සංසාරගත ප්‍රේමයක් සොයමින් චන්න යන අලුත් ගමන

'යුගාත්‍රා' තාරුණ්‍යයේ උන්මාදනීය සිනමා සිත්තමයි
ජුනි 5, 2023

 

පිරිමි ළමයෙකුයි, ගැහැනු ළමයි දෙන්නෙකුයි ඉන්න තැන චන්නයි, කෙල්ලෝ දෙන්නයි කියලා කියන්නේ ආයාසයකින් තොරවමයි. 'චන්නයි කෙල්ලෝ දෙන්නයි' අපි අතරට ආවේ 80 දශකයේ සිංහල සිනමාව හරහායි.

 

ඒ එදා. මෙදා චන්නයි කෙල්ලෝ දෙන්නයි සිංහල සිනමාව අතික්‍රමණය කරන්නේ සංසාරගත සෙනෙහසක ආත්මීය යාත්‍රාව 'යුගාත්‍රා' සමඟිනි. මේ දිනවල ඊ.ඒ.පී. මණ්ඩලයේ සිනමාහල්වල ඇතුළුව ලංකාව පුරා සිනමාහල් ගණනාවක ප්‍රේක්ෂක ආකර්ෂණය නොඅඩුව දිනා ගනිමින් 'යුගාත්‍රා' තිරගත වේ.

ඉසුරු විජේසිංහ, ජනක එදිරිසූරිය, ශ්‍රියානි සේනානායක, වසන්ත පෙරේරා, ආචාර්ය ජයන්ත ධර්මදාස නිෂ්්පාදනයෙන් දායකවන(විශ්මිත ෆිල්ම්ස්) 'යුගාත්‍රා' වසර 30 කට ආසන්න කාලයක් පුරාවට නොවිසඳුණු අභිරහසක් වන් කතාන්දරයන් තුන් කොන් ප්‍රේම වෘතාන්තයක් මෙන් සෞන්දර්යාත්මකව දිවේ.

'විසල්' සහ 'සාගර' ලෙස ආත්මයන් දෙකක චරිත දෙකකට පණ පොවමින් හා 'යුගාත්‍රා' වෙත අදියුරු දායකත්වය ලබා දෙන්නේ, තවමත් තාරුණ්‍යයේ සිත් බබළවන කඩවසම් පෙනුමින් යුතු චන්න පෙරේරායි. මාෂි සිරිවර්ධන 'සමාධි' ලෙසිනුත්, අසංකි ද සිල්වා 'එරන්දි' සහ 'අමායා' ලෙසිනුත් 'යුගාත්‍රා' සිනමා සිතුවමට මිහිරියාවක් ගෙන දෙයි.

චන්න පෙරේරා අප හා කෙටි පිළිසඳරකට එක්වන්නේ 'යුගාත්‍රා' හි සාර්ථකත්වයේ සොඳුරු බව විඳින මොහොතකදීය.

ආත්ම දෙකක කතාවක් මෙන් මතුපිටින් දිවෙන මෙහි යම් අන්දමකට දිවෙන්නේ බෞද්ධ දර්ශනයයි.එහි ගැබ්ව ඇත්තේ මනෝමය ත්‍රාසජනක බවයි. මේ මගේ සිවුවන චිත්‍රපට අධ්‍යක්ෂණය. පස්වන චිත්‍රපට අධ්‍යක්ෂණය 'සිහින අනන්තය' වැඩ කටයුතුත් මේවනවිට නිමයි.

'යුගාත්‍රා' මම හරිම ආසාවෙන් ලියපු කතාවක්. මෙහි කතාව ගලායන අන්දම ප්‍රේක්ෂකයන්ට ගෙනඑන්නේ නැවුම් හැඟීමක්. සරල, සුන්දර, ආස්වාදයෙන් පිරුණු මේ චිත්‍රපටය වාණිජ සිනමාවේ සෑම අංගයකින්ම පිරිපුන් එකක්.

ආත්ම දෙකක් ඔස්සේ තුන් ඈඳුතු කතාවක් මෙන් දිවෙන මෙහි මාෂි සහ අසංකි ප්‍රධාන චරිත දෙක සඳහා තෝරාගනිද්දී කාරණා කිහිපයක්ම පිළිබඳ සැලකිලිමත් වූවා. තිරපිටපත ලියද්දී හිතේ ඇඳුණු චරිත තමයි මම එක් කරගත්තේ. ප්‍රේක්ෂකයන් නිතර දකින මුහුණු වෙනුවට අලුත් මුහුණු, අඩුවෙන් දකින මුහුණු එක් කරගන්නයි හැම විටම හිතුවේ. මාෂි සහ අසංකි මගේ තේරීම බවට පත් වුණේ ඒ අනුවයි. එහිදී සිනමා ආකර්ෂණයක් මෙන්ම සිනමාවට මම අලුතින් යමක් දායාද කළා කියන සතුට නිහතමානිව භුක්ති විඳින්න පුළුවන්.

