රොක් රැජින ටීනා ටර්නර් දිවි සැරියෙන් සමුගනී !

ජුනි 12, 2023

බටහිර සංගීත ලෝකයේ පුරාවෘත්තයක් සේ සැලකුණු ටීනා ටර්නර්ගේ අභාවය පසුගිය දිනවල සංගීත ලෝලීන් තුළ මහත් කම්පාවක් ඇති කළ සිදුවීමක් වුණා. මෙම සුපිරි ගායිකාව හැඳින්වුණේ ‘රොක් ඇන්ඩ් රෝල්’ සංගීතයේ රැජින හැටියට යි. 83 වැනි වියෙහි පසු වූ ඇය මියගොස් තිබුණේ ස්විට්සර්ලන්තයේ කුෂ්නාක්ට් හි පිහිටි ඇයගේ නිවෙසේදීම බවයි සඳහන් වුණේ.

 

අසූව දශකයේ ඇමරිකානු යෞවන යෞවනියන්ගේ සිහින ලොව ජයගත් ගායිකාවක් තමයි ටීනා ටර්නර් කියලා කියන්නේ. ඇය නිකන්ම ගායිකාවක් නොව රොක් ඇන්ඩ් රෝල් සංගීතයේ රැජින ලෙස කිරුළු පැලඳූ ගායිකාවකි. දශක ගණනාවක් මුළුල්ලේ සිය සංගීත කෞශල්‍යයෙන් ගෝලීය සංගීත ක්‍ෂේත්‍රය තුළ සංකේතයක් බවට පත්ව සිටි ටීනා ටර්නර් මුළු මහත් ලෝකයේම රසික රසිකාවියන්ගේ ආදරය දිනා ගැනීමට සමත් වූවාය. ලොව වටා රසිකයෝ ඇගේ ගී උන්මාදයෙන් මෙන් වැලඳ ගත්හ.

 

1939 වසරේ නොවැම්බර් 26 වැනි දින අ‍ෙමරිකාවේ කළු ජාතික ගොවි පවුලකට දාව උපත ලැබූ ටීනා ටර්නර් 1957දී සිය ගායන ජීවිතය ආරම්භ කළාය. ඇය විවාහ දිවියට එළැඹුණේ වයස අවුරුදු 16දී ඉකේ ටර්නර් නම් සංගීතඥයා සමඟිනි. ඉකේ ටීනාගේ පළමු සැමියාය. ප්‍රසංග වේදිකාවේදී ටීනා ඉකේ්ගේ මයික්‍රෆෝනය ගෙන රැය පහන් වනතුරු ගීත ගායනා කළ ප්‍රසිද්ධ සිදුවීමෙන් පසු කාලයේ ඇවෑමෙන් ඔවුන් යුගදිවියට එළැඹුණි. ඉකේ ටර්නර් නිසා විවාහ ජීවිතය කලකිරුණු ටීනා ඔහුගෙන් දික්කසාද වී අර්වින් බැක් නම් ජර්මානු සංගීතවේදියා සමඟ නැවත වරක් යුගදිවියට පා තැබීය. ටීනා ටර්නර් සිවුදරු මවකි.

 

1950 දශකයේ අග භාගය වන විට සංගීත ලෝකය රොක් ඇන්ඩ් රෝල් සංගීතයෙන් කලඹන්නට ටීනාට හැකි විය. එදා මෙදා තුර ඉහළම ගීත සංඛ්‍යාවක් පටිගත කළ ජනප්‍රිය ගායිකාවන් අතර ටීනා ප්‍රමුඛස්ථානයේ තම නම රැඳවීය. Ike and Tina Turner ගායන කණ්ඩායමේ ප්‍රධාන ගායිකාවද ඇයයි. ඇය ගායනා කළ ගීත අතරින් Fool in love, It’s gonna work out line, River deep-moundain high, Proud mary, Nat bush city limits යන අතිශයින් ජනප්‍රිය වූ ගීත අඩංගුය. ටීනා ගායනා කළ What’s love got to do with it නම් ගීතයට ග්‍රැමී සම්මානයද හිමිවිය. ඇය Grammy සම්මාන 12ක් දිනාගත් අසහාය ගායන තාරකාවකි. එමෙන්ම The Best ඇල්බම මිලියන 180ක් ලොව පුරා අලෙවි වී තිබීම තවත් සුවිශේෂීත්වයකි.

