මගේ ගීතය පුතාගේ හඬින් අහන්න මම බලාගෙන ඉන්නවා

ජුනි 19, 2023

ළහිරු රබර් බෝලයක් වගේ එකපාරම උඩට ආවේ දොං ජිං ජිං දොං තරිකිට කියන ගීතය නැවත ප්‍රතිනිර්මාණය වීමත් එක්කයි.

 

නයිවල පාරෙන් ටික දුරක් ගියහම හම්බෙන පළමු හතරමං හන්දියෙන් අපි හැරුණේ දිවුලපිටිය පාරට. පුංචි පුංචි පොද වැහි වැටිලා තෙත බරියන් වෙච්ච පාර දිගේ අපි ගොඩක් ඈතට ඇවිදන් ගියා. ළහිරු නෙළුම්දෙනියගේ ගේ කෝකද..? එහෙම ඇහුවෙ හරියටම ස්ථිර කරගන්න ඕනෙ නිසා. මේ ළහිරු නෙළුම්දෙනිය දැන් කා අතරත් ජනප්‍රියයි. කාලයක් තිස්සේ හැංගිලා හිටපු ළහිරු රබර් බෝලයක් වගේ එකපාරම උඩට ආවේ දොං ජිං ජිං දොං තරිකිට කියන ගීතය නැවත ප්‍රතිනිර්මාණය වීමත් එක්කයි. ඒත් එක්කම ළහිරු ගැන කතාකරන්න පටන් ගත්තා. එදා පුංචිම පුංචි ළහිරු දැන් ලොකු මිනිහෙක්. ඇත්තටම කිව්වොත් තාත්තා කෙනෙක්. අපි මේ යන්නේ ළහිරුගේ කැදැල්ල හොයාගෙන.

 

ඉතිං ළහිරු ගොඩ කාලෙකට පස්සේ අායෙත් ඔයා මාධ්‍යත් එක්ක සමීප සම්බන්ධයක් පවත්වාගෙන යනවා. කොහොමද ඒක දැනෙන්නේ..?

 

ඔව්. ඇත්තටම රබර් බෝලයක් වගේ කාලයක් තිස්සේ යටගිය මගේ ජීවිතය කාලයාගේ ඇවෑමෙන් නැවත අතිශයින්ම ජනප්‍රියත්වයට පත්වෙච්ච එක ගැන මම ගොඩක් සන්තෝස වෙනවා.  ඒ කාලේ අජන්තා රණසිංහ මහත්මයා තමයි මේ ගීතය ලිව්වේ. ඒ සිංදුව ඒ කාලෙත් ජනප්‍රිය වුණා. ඒ කාලේ මේ ගීතයට හොඳ ඉල්ලුමකුත් තිබුණා. නමුත් යම් යම් හේතු නිසා ඒ ගීතය යටපත් වෙලා තිබුණේ. මෙන්න මෙහෙම තියෙද්දි තමයි කෙනෙක් ටික්ටොක් එකකට මේ ගීතය නැවත ප්‍රතිනිර්මාණය කරලා දාන්නේ. ඒකත් එක්ක එක රැයකින් මේ ගීතය මුළු ලංකාව වගේම මුළු ලෝකය පුරාම ජනප්‍රිය වුණා. ඇත්තටම සමාජ මාධ්‍ය ජාලාවලට කොච්චර දේවල් කරන්න පුළුවන්ද කියලා මට අදටත් අදහා ගන්න බැහැ.  මොකද ලෝකෙ පුරාම මිනිස්සු මේ ගීතය ගැන ආයෙමත් හොයන්න පටන් අරන්. මේ ගීතය විවිධ හඬින්, විවිධ තනුවලින් ලෝකය පුරා ප්‍රචලිත වුණා. ලංකාවේ මේ ගීතය මේ අවුරුද්දේ ඇහුණේ නැති ගමක් නගරයක් නැති තරම්. එච්චරටම මගේ ගීතය ජනප්‍රිය වෙච්ච එක ගැන මට තියෙන්නේ පුදුමාකාර සතුටක්. ඒත් එක්කම එදා ඒ ගීතය නිර්මාණය කරන්න උර දුන්නු හැමෝටම මම මේ වෙලාවේ ස්තූතිය ප්‍රකාශ කරනවා.

 

එතකොට ළහිරු ඇයි කාලයත් එක්ක ඔබ සංගීතයෙන් ඉවත්වෙන්නේ..?

