මසා ඇති නිසා සිරුරේ හැඩයත් මැනවින් විදහා පෙන්වයි.

 

 

 

අවශ්‍ය මිමි

මෙම මිමි අනුව ඔබට අවශ්‍ය කෙනාගේ මිමි මැනගන්න.

උරහිස = අඟල් 15 1/2

කරවට = අඟල් 13

කර ගැඹුර = අඟල් 6 1/2

පපුව දක්වා උස = අඟල් 10

ඉණ දක්වා උස = අඟල් 14 1/2

ඔපනැලි අතර පළල = අඟල් 7

පපුවවට = අඟල් 35

ඉණවට = අඟල් 31

සාය උස = අඟල් 25

ගවුම මැසීම සඳහා සාය හා බ්ලවුසය වෙන වෙනම නිර්මාණයකර ඇත. එමෙන්ම බ්ලවුසය සඳහා ප්‍රින්සස් ලයින් එකක් කපා ඇති බැවින් ඔබ පතරොමක් සාදා ගතයුතුයි. පතරොම සඳහා ඉදිරිපස නැම්මට ගන්න.ඉහළින් හරහට රේඛාවක් අඳින්න. එය උරහිස රේඛාවයි. උරහිස මිම්ම දෙකට බෙදා එන පිළිතුරට මැහුම්වාසි එකතුකර උරහිස රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AB වේ. B සිට පහතට අඟල් 1 3/4ක් පහත්කර A ලක්ෂ්‍යයට යා කරන්න. එය AC වේ.

කරවට ප්‍රමාණය හතරෙන් බෙදා එන පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AD වේ. එම පිළිතුරෙන් අඟල් 1/2 ක් අඩුකර ඉතිරි ප්‍රමාණය AC රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AE වේ. DE යා කරන්න.

E සිට පහතට ඉණ දක්වා උස හා සම්පූර්ණ උස පහත්කර හරහට රේඛා අඳින්න.

E සිට පහතට පපුව දක්වා උස හා ඉණ දක්වා උස පහත්කර හරහට රේඛා අඳින්න.

අත්කට රේඛාවට උස සෙවීම සඳහා පපුවවට ප්‍රමාණය හතරෙන් බෙදා එන පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AF වේ.

අත්කට රේඛාවට දිග ලකුණු කිරීම සඳහා පපුවවට ප්‍රමාණය හතරෙන් බෙදා එන පිළිතුරට මැහුම්වාසි එකතුකර අත්කට රේඛාවේ හරහට ලකුණු කරන්න. එය FG වේ.

ඉණවට ප්‍රමාණය හතරෙන් බෙදා එන පිළිතුරට ඩාට් සඳහා අඟල් 1 1/2ක් එකතුකර එයට මැහුම්වාසි ද එකතුකර ඉණ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය HI වේ. G හා I යා කරන්න.

අත්කට වක්‍රය ඇඳීම සඳහා C සිට අත්කට රේඛාවට කෙළින් ඉරක් ඇඳ එම රේඛාවේ මැද ලක්ෂ්‍යය ලකුණු කරන්න. උරහිස මිම්මෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය නැම්මේ සිට මැද ලක්ෂ්‍යය දෙසට ලකුණු කරන්න. C සිට එම ලක්ෂ්‍යය කැපීයන සේ රේඛාවක් ඇඳ අත්කට වක්‍රය අඳින්න.

කර ගැඹුර පහත්කර රූප සටහනේ පරිදි අත්කටට ඇඳ මැහුම්වාසි තබාගන්න.

ඔපනැලි අතර පළල දෙකට බෙදා එන පිළිතුර නැම්මේ සිට පපුව රේඛාවේ හරහට ලකුණු කරන්න. එය KL වේ. L සිට ඉණ රේඛාවට කෙළින් ඉරක් අඳින්න. එය LM වේ. ඩාට් පළල දෙකට බෙදා M සිට දෙපසට ලකුණු කර Lට යා කරන්න. L සිට කරට ප්‍රින්සස්ලයින් හැඩය අඳින්න.

පතරොම වෙන් කිරීමට පෙර පසුපස පළුව කපා ගන්න.

පසුපස

පසුපස සඳහා බලවාටියට ගෙන අඟල් 1 වාසි තබා නැම්ම අඳින්න. අත්කට රේඛාවෙන් කපා ගන්න. කැපීමේදී මැහුම්වාසි තබා රෙදිමත තබාකැපීමේදී කපාගන්න. ඉදිරිපස පතරොම වෙන්කර රෙදි මත තබා කැපීමේදී මැහුම්වාසි තබා කපන්න.

පටි දෙකක් උරහිසට ගැටගසා ඇති බැවින් ඔබ අවශ්‍ය පළලට හා දිගට පටි කොටස් 4ක් කපා මසා ගන්න.

සාය

සාය සඳහා අවශ්‍ය උසට මැහුම්වාසි එකතුකර උස ද ඉණවට මෙන් දෙගුණයක් පමණ දිග ද ගෙන රෙදි කපා ඉණ රැලිකර ගන්න.

මැසීම

ප්‍රින්සස් ලයින් හැඩය මසන්න.පසුපස ඩාට් මසා සිපරය අල්ලා ගන්න.සාය ඉණට අල්ලා ගන්න.කර ‍ෙෆෂින් කරන්න. ‍ෙෆෂිම ඇල්ලීමේදී පටි කොටස් තබා මසා ගන්න.අංශය මසා වාටිය මසන්න.

 

 

 

 

උපදෙස් - ප්‍රවීණ උපදේශිකා

දිලුෂි දසනායක