කැන්ස් සිනමා උලෙළ විලාසිතා උල්පතක්

මැයි 30, 2022

 

 

වසරක් පාසා පැවැත්වෙන කැන්ස් සිනමා උලෙළේ සිනමා පටයක් තරමට ම සුන්දර දසුන් පෙළක් තිබෙනවා . ඒ ලෝ ප්‍රකට තාරකා රතු පලසින් ලාලිත ගමනින් ගමන් කරන අවස්ථාවයි. මේ මොහොත උදාවන තුරු කවුරුත් බලා සිටින්නේ ඒ විලාසිතා තමන් ගේ විලාසිතාකර ගැනීමටයි.

 

ලෝ රූ රැජනකවූ අයිෂ්වර්යා රායි මෙවර ගමන් කළේ රෝස මල් පෙත්තක් වැනිවූ දිගු ගවුමකින් සැරසීලායි. කාගේත් අවධානය දිනා ගත් මේ ගවුම් විලාසිතාව නිර්මාණය කළේ ගෞරව් ගුප්තා. අයිෂ්වර්යා මෙවර රතු පලසින් ගමන් කළේ විසි වැනි වරටයි. ඒ නිසා මේ විශේෂ අවස්ථාව විශේෂ ඇඳුමකින් හැඩ කරන්න ගුප්තා මහන්සි වුණා. ඔහු ඇය දිය කිඳුරියක ලෙස හැඩ කළා. සිකුරු ගේ උපතේ කතන්දරය ගුප්තා අයිෂ්වර්යා ගේ ඇඳුම නිර්මාණය කිරීමේ දී යොදා ගෙන තිබෙනවා. ඇඳුම නිර්මාණය කිරීමට සිය දෙනකු යොදා ගෙන ඇති අතර ඒ සඳහා දින 20 ක් ගතවී ඇත.

උර්වෂි රෞටෙලා, පූජා හෙජ්, තමන්නා භාතියා ඉන්දියානු තාරකාවන් කැන්ස් රතු පලස මතින් ගමන් කළේ පළමු වරටයි. උර්වෂි ගේ සුදෝ සුදු රැලි සහිත ගවුමට මිදි පොකුරු එක්කර අලංකාරයක් ලබා දී තිබුණා. තමන්නා භාතියා රතු පලසින් ගියේ හොලිවුඩ් තාරකාවක් මෙන් සිරුර අඩක් නිරාවරණය වන කාල වර්ණ ගවුමකින් සැරසීය.

දීපිකා පදුකෝන්, නව පරපුරේ හද බැඳී තාරකාව රතු පලසින් ගමන් කළේ ද රක්ත වර්ණ දිගු ගවුමකින් සැරසීය. ඇලෙසැන්ඩ්‍රා ඇම්බ්‍රෝසියෝ වසරකට අමෙරිකානු ඩොලර් මිලියන 6.6 ක් උපයන ලොව ඉහළ ම ආදායමක් ලබන මෝස්තර නිරූපණ ශිල්පිනියන් පස් දෙනාගෙන් කෙනෙක්. නිළියක්, ව්‍යාපාරික කාන්තාවක් වන ඇය රිදී පැහැති ඇඳුමකින් සැරසී රතු පලස මතින් ගමන් කළා. ප්‍රකට මෝස්තර නිරූපණ ශිල්පිනියක වූ නයෝමි කැම්බල් කාල වර්ණ සම කළු පැහැ දිගු ගවුමකින් හැඩකර ගෙන කැන්ස් සිනමා උලෙළට පැමිණ තිබුණා.

 

අන්තර්ජාලයෙනි