 

1980 වසරේදී පමණක් ඇය සම්මාන 6ක් දිනා ගන්නට සමත් වූවාය. එම යුගයේ ටීනාගේ ගීත රැසක්ම අ‍ෙමරිකානු සහ බි්‍රතාන්‍ය ගීත දර්ශකවල ඉදිරියෙන්ම නම රැඳවීය. 1988 වසරේදී බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ නගරයේ පැවැත්වුණු ටීනා ටර්නර්ගේ සංගීත ප්‍රසංගයකට 80,000කට වැඩි ජනකායක් රැස්වීම ඇගේ ජීවිතයේ සුවිශේෂීම කඩඉමකි. ලෝකයේ සදාතනික සංගීත ශිල්පී ලැයිස්තුවේ පළමු සිය දෙනා අතරට ඇතුළත්වීමටද ඇය සමත් විය. ඇය වරක් ජනප්‍රියම ගීත සියය අතර මුල් තැනට පත්වූ ගීතය ගැයූ වයස්ගතම ගායිකාව බවට පත්විය. ටීනා එම වාර්තාවට හිමිකම් කියන විට 44 වැනි වියේ පසුවූවාය. 1988 වර්ෂයද ටීනාට සුවිශේෂී වසරක් විය. එයට හේතුව වූයේ සංගීත ප්‍රසංගයකදී වැඩිම ගෙවීමක් ලද ගායිකාව ලෙස ටීනා ගිනස් වාර්තා පොතට එක්වීමයි.

 

ටීනා ටර්නර් ලෝකයේම ජනප්‍රියත්වයට පත් වූයේ ගායිකාවක් ලෙසිනි. නමුත් ඇය ගායිකාවක් පමණක් නොව දක්‍ෂ ගී පද රචිකාවියක්ද වූවාය. තවත් විටෙක අෑ දක්‍ෂ නර්තන ශිල්පිනියකි. එමෙන්ම රංගන ශිල්පිනියක් ලෙසද කලා ලොවේ තම නම රැඳවීය. ටීනාගේ ජීවිතයේ කටුක අත්දැකීම්වල ප්‍රතිඵලයක් ලෙස ඇය කතුවරියක් බවටද පත්විය. අවසානයේ ඇය මියගියේ දක්‍ෂ සටන්කාමී ස්ත්‍රීවාදිනියක් ලෙසිනි. චිත්‍රපට ගණනාවකට රංගන දායකත්වය ලබාදීමට ටීනාට හැකි විය. Tommy (1975), Mad May Boyind Thunder dome (1985), What’s love got to do with it යනු ඇය රඟපෑ චිත්‍රපට අතරින් කිහිපයකි. ගීත රචිකාවියක් ලෙස ටීනා ඇය ගායනා කළ ගීත බොහෝමයක පද රචනා ඇය විසින්ම රචනා කිරීමද විශේෂත්වයකි. ගායිකාවක් වශයෙන් ඇය ගත කළ ජීවිතය තුළ 2009 වසරේදී ප්‍රසංග වේදිකාවට සමුදුන්නාය. ඒ වන විට ඇය 50 වැනි සංගීත චාරිකාව සම්පූර්ණ කර හමාරය.

 

වයස අවුරුදු 16දී යුගදිවියට එළැඹුණු ටීනා ටර්නර්ට හිමිවූයේ රෝස මල්යහනාවක් බඳු යුගදිවියක් නම් නොවෙයි. එය අතිශයින්ම කර්කශ වූත් වේදනාබර වූත් ඉරණමකි. ඉකේ ටර්නර් සමඟ ගත කළ කටුක විවාහ දිවියට ඇය 1973 වසරේදී සමු දුන්නාය. ඒ ඉකේගේ හිංසාකාරී පහරදීම් සහ තර්ජන ගර්ජන හේතුවෙනි. 1981 වසරේදී ටීනාගේ දික්කසාදයෙන් පසුව ඇය The Peoples සඟරාවට සිය කටුක අත්දැකීම් කියා සිටියේ මෙලෙසිනි.

 

“මම ගත කළේ මියගිය ජීවිතයක්. මම ඔහුගෙන් වෙන්වෙලා යනකොට ඔහු මාව මරලාදායි කියලා මම බය වුණේ නැහැ. මොකද ඒ වෙනකොටත් මම මැරිලා හිටියේ. මම විවාහයෙන් ඉවත්ව ගොස් ආපසු හැරිලා බැලුවේ නැහැ.” ගෘහස්ථ හිංසනය පිළිබඳ ටීනා ටර්නර් මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කිරීම නිසා එතෙක් නිහඬව සිටි ස්ත්‍රීන්ට ඉදිරියට ඒමට එය විශාල ඉඩහසර වෙන්වීමක් බඳු විය.

