මෙන්න උපුලි අසේකා මාතෘත්වයක සෙනෙහස

අම්මයි - දුවයි
දෙසැම්බර් 5, 2022

අම්මාගෙන් ලද දයාද බොහොමයි - අසේකා

අසේකා ගියාම ගෙදර හිස් වුණා වගේ - උපුලි

 

අපේ රටේ නර්තන කලාව ගැන කතා කරද්දී මුලින්ම සිහියට නැඟෙන නාමයක් තමයි පණීභාරත නාමය. පණීභාරත මහතා දිවංගතව වසර ගණනාවක් ගත වුවද අදටත් ඒ දේශීය නර්තන කලාව ඉදිරියට රැගෙන එන්නේ එතුමාගේ වැඩිමහල් දියණිය සහ ඇයගේ සැමියා චන්න විජේවර්ධන ඇතුළු කණ්ඩායමයි.

එපමණක් නොව ඔවුන් දෙදෙනාගේ ආදර දියණී අසේකා විජේවර්ධනයන් ද මේ නර්තන දායාදය හෙට දවසේ තවත් ඉදිරියට රැගෙන යාවි.

චන්න - උපුලී කැදැල්ලේ එකම දියණී අසේකා පසුගියදා ඇයගේම කැදැල්ලකට පියඹා ගියාය. ඉතින් අලුත් ජීවිතයකට පිවිසි අසේකාට සහ උපුලීට අම්මයි - දුවයි විශේෂාංගයට ගොඩවදින්නට අපි ආරාධනා කළෙමු.

 

ඉතින් කොහොමද උපුලී. මේ දිනවල තරමක් කාර්යබහුලයි කියලා දැනගන්නට ලැබුණා.

ඇත්තටම ඔව්. අපි මේ දිනවල 'රිදී රැයක්' ප්‍රසංගයේ පුහුණුවීම්වල නිරත වෙන නිසා හරිම කාර්යබහුලයි. විශේෂයෙන්ම මෙවර පැවැත්වෙන්නෙ 20 වැනි රිදී රැයක් ප්‍රසංගය. කලාකරුවන්ගේ පුහුණුවීම් සියල්ල සිදුවන්නෙත් අපේ නිවෙසේ. ඉතින් චන්න, මම වාගේම අපේ දුව අසේකාත් වෙහෙසකර කාලවකවානුවක් තමයි මේ ගත කරන්නේ.

 

ඒ කියන්නෙ අලුත් කැදැල්ලකට පියඹා ගිය දෝණි මේ දිනවල ආයෙමත් අම්මත් එක්ක වැඩ.

"ඔව්නේ. අසේකා විවාහ වෙලා ගියාට නර්තන කටයුතු දිගටම කරනවානේ. ඒ නිසා එයා හැමදාම උදේට ගෙදර එනවා. හවසට ආයෙමත් එයාගේ අලුත් ගෙදරට යනවා. මේ දවස්වල නම් පුහුණුවීම් වැඩි නිසා රෑට නිදාගන්න තමයි එයාගේ ගෙදරට යන්නෙ."

 

අසේකා කියන්නෙ ඔයාගේ එකම දියණිය. ඉපදුණු දා ඉඳන් දැවටි දැවටි හිටපු ඇය වෙනත් කැදැල්ලකට ගියදා කොහොමද දරා ගත්තෙ.

"අම්මෝ ඒක හරිම අමාරු දරා ගැනීමක්. මුල්ම දවස් ටික අපි දෙන්නට පුදුමාකාර පාළුවක් දැනුණා. හරියට මේ ගෙදරම හිස් වුණා වගේ. අසේකා ඉන්න කොට අපේ ගෙදර හරියට පිරිලා වගෙයි. ඒත් ඉතින් ලෝක ස්වභාවයට අපි මුහුණ දිය යුතුයිනේ. කොහොමටත් නර්තන කටයුතු නිසා හැමදාම උදේ එයා ගෙදර එනවානේ. ඒ නිසා හිත හදා ගැනීම පහසු වුණා."

 

දියණියක් විතරක් හිටපු ඔයාලගේ පවුලට දැන් පුතෙක් එකතු වෙලා.

