කොළයක හැඩය ගත් coasters set එකක්

ජනවාරි 16, 2023

පැච්වර්ක් කියන්නෙම සුන්දර කලාවක්. වර්ණ ගැළපීම, මෝස්තර ගැළපීම, හැඩතල ගැළපීම ආදී මේ සියලු දේ එකට එකතු කරන සුන්දර නිර්මාණයක අවසානයක්.

 

හැමදාම දකින දේ වෙනස්ම ආරක සුන්දරත්වයක් ගත්තාම ඇසට ප්‍රියයි. සිතත් නිරතුරුව ප්‍රීතියෙන්. ඉතින් අපි අද පැච්වර්ක් (Patch Work) කලාවේ සුන්දර නිර්මාණයක් ඉගෙන ගනිමු.

අපේ ගෘහණිය කොහොමත් කැමැතියිනේ නිවෙස ලස්සනට තියා ගන්න. කොහේ ගියත් විසිතුරු යමක් දුටුවොත් මේක අපේ ගෙදරටත් හොඳයි කියලා හිතනවා නේද?

සාප්පුවෙන් සල්ලි දීලා ගන්නා යමකට වඩා ඔබේ අතින්ම නිමවන නිර්මාණයකින් නිවෙස අලංකාර කරන්න ලැබුණම කෙතරම් සතුටු ද?

තේ කෝප්පය, වතුර කෝප්පය, බීම වීදුරු තබා නිතර හැඩවන  කෑම මේසයට Coasters Set එකක් අවශ්‍යමයි. අපි අද එය පැච්වර්ක් ක්‍රමයට අලංකාරව මසා ගනිමු.

නිර්මාණය කරගන්නා ආකාරය

 

පළමුව මෝස්තර සහිත රෙදි වර්ගයක් ගෙන 1 රූපයේ පරිදි අඟල් 6 × අඟල් 1 3/4 ප්‍රමාණයේ රෙදි පටි, එක කොටසකට 4 බැගින් 8ක් කපා ගන්න.

දැන් පළමු රෙදි කැබලි 4 ගෙන 2 රූපයේ පරිදි වර්ණ සහ මෝස්තර ගැළපෙන ආකාරයට තබා දිග අතට එකිනෙකට මූට්ටු කරන්න.

ඉන්පසු ඉතිරි රෙදි කොටස් 4ත් 2 රූපයේ ආකාරයටම දිග අතට මූට්ටු කරන්න.

දැන් ඔබ මසා ගත් රෙදි කොටස් දෙක සමචතුරස්‍ර කොටස් දෙකක් ලෙස ඇති. එම රෙදි කොටස් දෙක හොඳින් අයන් කරන්න. දැන් එක් සමචතුරස්‍ර රෙදි කොටසක් ගෙන 3 රූපයේ ආකාරයට ත්‍රිකෝණ හැඩ දෙකක් ලැබෙන පරිදි මැදින් කපා ගන්න. අනෙක් සමචතුරස්‍ර කොටස 4 රූපයේ ආකාරයට අනෙක් පැත්තට කැපිය යුතුයි. සමචතුරස්‍ර කොටස් දෙකම එකම පැත්තට කැපීමෙන් කොළයක හැඩය ගැනීමට නොහැකිය.

ඉන්පසු පළමුව කපාගත් සමචතුරස්‍ර කොටසේ 1 සටහන් කොට ඇති (3 රූපය) ත්‍රිකෝණ හැඩය, දෙවනුව කපාගත් සමචතුරස්‍ර කොටසේ 4 සටහන් කොට ඇති (4 රූපය) ත්‍රිකෝණ හැඩයට තබා 5 රූපයේ පෙන්වා ඇති ආකාරයට මසා ගන්න.

ඒ ආකාරයට පළමු සමචතුරස්‍රයේ 2 සටහන් කර ඇති ත්‍රිකෝණ කොටසත්, දෙවැනි සමචතුරස්‍රයේ 3 සටහන් කොට ඇති ත්‍රිකෝණ කොටසත් ඉහත ආකාරයටම මසා ගන්න.

දැන් ඔබට කොටස් දෙකක් ලැබී ඇති. එක් කොටසක් ගෙන මැදින් පැඩින් දමා අමු රෙදිවලින් ලයිනින් තබා වටේ මසා ගන්න. ඒ ආකාරයටම අනෙක් කොටසත් පැඩින් සහ ලයිනින් දමා මසා ගන්න.

ඉන්පසු පැඩින් දමා ලයිනින් කරගත් එක් කොටසක් ගෙන 6 රූපයේ පරිදි කොළයක හැඩය එනසේ කපා ගන්න. අනෙක් කොටසත් එලෙසම කොළයක හැඩය ලැබෙන පරිදි කපන්න.

දැන් Coaster එක තවත් අලංකාරකර ගැනීමට ගැළපෙන වර්ණයකින් වටේ පයිපින් කරගන්න. මේ ආකාරයට එකවර Coaster දෙකක් මැසිය හැකියි.

ඔබගේ නිවෙස අලංකරණයට පමණක් නොවේ. ඔබේ යෙහෙළියකට, හිතවතියකට තිළිණයක් ලෙස අලංකාරව අසුරා පිරිනැමීමටත් මෙය ඉතා කදිම අත්කමක්.

 

උපදෙස්

ප්‍රවීණ අත්තම් ශිල්පිනී

අයෝධ්‍යා නානායක්කාර