වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
ඉර එළියට ප්‍රේම කරන සූරිය මල් කුමාරි

සූරියකාන්ත මල් අයිති ඉරට විතරයි. ඉර අව්ව නැති දවසට සූරියකාන්ත මල් කවදාවත් පිපෙන්නෙ නැහැ.
හිරු සමඟ සිනා සලමින් පිපී හිනැහෙන සූරියකාන්ත මල අපූර්ව සුන්දරත්වයක් ගෙන දෙන කුසුමකි. මේ සුන්දර කුසුම එම්බ්‍රොයිඩරි කලාවේදී කතුන්ටද අගනා තේමාවකි. එබැවින් මේ ලස්සන මලින් එළිය වුණු කුෂන් කවර පෙළ මොනතරම් හැඩකාරදැයි බලන්න. විස්මිත රිබන් එම්බ්‍රොයිඩරි කලාවේ අපූර්වත්වයයි මේ.
අඟල් 8 විශ්කම්භය සහිත එම්බ්‍රොයිඩරි රාමුවක්
අමු රෙදිවලින් අඟල් 16 1/2 × 16 1/2 ප්‍රමාණයේ කොටසක්
අඟල් 1/2 පළල කහ වර්ණ කිහිපයක හා අඟල් 1/4 පළල කොළ පැහැති සිල්ක් රිබන්
රතු, ළා නිල්, ළා දම් ආදී
වර්ණවල රිබන්
තද දුඹුරු හා කොළ පැහැති
පර්ල් කොට්න් නූල්
ටැපැස්ට්‍රි ඉඳිකටු සහ
සාමාන්‍ය ඉඳිකටු
පැන්සලක්
පළමුව රෙදි කොටස අවශ්‍ය නම් සෝදා වියළා අයන්කර අවශ්‍ය ප්‍රමාණයට කපා ගන්න. දැන් එම රෙදි කොටස රාමුවට දමා හොඳින් තදකර එහි පැන්සලෙන් දළ සටහනක් ඇඳගන්න. සූරියකාන්ත මලේ මැද සඳහා රවුමක් ඇඳ පෙති සඳහා ඔබ කැමැති දිගකින් වටේට (පින්තූරයේ දැක්වෙන ලෙස) දෙවැනි රවුම ඇඳගන්න. දැන් අපි මැසීම ආරම්භ කරමු. මෙහිදී අප පළමුව මසාගත යුත්තේ මල් පෙතිය. දෙවනුව කොළය. මල් පෙති රිබන් මැස්ම හා කෙළින් මැස්ම කලවමේ යොදා ගනිමින් මසා තිබේ. එලෙස මල් හා පොහොට්ටු සියල්ල මසා ගන්න. දැන් කොළ රිබන් මැස්මෙන් මසා ගන්න. කොළ ඉත්තද කුඩා රිබන් මැහුම්වලින් මසන්න. නටු ඇඹරුණු කෙළින් මැස්මෙන් මසන්න. මල් මැද තද දුඹුරු හා කොළ පැහැති පර්ල් කොට්න් නූල් භාවිතකර ප්‍රංශ ගැට මැස්මෙන් පුරවා ගන්න. දෙපැත්තට විහිදෙන ලෙස කුඩා රිබන් මැස්මෙන් මැසූ ඉති කෙළවරින් කොළපාට පර්ල් කොට්න් නූල් භාවිත කර කෙළින් මැස්මෙන් නිර්මාණයේ ඇති ලෙස මසාගන්න.
මෙලෙස ඔබට අවශ්‍ය ලෙස සූරියකාන්ත මල් එකතු කර ගන්න. එමෙන්ම වෙනත් මල් වර්ග සමඟ කලවමේද මැසිය හැකියි. මල් බඳුන් මැසීම සඳහා ළා දුඹුරු වර්ණ රිබන් ගෙන අඹරවා උස අතට කෙළින් මැහුම් මසා ගන්න. පසුව එම රිබන් අතරින් හරහට නැවත රිබන් එක යවමින් වට්ටියක් මසාගන්න. වට්ටිය වියන ආකාරයට මසාගන්න. බාස්කට් එකේ හැඩේ නැටි මැස්මෙන් රිබන්වලින් මසාගන්න.
මල් පොකුරේ නටු රිබන් එක අඹරවා ඇඹරුණු කෙළින් මැස්මෙන් මසා ගන්න. එම මල් පොකුරේ තැනින් තැනට රතුපාට පබළු අල්ලා ගන්න. නැත්නම් රතුපාට රිබන්වලින් ප්‍රංශ ගැට මසන්න. ළා නිල්, ළා දම්, ළා තැඹිලි වර්ණ රිබන්වලින් මෙම නිර්මාණවල සූරියකාන්ත මල් අතරට කුඩා මල් මසා ඇත. ඒවා ඔබට කැමති ලෙස මසාගන්න. මේ නිර්මාණ දෙස බැලීමෙන් ඔබේම නිර්මාණයකට අගනා අදහසක් ලබාගත හැකියි.
සන්ෆ්ලවර් (Sunflower)
මෙම සන්ෆ්ලවර් මල මැසීමේදී මැහුම් රටා කීපයක් භාවිත කරමින් ක්‍රම කීපයකට මැසිය හැකියි. එනම් මේ සඳහා ලේසිඩේසි මැස්ම භාවිත කළ හැකියි. එලෙසම සැටින් මැස්ම භාවිත කළ හැකියි. මලේ මැද සඳහා ප්‍රංශ ගැටය භාවිත කළ හැකියි. පළමුව මලෙහි බ්ලොක් එක ඇඳ ගත යුතුය. පසුව මල් පෙති මසාගත යුතුය. ඒ සඳහා ලේසිඩේසි මැස්මක් භාවිත කිරීම පහසු වේ. මල් පෙත්ත මැදින් දෙකට බෙදා පළමුව සියලුම මල් පෙතිවල මැද සිට ලේසි ඩේසි මැස්ම මසා ගත යුතුය. පසුව මල් පෙතිවල කෙළවරවල් ලේසිඩේසි මැස්ම මසාගත යුතුය. එනම් පෙත්තකට ලේසිඩේසි මැස්මවල් දෙකක් මසාගත යුතුය. මලට නටුවක් හා පත්‍රයක් අවශ්‍ය ආකාරයකට මසා ගත හැකියි.