 

විවාහ ජීවිතයෙන් ලද කටුක අත්දැකීම් නිසා ඇය සිය දිවි නසා ගැනීමට පවා උත්සාහ කළාය. පසු කාලෙක ඇය සිය සිත හදා ගැනීම සඳහා බෞද්ධ දර්ශනය වැලඳ ගත්තාය. සිය දිවි නසා ගැනීමට ගිය අවස්ථාවේදී බෞද්ධ දර්ශනය නිසා ලැබූ අවබෝධය ඇයගේ ජීවිතය රැකගත් බව 2020 වසරේදී ප්‍රසිද්ධ රූපවාහිනි සම්මුඛ සාකච්ඡාවකදී කියා සිටියාය. එමෙන්ම බුදු දහම පිළිබඳව තමාට තිබුණු විශ්වාසය ගැන රූපවාහිනි වැඩසටහන් සහ තවත් බොහෝ සම්මුඛ සාකච්ඡාවලදී ඇය ප්‍රකාශකර තිබිණි. ටීනා ටර්නර් සිය ජීවිතය ආලෝකවත් කර ගැනීමට බෞද්ධ දර්ශනය බෙහෙවින් ඉවහල්කර ගත්තාය. එම නිසා ටීනා ඉතා ළඟින් බෞද්ධ දර්ශනය ඇසුරු කළාය. ඇය දිනපතා බෞද්ධ ගාථා සහ පිරිත් සජ්ජායනා කිරීමටද හුරුවී සිටියාය. ඇය බුදු දහමෙන් ලැබූ පන්නරය තුළින් ජීවිතයේ කඩාවැටීම්වලට ලක්වුණු අයටද උපකාරකර ඇත. ටීනා ටර්නර් නිසා බෞද්ධ දර්ශනය ඇසුරු කිරීමට පෙලඹුණු බොහෝ දෙනෙක් ට්විටර් පණිවුඩවලින් ඒ බව සඳහන්කර තිබුණේ මෙලෙසිනි. “ඇය  තමයි මට සරණ ලබාදීමට මඟ පෙන්වූ කාන්තාව“

 

වර්ෂ 2013 දී වයස අවුරුදු 73ක් වූ ඇය Vogue සඟරාවේ කවරයේ පෙනී සිටි වයස්ගතම පුද්ගලයා බවට පත් විය. " මම තවම වයස නැහැ.", "මම මහලු වියට පත් වන තුරු කිසි විටෙකත් මහලු වියට යටත් නොවෙමි," ඇය පැවසුවාය.

 

දිගු කලක් රෝගීව සිටි ටීනා ටර්නර් පසුගිය දිනක සිය දිවියෙන් සමුගන්නා විට ඇය 83 වැනි වියෙහි පසුවිය. අමෙරිකාවේ උපත ලබා ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවය ලබාගත් ඇය මිය ගියේ ස්විට්සර්ලන්තයේ සූරිච්හි පිහිටි ඇයගේ නිවෙසේදීය. ඇයගේ අභාවය පිළිබඳ ලොව පුරා බොහෝ පිරිස් ශෝක පණිවුඩ නිකුත් කළහ. ඒ අතර ලොව ප්‍රකට පුද්ගලයන්වන රොස්ලින් ස්ටෝන්, බ්‍රයන් ඇඩම්ස්, ජෝ බයිඩ්න්, බැරක් ඔබාමා වැනි පුද්ගලයන් ට්විටර් ඔස්සේ ශෝක පණිවුඩ නිකුත්කර තිබිණි. එමෙන්ම ස්විට්සර්ලන්තයේ බොහෝ ප්‍රදේශවල ඇය වෙනුවෙන් පුෂ්පෝපහාර දැක්වීමටද අමතක නොකළේය. ලොවට ඉතිරි කළ ටීනාගේ නිර්මාණ එදා මෙදා තුර රසිකයන් තදින් වැලඳගත්තේය. ඇයගේ වියෝව කලා ලොවට විශාල හිඩැසක් ඉතිරි කොට ඇත. රොක් ඇන්ඩ් රෝල් රැජින හෙවත් ටීනා ටර්නර් සංගීත ලෝකයේ පුරාවෘතයක් ලෙස සනිටුහන් වී හමාරය.

 

අන්තර්ජාලය ඇසුරිනි