"මාව ලස්සනටම දැක්කේ පුරම්භිකාගෙන්" - උදාරි වර්ණකුලසූරිය

ජූලි 3, 2023

තම අධිරාජ්‍යයට විරුද්ධව කැරලි ගසන එම අධිරාජ්‍යාගේ ම කතා පුවත රැගත් අපූර්වතම සිනමාපටයක් නැරඹීමේ අවස්ථාව මේ දිනවල සිංහල සිනමා ලෝලීන්ට උදා වී තිබේ.

සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සයිමන් නවගත්තේගම සූරීන් විසින් විරචිත ,'ක්ෂීර සාගරය කැලඹිණ' නවකතාව අනුසාරයෙන් අධ්‍යක්ෂණය කළ මෙහි, ප්‍රධාන චරිතයක් සහ උප ප්‍රධාන චරිතයක් රඟන දෙපළකගේ රුවින් මෙවර තරුණී කවරය සැරසේ.

ඇය උදාරි වර්ණකුලසූරියයි. 'ක්ෂීර සාගරය කැලඹිණ' හි 'පුරම්භිකාව' යි.

කොහොමද උදාරී, සිනමා ලෝලීන්ගේ ආකර්ෂණය නොමඳව ලැබෙන කාලයකුයි ඔබට මේ උදා වෙලා තියෙන්නේ?

ඔව් ඇත්තටම මම හරිම වාසනාවන්තයි. සිතේ ඇඳෙන, රැඳෙන චරිත සඳහා ඇරැයුම් ලැබීම පිළිබඳ සිහින් සතුටක් භුක්ති විඳිනවා. මං ගැන විශ්වාසය තබලා මාව මේ චිත්‍රපටයට තෝරා ගැනීම පිළිබඳ සුනිල් ආරියරත්න ඇදුරුතුමනි ඔබට බොහොමත්ම ස්තුතියි. ජැක්සන් ඇන්තනි මහත්මයාව මේ වෙලාවේ මං ආදරෙන් සිහිපත් කරනවා. තිර පිටපත ලියා අවසානයේ පුරම්භිකාගේ චරිතයට මාව සුදුසුයි කියා පවසන්නේ ඔහුයි.

මේ චිත්‍රපටය සඳහා මට ගුණදොස් දෙකම ලැබෙමින් පවතිනවා. වැඩිපුරම ලැබෙන්නේ ගුණ. දොස් නොලැබෙනවාමත් නොවෙයි.මම දායක වුණු අනෙක් නිර්මාණවලට වඩා මගේ සුන්දරත්වය වඩාත් ඉස්මතුකර පෙන්වන්නට මේ නිර්මාණය සමත් වී තිබෙනවා. එහි ගෞරවය යා යුතු වන්නේ චන්න දේශප්‍රිය මහතාටයි.

පුරම්භිකා ප්‍රේක්ෂක මතකයේ රැඳී තිබේවි. මේ චරිතයේ රඟපාලා ඔප්නංවන්න ලොකු දෙයක් නොතිබෙන්න පුළුවන්. එහෙත් පුරම්භිකාගේ සුන්දරත්වය හැමදාමත් මතකයේ තිබේවි.

මේ දිනවල ඔබව තවත් සිනමාපට කිහිපයකින්මත් දැකගන්න පුළුවන්

මම කොවිඩ් කාලවකවානුවේ චිත්‍රපට 8 ක වැඩ නිම කළා. 'දෙවෙනි යුද්ධය', 'ක්ෂීර සාගරය කැලඹිණ', ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ 'මිදුණු විශ්වය' යන චිත්‍රපට දැනට ප්‍රේක්ෂකයන් හමුවට ඇවිත් තිබෙනවා. මේ වසර අගදී සංජීව පුෂ්පකුමාරගේ ' ආසු' චිත්‍රපටය තිරගත වීමට නියමිතයි. කරු ජයසූරිය මහත්මයාගේ පිළිකා ෙරා්ගෙෙය න් මියගිය දියණියගේ කතාවයි ඒ සඳහා පාදක වෙන්නේ. සැබෑ කතාවක්, සංවේදී චිත්‍රපටයක් සේ ම ප්‍රේක්ෂක මතකයේ රැඳෙන චිත්‍රපටයක් වේවි. ඉදිරියේදී තවත් චිත්‍රපට හතරක් තිරගත වේවි.

විදෙස් රටවල සිටින ලාංකේය සිනමා ලෝලීනුත් කැමැති ඇති ඔබේ රංගනයන් ඒ ඒ රටවලදී නරඹන්න. නැද්ද ඒ සඳහා අවස්ථාවක්

මෑතකදී මට එවැනි දුර්ලභ අවස්ථාවක් ලැබුණා. මම අම්මව බලන්න ගියා ඇගේ උපන් දිනයට අමෙරිකාවට. එහිදී මිදුණු විශ්වය චිත්‍රපටය එළි දක්වන්න සූදානම් කොට තිබුණා. මටත් පුළුවන් වුණා ප්‍රේක්ෂකයන්ට එහිදී සජීවීව ගොස් කතා කරන්න. ලංකාවේ ප්‍රේක්ෂකයන්ට ඒ අවස්ථාව තිබුණට විදෙස් රටවල රසිකයන්ට නළු නිළියන් සජීවීව දැක ගැනීමේ අවස්ථාව ලැබෙන්නේ කලාතුරකින්.