ඇත්තටම ඒ කාලේ මට සංගීතය ගැන ලොකු ඇල්මක් තිබුණා. කුඩා කාලයේ ඉඳන්ම සංගීතයත් එක්ක බද්ධ වෙලා තිබ්බ මගේ ජීවිතය කාලෙන් කාලෙට විවිධ ඉලක්කවලට යන්න ඕනෙ කියලා. ඉගෙනුමත් එක්ක සංගීතයෙන් තරමක් ඈත් වුණා. ඒත් සංගීතය ගැන තිබුණු ඇල්ම මගේ හිතෙන් කවදාවත් නැතිවුණේ නැහැ. ඒක හැමදාම හිතේ තිබුණා. ඒක නිසාම මගේ ජීවිතේ යම් යම් තැන්වලදී ගායන හැකියාව මම පෙන්නුවා.

පාසල් කාලයේදී සංගීත කටයුතුවලට සම්බන්ධ වුණා. පාසල් අධ්‍යාපන කටයුතුවලින් පස්සෙ 2008 අවුරුද්දේදී මම ගුවන් හමුදාවට බැඳුණා. ගුවන් හමුදා රොක් සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදකයෙක් විදිහට තමයි සේවය කළේ. පසුව අවුරුදු පහකින් නීත්‍යනුකූලව ඉවත්වුණා. දැන් මගේම ව්‍යාපාරයක් කරගෙන යනවා. මම කවදාවත් හිතුවේ නෑ නැවත මේ විදිහට සංගීත ක්ෂේත්‍රයට එන්න පුළුවන් වෙයි කියලා. මොකද අවුරුදු 25කට විතර පස්සේ තමයි මේ ගීතය නැවතත් කරළියට එන්නේ. කෙනෙක්ට එහෙම වෙන්න නම් ලොකු වාසනාවක් තියෙන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. වැළලිලා ගියපු ගීතයක් නැවතත් කරළියට ඇවිල්ලා අද වෙද්දි ළහිරු නෙළුම්දෙනිය කියන ගායකයා ලංකාවේ ජනප්‍රියම ගායකයෙක් බවට පත්වෙලා තියෙනවා.

 

එතකොට ළහිරු මේ ජනප්‍රියත්වයත් එක්කද නැවත ගීතයක් කරන්න හිතන්නේ..

 

ජනප්‍රියත්වයට වඩා මම හිතනවා මිනිස්සු මාව පිළිගන්නවා කියලා. ඒත් එක්කම ළහිරු නෙළුම්දෙනිය කියන ගායකයා තාමත් ඉන්නවා කියලා මිනිස්සු විශ්වාස කරනවා. අන්න ඒක නිසා තමයි මට හිතුණේ ආයෙත් සංගීතය පැත්තය යොමු වෙන්න ඕනෙ කියලා.

 

 

ඉතිං සංගීතය පැත්ත යොමු වෙන්න දැන් හොඳම කාලය ඇවිල්ලා කියලද ඔබ හිතන්නේ..?

 

ඔව්. ඇත්තටම ලැබුණු ජනප්‍රියත්වයත් එක්ක මේක තමයි හොඳම කාලේ. ඒ නිසයි ගීත දෙකක් මම මේ උණුසුමේම කළේ. මේ ගීතය ජනප්‍රියත්වයත් එක්ක තවත් ගීත කරන්න මට උනන්දුව ආසාව සහ එකට අවශ්‍ය වටපිටාව සැකසුණා. ' තවත් ඔබ ඈතට ගියා' මේ ගීතයේ පද රචනය ජගත් ජේ. එදිරිසිංහ. ඔහු ඔස්ට්‍රේලියාවේ පදිංචිව ඉන්නේ. සංගීතය සංගීත් වික්‍රමසිංහ විසින්. 'හාද' කියන ගීතයේ තනු නිර්මාණය කළේ ප්‍රියන්ත නාවලගේ. පද රචනය ධම්ම ශ්‍රී මදුමාල් කියලා වෛද්‍යවරයෙක් කළේ.

 

දොන් ජිං ජිං ගීතය කරන විට ඔබට වයස අවුරුදු දහයයි. ඒ මතකය සිහිපත් කළොත්...

 

1997 වසරේදී තමයි මේ ගීතය කළේ. ගීතය පටිගත කළේ නුගේගොඩ නීරෝ ශබ්දාගාරයේ. ආචාර්ය අජන්තා රණසිංහ තමයි මේ ගීතය රචනා කළේ. සංගීතය නිර්මාණය කළේ නිමල් ජයකොඩි. මම එවකට ළහිරු ගී කැසට් නමින් කැසට් පටයක් කළා. මෙය එහි ඇතුළත් එක් ගීතයක්. නිමල් ජයකොඩි සර් තමයි මගේ ගුරුවරයා වුණේ. ඒ කාලේ මේ ගීතය පාසල් වාර්ෂික ප්‍රසංගවලදී පවා ගායනා කළා. ළමා ගීතයක් නිසා සෑහෙන ප්‍රතිචාරත් ලැබුණා. ළමා ගීතයක් වුණත් ඒ තරමක් වේග රිද්ම ගීතයට සමාන නිසා  අවුරුදු 25කට පසු නැවත ජනප්‍රිය වෙන්න ඒකත් හේතුවක් වෙන්න ඇති.