"ඒ වාගේ පුතෙක් ලබන්න අපි දෙන්නා හරියට පින් කරලා තියෙනවා. ජනික් කියන්නෙ රත්තරන් දරුවෙක්. හරිම ආදරණීයයි. අපිව හොඳට තේරුම් ගත්තු පුතෙක්. ඇත්තටම ජනික්ගේ අම්මටයි, තාත්තටයි අපි ස්තූති කරන්න ඕනේ ඒ වගේ හොඳ පුතෙක් අපේ පවුලට ලබා දුන්නට. ජනික් පුතා වගේම තමයි එයාගේ සහෝදරයෝ තුන්දෙනත්."

 

ඔයාගේ ආදරණීය දියණිය ගැන මොනවද හිතෙන්නෙ.

"අනේ මම හැමදාමත් ප්‍රාර්ථනා කළේ මගේ දුව මම වාගේම හැදෙන්න ඕනේ කියලයි. මම හැදුණේ අපේ අම්මා දිහා බලාගෙන. ඉතින් මම ආසා වුණා දුවත් එහෙම වෙනවාට. යුතුකම් ඉටු කරන, වගකීම් දරන, හොඳින් ඉවසීම ඇති, සරලව ජීවත්වන ගැහැනියක් විය යුතුයි කියන තැනයි මම ඉන්නෙ. ඒ වගේම අපේ තාත්තාගේ නර්තන කලාව අපි ඉදිරියට අරගෙන ආවා වගේ අසේකාත් කරගෙන යයි. අද දවස බලන්නට තාත්තා ජීවතුන් අතර හිටියා නම් කියලා අනන්තවත් හිතෙනවා. කෙටියෙන්ම කිව්වොත් අසේකා මගේ හීන ඉටු කරපු දියණියක්. එයා තමන්ගෙ පවුලට වාගේම මේ සමාජයටත් යුතුකම් ඉටු කරන ගැහැනියක් වීමයි මගේ එකම බලාපොරොත්තුව."

 

මේ විදිහට තමන්ගෙ දියණිය ගැන අම්මා හැඟීම්බරව කතා කරද්දි අසේකාටත් යමක් ඇති අම්මා ගැන කියන්න.

"මගේ අම්මා කියන්නෙ මේ ලෝකෙ ඉන්න මල්ටි ටැලන්ට් ඒ කියන්නෙ ගොඩක් හැකියාවන් තියෙන කෙනෙක්. මම දැකලා තියෙන පුදුමාකාර ඉවසීමක් සහිත කාන්තාවක්. ඒ වගේම යකඩ ගැහැනියක් කියන්නත් පුළුවනි. ඇයට ඕනෑම දෙයක් දරාගන්නට හැකියාව තියෙනවා. කොයිතරම් මහන්සි තිබුණත් වෙහෙස නොබලා අකුරටම සෑම යුතුකමක්ම ඉටු කරන්නියක්. ඉතින් අම්මා මට හරිම ආඩම්බරයක්."

 

අම්මා ඔයාට කිසිදෙයකට බලපෑම් කළේ නෑ.

"අනේ ඔව්. අම්මා කවදාකවත් මට කිසිම බලකිරීමක් කරලා නෑ. මම පුංචි කාලේ නටන්න ආස නැහැ. පාසලේ දී නැටුම් කළෙත් නෑ. නමුත් අම්මයි, තාත්තයි මට හැදෙන්න ඇරලා බලාගෙන හිටියා. එයාලගෙන් ඉටු විය යුතු යුතුකම් හරියටම කළා"

 

ඔයාගේ අනාගත බලාපොරොත්තු ගැනත් කියමු නේද?

"මම පුංචි කාලේ ඉඳන් කවදත් අනාගතය ප්ලෑන් කරපු කෙනෙක් නෙමෙයි. මේ මොහොතේ හොඳින් සතුටින් ජීවත් වීමයි බලාපොරොත්තුව. ඒ නිසා අනාගතය ගැන ලොකු ප්ලෑන් නෑ. අපේ සංස්කෘතිය රැකගෙන ලස්සන පවුල් ජීවිතයක් ගත කිරීමයි අද දවසේ එකම පැතුම.