'යුගාත්‍රා' සඳහා ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. මැදපෙරදිග, යුරෝපා, ඔස්ට්‍රේලියා ... වැනි රටවල වෙසෙන ලාංකිකයන් වෙතින් එම රටවල මේ චිත්‍රපටය තිරගත කරවීමට සැලැස්මක් තිබෙනවා. මේ උණුසුමේම එම කටයුත්තට අත ගහන්නයි හිතුවේ.

යෞවනයේ දඟකාරකම් වෑහෙන මාෂි 'යුගාත්‍රා' හරහා සිනමාවට නැතිවම බැරි චරිතයක් වනවා නොඅනුමානයි. ඇගේ වතකමල විටෙක අවිහිංසකය. තවත් විටෙක පුදුම තරම් දඟකාරය. යුගාත්‍රා හරහා 'සමාධි' ට වඩාත් සාධාරණයක් ඉටු කරන්නට ඇගේ සැබෑ ස්වරූපය ඉවහල් වූවාට සැක නැත.

සමාධි ඇගේ සිවුවන සිනමා රංගනයයි. "ආදරණීය චරිතයක්, සංවේදී චරිතයක් වන සමාධි මට හොඳින්ම දැනුණු චරිතයක්. ස්ක්‍රිප්ට් එක අතට ගනිද්දීම හිතුණා ලස්සන චිත්‍රපටයක් වෙයි කියලා. චිත්‍රපටය නරඹද්දී එය තවත් තීව්‍ර වූවා. මගේ ඉන්ස්ටර්ග්‍රෑම්, ෆේස්බුක් එකවුන්ට් එකේ හිටපු ෆෑන් බේස් එක තව තවත් වැඩි වුණා.

චන්න අයියා එක්ක වැඩ කරද්දී මෙතෙක් නොලද අත්දැකීම් රැසක්ම ලැබුණා. එය මගේ රංගන ජීවිතයට හොඳ පිටිවහලක් වගේම මට මාව දැනෙන්න අනගි අවස්ථාවකුත් වුණා."

අඋඉඩ් සිනමාපටය හරහා සිංහල සිනමාවට පිවිසෙන ඇය ළයාන්විත බවින් හෙබි අපූරූ රූපකායකින් යුතු තැනැත්තියකි. චන්න, අසංකි ද සිල්වා යුගාත්‍රා සඳහා තෝරා ගන්නේද නිතර නොදකින මුහුණක් සිනමා අඹරට දායාද කිරීමේ චේතනාවෙනි.

"චන්න අයියා තම සිනමා නිර්මාණ භාවිත කළේම හදවතට යමක් ⁣දැනෙන්න දෙන්න. 'යුගාත්‍රා' කියන්නෙත් එහි අනගි ප්‍රතිඵලයක්.

ඔහු තම චිත්‍රපටය සඳහා මට කරන ලද ඇරැයුමම මම බාර ගත්තේ හරිම ගෞරවයකින්. මේ චිත්‍රපටයේ සිටින ප්‍රවීණ නළු නිළියන් අපිට දුන් ආදර්ශයන් බොහෝමයි.

අමායා එරන්දි චරිත දෙකම හරි අපූරුවට ගලා යන චරිත දෙකක්. එරන්දිගේ චරිතය අභියෝගාත්මකයි. චන්න අයියා අපිට අවස්ථාව දුන්නා අපෙන්ම දෙයක් ගන්න. කොහොමත් මාව ඕනෑවට වඩා අධ්‍යක්ෂණය කරන්න ගියෝත් එක්කෝ එය අධිරංගනයක් වේවි. නැත්නම් චරිතයට සාධාරණයක් ඉෂ්ටකරන්න බැරි තරමටම අසාර්ථක එකක් වේවි."

සංසාරගත ස්නේහයක උන්මාදනීය සිනමා සිත්තම 'යුගාත්‍රා' තාරුණ්‍යයේ සොඳුරුබවින් ඔබව මුසපත් කරාවී.