කෙළිමඩලක දුක් කඳුළ අනෝජා

මාර්තු 31, 2025

 

ප්‍රේමය වැනි මානුෂික අවශ්‍යතාවන් විවාහය නමැති සංස්ථාපිත පවුර හමුවේ කෙසේ නම් සිරකොට තැබිය හැකිද?

 

විවාහක පුරුෂයකු හා අවිවාහක තරුණියක අතරත්, අවිවාහක තරුණයකු හා විවාහක කාන්තාවක අතරත්, විවාහක පුරුෂයකු හා විවාහක කාන්තාවක අතරත් ඇති විය හැකි ප්‍රේම සබඳතා බොහෝ විට දෛවෝපගත ලෙසින් ඛේදයකින් කෙළවර වෙයි. එවන් ෙප්‍ර්මයක් පිළිගන්නට හෝ එබඳු පෙමක ඇතුළාන්තය තේරුම් ගන්නට හෝ එවැනි ෙප්‍ර්මයක් දෙස උපේක්ෂාෙවන් බලන්නට හෝ හැකි මිනිස් සමාජයක් මේ පොළොවේ බිහිවි නැති බැවිනි. එහෙයින් එබඳු ෙප්‍ර්මයකට මැදි වූවෝ සමාජයේ නිරන්තර පරිභවයට, සුචරිතවාදයේ බිහිසුණු අවඥාවට ගොදුරු වෙති.

 

එසේ සම්මත සමාජය විසින් හෙළාදකිමින් ඒ සමාජය විසින්ම ‘අසම්මතයන්’ බවට පත්කරනු ලැබූ ඔවුහු සමාජය විසින්ම බිලිගනු ලැබ සිටිති. සමාජය මේ අසම්මතයන්’ සම්මතයේ පූජාසන අල්තාර මත තබා සියදිවි හානි කරගනු ලැබීමට සලස්වනුයේ ස්වකීය ආත්මාරක්ෂාව සඳහාය. එහෙත් ප්‍රේමය වැනි මානුෂික අවශ්‍යතාවන් විවාහය නමැති සංස්ථාපිත පවුර හමුවේ කෙසේ නම් සිරකොට තැබිය හැකිද?

 

සුමිත්‍රා රාහුබද්ධගේ ‘කෙළිමඩල ‘ නවකතාව ඇසුරින් ඩී. බී. නිහාල්සිංහ අධ්‍යක්ෂණය කළ ‘කෙළිමඩල’ චිත්‍රපටයේ පූජිත හා රංජනී මුහුණ දුන්නේ යථෝකත ‘අසම්මතයන්’ මුහුණ දුන් ඛේදවාචකයට නොවේද?

 

එහි එන පූජිත රංජනීට ප්‍රේම කළේ අවංකවය. රදළ පෙළතකින් පැවැත ආ ඔහු ස්වකීය පෙළපතට පයින් ගසා වුවද රංජනී විවාහ කරගැනීමේ අදිටනින් පසුවූයේය. එසේ වුවද සටකපටයකු වූ පූජිතගේ පියා පූජිත හා රංජනී අතර පැවැති ප්‍රේමය කඩා ඉහිරවා දමනුයේ අති සූක්ෂම අන්දමිනි. ඔහු එසේ කරනුයේ පූජිත තුළ වුවද නි‍ෙද්‍රාපගත, ප්‍රවේණිගත රදළකම අවදිකරනු ලැබීමෙනි. ඔහු ප්‍රේමයට අවංකයකු වන්නට උත්සාහ කළද ඔහුගේ පෙළැන්තිය විසින් මෙහෙයවනු ලැබූ උෂ්ණය අළුයට සැඟවී තිබුණේය. පූජිතගේ පියා කළේ ඒ ගිනිපුපුරු වසා තිබූ අළු ටික පිඹහැරීම පමණකි. ගිනිපුපුර මතුපිටින් බදා සිටි ඒ අළු විසිරයද්දී පූජිතගේ රදළ උෂ්ණය හා මතුවූයේය. ඒ සමඟම දේශපාලනඥයකු ලෙස බලයට පැමිණි ඔහුට අවංක ප්‍රේමය දැනුණේ විහිලුවක් ලෙසය. අනතුරුව ඔහු රංජනී බැහැර කරනුයේ නොගැළපෙන ඇඳුමක් මාරුකරන්නාක් මෙනි. අනතුරුව ඔහු සිය පියා විවර කර දුන් දේශපාලන මාවත දිගේ අසරකුමෙන් දිවගියේය.

 

එහෙත් මඳ දුරක් ගිය පසු පූජිතට හති වැටුණේය.

