සැමියා සහ දියණියගෙන් පීඩාවට පත්වූ 'රුක්ෂානි' මට හොඳටම දැනුණා

ජූලි 24, 2023

 

පුංචි තිරයේ මෙන්ම සිනමා අඹරේ ද බැබළෙන ප්‍රතිභාපූර්ණ තරු ගොන්නට අයත් තාරකාවියක් මේ දිනවල අපට 'විසංගමනය' සිනමා සිතුවම හරහා මුණගැසේ. ඇය සේමිණි ඉද්දමල්ගොඩ යි. 'විසංගමනය' ජාත්‍යන්තර සිනමා උලෙළවල් රැසකදී සම්මානයට හා ඇගැයුමට බඳුන් වූවකි.

සේමිණි ඔයාට 'විසංගමනය' හි රුක්ෂානි දැනුණේ කොහොමද?

සැමියාගෙන් සහ දරුවාගෙන් පීඩාවට පත් වූ කාන්තාවක් රුක්ෂානි කියන්නේ. මිල මුදල් පසුපසම හඹා යන්නට ගොසින් දූ දරු, මාපිය, සැමියා බිරිය අතර සම්බන්ධතා ටිකෙන් ටික ඈත් වන අයුරු, එය ඛේදවාචකයක් දක්වාම දිවෙන අන්දමයි මේ චිත්‍රපටයේ කතා තේමාව වන්නේ. ඒ කතාන්දරය තුළ තැලෙන පොඩිවෙන අම්මා රුක්ෂානියි. හරිම සංවේදී චරිතයක්. සංවේදී දර්ශන කිහිපයක්ම මෙහි අඩංගුයි. ඒ ඔස්සේ මට රුක්ෂානිව දැනුණා කිව්වොත් වඩාත් නිවැරදියි.

'විසංගමනය' රන්ජන් ප්‍රසන්නගේ කුලුඳුල් සිනමා නිර්මාණය. ප්‍රවීණ අධ්‍යක්ෂවරු මෙන්ම නවක අධ්‍යක්ෂවරු සමඟින් කටයුතු කොට ඔබ ලබා ඇති රංගන පරාසය ඉතාම පුළුල් එකක්. රංජන්ගේ අධ්‍යක්ෂණ කාර්ය ඔබව මෙහෙයවූයේ කවරාකාරයෙන්ද ?

මේ රංජන්ගේ පළමු සිනමා අධ්‍යක්ෂණය වූවාට ඔහු ටෙලිනාට්‍ය කිහිපයකම කිහිපයක්ම අධ්‍යක්ෂණය කළ අයෙක්. සිනමාපට බොහොමයක සහාය අධ්‍යක්ෂවරයෙක්. ඒ ඔස්සේ ඔහු ලද පන්නරය ඉතා ඉහළයි. අහසින් වැටුණු අධ්‍යක්ෂවරයෙක් නොවන නිසාම 'විසංගමනය' අතිශය සාර්ථකව නිම කරන්නට ඔහුට හැකි වුණා.

රුක්ෂානිගේ චරිතය හරි අපූරුවට ගලාගෙන යන්නේ ඒ තිරපිටපතේ ඇති සාර්ථකත්වය නිසාද?

උපාලි ගම්ලත් මේ පිටපත හරිම ලස්සනට ලියලා තිබුණා. මෙහි තේමා සංකල්පය නිෂ්පාදකතුමා වන උපේන්ද්‍ර මහේෂ් විජේරත්නගේමයි. සමාජයට විශාල පණිවිඩයක් දෙන චිත්‍රපටයක් ලෙස මෙහි තිර පිටපත ලියැවී තිබෙනවා.

ඔබත් සමග අශාන් සහ සමනලීගේ රංගනයෙනුත් ඉතාම ප්‍රබල ලෙස විහිදෙනවා නේද?

කිසියම් රංගනයක රංගනයක නියැළෙද්දී අපිත් සමඟ රඟපාන අය ප්‍රබල වුණාම තමයි අපේ රංගනයත් වැඩි පරාසයක් කරා දිව යන්නේ. එක් අයෙක් දක්ෂ වුණට මදි අනෙකාගේ සාර්ථකත්වයත් අත්‍යවශ්‍යයි. මේ චිත්‍රපටයේ අශාන් ඩයස්, සමනලී ෆොන්සේකා ....ඇතුළු පිරිස එකිනෙකා පරයා යන රංගන කෞෂල්‍යයෙන් යුතු වුවන්. සාර්ථක චරිතයක් රඟ දක්වන්නට එයත් එක් හේතුවක්.

මේ ඔබේ කී වැනි චිත්‍රපටය ද?

10 හෝ 11 වැනි නිර්මාණය.මම චිත්‍රපට සඳහා එතරම්ම සායක වී නැහැ. ප්‍රියන්ත කොළඹගේ මහතාගේ 'මන්දාරම්' චිත්‍රපටය ළඟදීම එළිදැක්වේවී. ඔහුගේම 'සූරිය සුළඟ' චිත්‍රපටයේ වැඩ කටයුතු අගෝස්තු මාසයේදී ඇරැඹීමට නියමිතයි. 'සෝලෝ ටවුන්' නැමැති තරුණ පිරිසක් කළ චිත්‍රපටයකටත් දායක වුණා. 'අමුතු මිනිසා', 'ජෝර්ජියා', 'තත්පරයක් දෙන්න' වගේ විශිෂ්ට ගණයේ ටෙලිනාට්‍ය කීපයකටත් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා.

ඔබ ජීවිතය විඳින කෙනෙක් කියලා හිතෙනවා,

ඇත්තටම මම ජීවිතය විඳින කෙනෙක්. යහපත් සැමියෙක්, දියණියක්, යාන වාහන, ගෙවල් දොරවල් මේ හැම දෙයක් ම මට සතුටු විය හැකි මට්ටමින් ලැබිලා තියෙනවා. දැන් කුමලිටත් අවුරුදු විසිදෙකක්. ඇය උසස් අධ්‍යාපන කටයුතු කරන අතරතුරේ රැකියාවකුත් කරනවා.

හිතේ ඊර්ෂ්‍යාවක් කුහක කමක් නෑ. කා එක්කවත් පෑහෙන්න යන්නෙත් නෑ. හැමෝමත් එක්කම සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන් මනසක් තිබෙනවා.

මම ක්ෂේත්‍රයේ හැමෝමත් එක්කම සුහදයි. මේ සුහදකමට උස් මිටිකම් නැහැ.

මගේ සිනමා රසිකයන් අමතන්න මම මෙය අවස්ථාවක් කර ගන්නවා. දැන් හැදෙන දූ දරු පරපුර හැමවිටම හිතන්නේ ඔවුන් හරි කියලා අම්මල තාත්තලාට වඩා අපි තාක්ෂණය අතින් ඉහළින් ඉන්නේ. ඒ අය හිතන්නේ තාක්ෂණික උපකරණ භාවිතයෙන් ලැබෙන දැනුම තමයි ජීවිතයට වැදගත් කියලා. එහෙත් අත්දැකීම් සමඟින් මා පියවරුන් ලබන ජීවිත අත්දැකීම් ඊට වඩා ප්‍රබලයි. සියල්ල දත් කියලා සිතීමෙන්මයි ජීවිතය වරද්දා ගන්නේ. 'විසංගමනය' විශේෂයෙන්ම යෞවන වයසේ දූ දරුවන් මාපියන් සමඟ එකට නැරැඹිය යුතුම චිත්‍රපටයක්.