 

 

'හිරිමලා' දකිද්දී බඩ අල්ලන් හිනා වුණා. - රවීන් කනිෂ්ක

 

'ක්ෂීර සාගරය කැලඹිණ' චිත්‍රපටයේ උප ප්‍රධාන චරිතයක් සඳහා ආරාධනාවක් ලැබෙන්නේ තාරුණ්‍යයේ පසුවන රසික රසිකාවන්ගෙන් නොමඳ ප්‍රතිචාර ලැබෙන තරුණයෙකුට. හිරිමලාගේ චරිතයට පණ පොවන ඔහු රවීන් කනිෂ්ක. මේ ඔහුගේ පළමු සිනමා රංගනයයි.

ඔබේ පළමු සිනමා ආගමනය සිදු වන්නේ දැවැන්තයින් කිහිපදෙනෙකු සමඟින්. ඔබට හිරිමලා දැනෙන්නේ කොහොමද?

දර්ශන තලයට යනකම්ම හිරිමලා ගැන කිසිම වැටහීමක් තිබුණේ නැහැ. ඒක තමයි ඇත්ත. කතාව දෙබස් ටික හොඳින් අවධාරණය කරගත්තා. මම සාමාන්‍යයෙන් වැඩ කරන වෙලාවට ආවේශයෙන් වගේ ඇවිත් වැඩ කරන්න තමයි පුරුදු වෙලා තියෙන්නේ. දර්ශන තලයේදී හිරිමලා පිළිබඳ හොඳම හැඩතල, ලක්ෂණ ආදී දේවල් ජැක්සන් ඇන්තනි මහත්මයා කියා දුන්නා. හොඳම මඟපෙන්වීමක් කළා. ඊට මගෙ හැඩතල ටිකකුත් එකතු කරලා තමයි 'ක්ෂීර සාගරය කැලඹිණ' හි හිරිමලා ප්‍රේක්ෂකයන් අතරට ආවේ.

මේ චිත්‍රපටය රංගන අභ්‍යාසයක් විදිහටයි මට දැනුෙණ්. මම කවදාවත් කරලා තිබුණු චරිතයක හැඩයක් නෙවෙයි එහි තිබුණේ.

 

චිත්‍රපටය නරඹද්දී තෘප්තිමත් වෙන්න හැකි වුණාද ?

චිත්‍රපටය නරඹද්දී මටම හිනා ගියා. ප්‍රහසන වැනි චරිත මම රඟපාලම තිබුණේ නෑ. විකල් හිරිමලා නිසා එහි ප්‍රහසන ගතිය වැඩියි. අහිංසක තරුණයෙක්ගේ, පෙම්වතෙක්ගේ චරිත ඇරුණුකොට වෙනත් චරිත කරලම තිබුණෙ නැහැ. මේක වෙනම ම අත්දැකීමක්. නරඹද්දී හිතුණේ තව තවත් දේවල් කරන්න තිබුණනේ කියලා.

 

හිරිමලා වෙනුවෙන් රංගන කාර්යයේ නියැළෙන්න අවස්ථාව ලැබෙන්නේ කොහොමද?

සුනිල් සර් මට පළමුවෙන්ම ආරාධනා කරන්නේ 'කදිර දිව්‍යරාජ' චිත්‍රපටයේ ගීතයකට. ඒ කර්තව්‍ය අවසන් වෙලා නිකමට වගේ සර් ගෙන් ඇහැවුවා "අලුත් වැඩක් නැද්ද මට සම්බන්ධ වෙන්න පුළුවන්" කියලා.

එදා මම කියූ දේ මතකයේ තියාගෙන චිත්‍රපටය ගැන මූලික කතාබහේදී මං ගැනත් කතා වෙලා. ඒ විදිහට තමයි අවස්ථාව ලැබෙන්නේ.

රන්මිණිතැන්න, යාල කැලේ, දඹුල්ල අවට වගේ තැන්වල රූගත කිරීම් සිදු කළේ. හරිම දුෂ්කර තැන්වල ඝන කැලෑවල, කට්ට අව්වේ කළ රූගත කිරීම්වලදී හොඳම අත්දැකීම් ලැබුණා. ලැබූ අත්දැකීම් සමඟ සියලුම දුෂ්කරතාවන් කොහේ ගියාද දන්නේ නෑ.

 

ඉදිරියේදී සිනමා රංගනය වෙනුවෙන් ඔබෙන් ලැබෙන දායකත්වය කෙබඳු එකක් වේවිද?

චිත්‍රපට කිහිපයක් සඳහා ඇරැයුම් ලැබී තිබෙනවා. මේ දිනවල එක් චිත්‍රපටයක රූගත කිරීම් සිදු වෙනවා.

 

සිනමා රංගනය වෙනුවෙන් අධ්‍යක්ෂවරුන්, තිරපිටපත්, චරිත සඳහා තේරීම් කරන්නට බලාපොරොත්තු වෙනවද?

එහෙම නැහැ මට චරිතය දැනෙනවා නම්, ප්‍රේක්ෂකයන් අතරට යා හැකි නම්, රස විඳින්නට හැකියි කියලා හිතෙනවා නම් වෙනත් පැතිකඩක චරිතයක් නම් එවැනි චරිත සඳහා මම දායක වේවි.

 

රවීන් ඔයාට ලොකු ෆෑන් ක්ලබ් එකක් තියෙනවා නේද?

ඒ අය තමයි මටත් වඩා හිරිමලා වෙනුවෙන් පෙනී ඉන්නේ. ෆිල්ම් එක ප්‍රොමෝට් කරන්න පුළුවන් හැම තැනකම ඒ අයත් ඉන්නවා. රංගන ජීවිතේ මම හම්බකරපු වටිනාම දේ තමයි මගේ බැටෑලියන් එක. එහි ඉන්න නංගිලා මල්ලිලා ටික, අයියලා අක්කලා ටික තමයි හැමදාමත් මාව දිරි ගන්වන්නේ.

 

ඡායාරූප - ගයාන් පුෂ්පික