පූජිතට යළිත් භාව පූර්ණ මිනිසකු ලෙස සිතන්නට ඉඩක් ලැබෙන්නේ සාම්ප්‍රදායික විවාහයකින් දරුවන් තිදෙනකුත් ලැබ හිසේ මඳින් මඳ නර කෙස් මතු වන්නට පටන් ගත් තැනදීය. යළිත් රංජනී දැකීමේ නොතිත් ආසාවෙන් සිටි ඔහුට ඇය මුණ ගැසෙන්නේ නොසිතූ විරූ ලෙසින්ය. දෙදෙනා හමුවීමෙන් පසු මිය ගිය ප්‍රේමය දලු ලා වැඩෙන්නට වූයේය. යළිත් එකිනෙකාගෙන් වෙන්විය නොහැකි තරමට ප්‍රේමය උත්සන්න වෙද්දී සම්මතය කඩා බිඳ දමන්නට ඔවුහු පෙලඹෙති. තම විවාහක බිරිය සිටියදී රංජනීට වෙනම නිවෙසක් මිලට ගෙන දී ඇය සමඟ දිගටම සබඳකම පවත්වාගෙන යන්නට පූජිත කල්පනා කළේය. ප්‍රශ්න පැන නැඟුණේ එතැන් සිටය. අනතුරුව පූජිතට දාව රංජනීගේ කුස තුළ පිළිපන් දරු ගැබ නැති කරන්නට පූජිත දරන තැත අසාර්ථක වන්නේ රංජනී තුළ මාතෘත්වය ඉස්මතුවීමත් සමඟය. දරුවා බිහි කිරීමත් සමඟ ප්‍රශ්න තව තවත් උග්‍රවිය. පූජිතගේ බිරිය ඇතුළු බාහිර ලෝකයට ඔහුගේ ‘අනියම්’ පෙම ඉව වැටේ. ඒ සමඟම පූජිත කරා එන ලෝකාපවාදය හමුවේ ප්‍රේමයත් විවාහයත් අතර ද්වන්ද අරගලයකට මැදිවන හෙතෙම කෙමෙන් කුහකයකු ලෙස හැසිරෙයි. ඒ අනුව ඔහු රංජනී හා සබඳකම පවත්වන්නේද ඇපයෙන් ගැලවෙන්නට මෙනි. රංජනී හා පූජිත අතර ගැටුම් හටගත්තේ එතැන් සිටය.

 

පූජිත රංජනී තම ජීවිතයට ළං කරගන්නේ ඇය කෙරෙහි බැඳුණු පෙමින් වුවද ඈ සමඟ එක වහලක් යට විසීමේ වරම ඔහුට නැත. තමාට දාව රංජනීගේ කුස තුළින් උපන් දරුවාට පියකු ගේ නිති සෙනෙහස ලබාදීමේ අවස්ථාවද පූජිතට නැත. එහෙයින් දරුවා සහ රංජනීගේ සුරක්ෂිතතාව පිළිබද ප්‍රශ්නය මතු වෙයි. විසඳුම් නැති මෙබඳු ප්‍රශ්නයකදී අසරණ වන්නේද පරාජය වන්නේද ස්ත්‍රී ඇයයි. ‘කෙළිමඩල’ චිත්‍රපටයේ රංජනී පූජිතගේ බිරිය අතින් රුදුරු මරණයකට ගොදුරු වීම අපට හඬගා කියන්නේ ස්ත්‍රිය මුහුණ දෙන එම ෙඛ්දයයි.

 

‘කෙළිමඩල ‘ චිත්‍රපටයේ රංජනීගෙ භූමිකාව නිරූපණය කරන්නේ ෙජ්‍යෂ්ඨ රූපණවේදීනී අනෝජා වීරසිංහයි. එහිදී රංජනී ෙප්‍ර්මය හමුවේ විකසිත වූ ආකාරය විචිත්‍රවත් ලෙස නිරූපණය කළ ඇය දරුවකු පිළිසිඳ ගත් මොහොතේ සිට එම දරුවා බිහි කරන තෙක් ඇය වෙත එල්ලවූ සමාජ අපවාදයන් දරා ගනිමින් ඊට මුහුණ දුන් ආකාරයද නිරූපණය කරන්නේ ෙප්‍ර්ක්ෂකයා ඇදබැඳ තබා ගනිමිනි. රංගන ශිල්පිනියක ලෙස එතෙක් ඇය ලබා ගත් අත්දැකීම් සම්භාරය මෙන්ම ස්ත්‍රියක ලෙස ඇය මුහුණ දුන් අත්දැකීම්ද මේ රංගනය සාර්ථක කර ගැනීමෙහිලා ඉවහල් වූ ආකාරය පෙනේ.