 

ළහිරු ගී කැසට් පටය කරන්නේම ඔබේ තාත්තගෙ උනන්දුව නිසයි...

 

කුඩා කාලයේදී මට හින්දි සින්දු කියන්න හැකියාවක් තිබුණා. ඒ කාලේ හින්දි සින්දුවලට කවුරුත් ආදරය කළා. ඒ නිසාම මාත් හින්දි ගීත කියන්න අහන්න හරි ආසයි. ඒ ගීතවල හරිම තාලයට මට ගායනා කරන්න පුළුවන්. තාත්තා කාලයක් ඩුබායි රටේ හිටියා. ඒ නිසා තාත්තට ටිකක් හින්දි පුළුවන්. තාත්තා ඩබ්ලිව්. පී. සුගතදාස. තාත්තටත් තේරෙන්න ඇති මට ගායන හැකියාවක් තියෙනවා කියලා. තාත්තා මූලිකත්වය අරගෙන තමයි මාව ගායනයට යොමු කළේ. ළහිරු ගී කැසට් පටිය තාත්තගේ වියදමෙන් කළේ. ඒ කැසට් පටයේ ගීත 10ක් ඇතුළත්. මේ කැසට් පටයෙන් පස්සේ ළමා ගායකයෙක් විදිහට ප්‍රසංගවලට සහභාගී වෙන්න මට අවස්ථාව ලැබුණා.

 

ඉතිං ළහිරු කොහොමද පවුල් ජීවිතය..?

 

මම විවාහකයි. බිරිය දිනුෂිකා වික්‍රමසිංහ. ඇය බැංකු නිලධාරිනියක් විදිහට සේවය කළේ. දරුවා ලැබුණට පස්සේ රැකියාවෙන් ඉවත් වුණා. ආදරණීය බිරියක්. සෙනෙහෙබර මවක්. ඇය නිතරම කියනවා තව තවත් නිර්මාණ කරන්න කියලා. ඇය තමයි මගේ එකම හයිය. පුතා ආරාද් නෙළුම්දෙනිය. පුතාට තාම අවුරුදු තුනහමාරයි.

 

කොහොමද පුතා.. ?

 

ඇත්තටම පුතත් එක්ක ගෙවන ජීවිතය ගැන කියලා නිම කරන්න බැහැ. තාත්තා කෙනකුට පුතෙක් කියන්නේ ලොකු වස්තුවක්. මම හැමවිටම උත්සාහ කරන්නේ පුතාව හරි පාරේ යවන්න. ඒ නිසාම සංගීතය පැත්තටත් පුතාව යවන්න මට අදහසක් තියෙනවා. හැබැයි එයා සංගීතය පැත්තට කවදාහරි යයි කියලා බලාපොරොත්තුවකුත් තියෙනවා. මොකද එයා මගේ ගීතය තාලයට කියන බවක් පේනවා. ඉතිං මම හිතනවා පුතා කවදහරි සංගීතය පැත්තට යොමු වෙයි කියලා. එදාට මම පුංචි කාලේ මගේ කටහඬින් කිව්ව ගීතය මට පුතාගේ හඬින් අහන්න පුළුවන් වෙයි.

 

මේ ආව දුර ගමනට සහය වූ අය ගැනත් මතක් කරමු.

 

මේ තැනට මාව අරන් ආවේ තාත්තා. ඒ ගමනට අම්මා, අයියා සහ මගේ බිරිය උදව්වක් වුණා. චතුරංග කත්‍රිආරච්චි සහ රශ්මික නවෝද් මල්ලිලා දෙන්නත් මතක් කරන්න ඕනේ. විශේෂයෙන්ම මතක් කළ යුතු කෙනෙක් ඉන්නවා. නිරන්තරයෙන්ම මා දිරිමත් කරන ඔහු පුවත්පත් කලාවේදී ගාමිණි සමරසිංහ. ඔහුගෙන් ලැබෙන සහය අපමණයි. මගේ මිතුරා නීතිඥ අසිත රණසිංහවත් මතක් කරන්න ඕනේ.

ඡායාරූප - ශාන් රූපස්සර