අනිත්‍ය වූ සසරේ ස්වභාවය තේරුම් ගෙන ප්‍රතිපත්ති ගරුක වන්න

මැයි 16, 2022

 

බෞද්ධයන් වන අපි උදේ සවස මල් පහන් පුදා අපේ ශාන්තිනායක බුදුපියාණන් වහන්සේ නමදින්නෙමු. එසේම පුන් පොහොය දිනයේ දී පෙහෙවස් සමාදන් වන්නෙමු. එහෙත් අපට වෙසක් පොහොය දිනය අන් කවරදාටත් වඩා විශේෂ වෙයි. ඒ උන්වහන්සේගේ ජීවිතයේ වැදගත්ම සිදුවීම් තුනක් වන සිදුහත් කුමාරෝප්පත්තිය, බුදුවීම හා පිරිනිවීම යන තුන් මංගල්‍යයම සිදුවූයේ වෙසක් පොහොය දිනක බැවිනි.

 

අපි ඒ දිනය මහත් බැතියෙන් සමරන්නෙමු. වසරකට වරක් උදාවන පින්බර වෙසක් දිනයේ දි බෞද්ධ කොඩි ඔසවමින් කරන ආමිස පූජාව නිසා බැලූ බැලූ අතර පරිසරය ෂඩ් වර්ණයෙන් පිරීයයි. අඳුර වැටෙත්ම වෙහෙර විහාරවල පමණක් නොව යන එන මහා මාර්ග දෙපස පවා පහන්වලින් ඒකාලෝක වෙයි. තැන තැන වෙසක් පහන් කූඩු, තොරණ ආදිය දැකිය හැකිය. එහෙත් මේ සියලු ආමිස පූජාවන් කරන අතර අප කළ යුත්තේ උන්වහන්සේගේ ගුණවලින් අංශු මාත්‍රයක් හෝ අපේ ජීවිතයට එකතුකර ගැනීමයි. එහෙත් වර්තමානයේ මේ තත්ත්වය දැකිය හැකිද?

බුදු පියාණන්ගේ මහා කරුණාව ගැන වර්ණනා මුඛයෙන් කතා කරන අපගේ ගෙවල් තුළ සහ සමාජය තුළ සහ හදවත් තුළ එබඳු කරුණාවකට ඉඩ නැත්තේ ඇයි? උන්වහන්සේගේ පාරිශුද්ධ ගුණයක් වූ යථාවාදී තථාකාරි ගුණයෙන් අංශු මාත්‍රයක්වත් අනුගමනය කිරීමට බෞද්ධයන්ට වුවමනාවක් නැත්තේ ඇයි කියන්න ගැඹුරට සිතා බැලිය යුත්තකි.

බුදුරජාණන් වහන්සේට අප ගෞරව දක්වන්නේ සසර දුකින් බේරීමේ මග නොවරදින සේ අපට කියා දී ඇති නිසාය. භික්ෂූන්ට ද උන්වහන්සේ උපදෙස් දී වදාළේ මුල, මැද, අග හොඳට ගළපා අර්ථවත් ලෙස අකුරු ගළපා හුදෙක් පරිපුර්ණ ලෙසට දහම් දෙසන ලෙසයි. මේ සා හොඳින් කියා දී ඇති ධර්ම මාර්ගය පසෙකින් තිබිය දී එය දේශනා කළ බුදුපියාණන්ට සහ ධර්මයට වැඳ වැඳ සිටිමින් ඒවා ටිකක්වත් අනුගමනය නොකොට තමනුත් ලෝකයාටත් පීඩාවෙන් පීඩාවට පත් කරන ජිවිත රටාවක් තුළට ඇතැමුන් පිවිසීම කනගාටුදායකය.

බුදුරජාණන් වහන්සේ රාහුල පුතුට දහම් මග කියා දුන්නා විනා ඔහු පුත්‍ර ස්නේහයෙන් තුරුලු කර ගන්නට ගියේ නැත. දේවදත්තට දහම් මඟ පෙන්වා දුන්නා විනා ඔහුගෙන් පළිගන්නට ගියේ නැත. නිඝණ්ඨ නාථ පුත්තටවත් දහම් දෙසන්නට උන්වහන්සේ උත්සාහ නොකළේ කරුණාව නැති නිසා නොව එසේ කරන්නට යාමෙන් ඵලක් නොවන බව උන්වහන්සේ දත් නිසාය.

මහා කාරුණික බුදුපියාණන් වහන්සේට වඳින පුදන ගරු කරන අප තුළ එබඳු මෛත්‍රියක ඡායාවක්වත් නොඑන්නේ ඇයි? එසේ මෙත් හිත දියුණු කර ගෙන තිබේ නම් මිනිසුන් මරන්නට හෝ මරවන්නට හෝ ඊට උදව් දෙන්නට හෝ බෞද්ධ සිත් ‍ෙපලඹෙන්නේ නැත. සතුන් මරන්නේවත්, සතුන්ගේ මස්වලින් කුස පුරවා සත්ත්ව ඝාතනයට අනුබල දෙන්නේවත් නැත.

කරන දේ කියන අය සහ කියන දේ කරන අය ඇතැමුන් අතර ඇත්නම් අතලොස්සකි. මේ ගුණදහම මේ ප්‍රතපත්තිය මෙයාකාරයෙන් පිළිපැද්දොත් කියා අන් අයට උපදෙස් දෙන බොහෝ අයකු තුළ අනුන්ට පිළිපැදීමට උපදෙස් දෙන ගුණ දහම් සහ ප්‍රතිපත්ති නැති බැව් වත්මන් සමාජය දෙස බැලීමෙන් දක්නට ලැබේ. යායුත්තේ යම් තැනකටද එසේ ගිය, එසේ කළ, එසේ පැමිණි නිසා බුදුරජාණන් වහන්සේ තථාගතනම් වන සේක. එසේම යථාවාදී ගුණය ද උන්වහන්සේ සතු උත්තම ගුණයක්ම විය. එහෙත් උන්වහන්සේ අනුගමනය කරන බෞද්ධ අපි උන්වහන්සේගේ ගුණ අනුගමනය නොකොට කී දේ නොකරන, නොකරන දේම කියන පිරිසක් බවට පත්ව සිටිමු.

වෙනදා පන්සල් නොඑන විශාල පිරිසක් වෙසක් පෝයට පන්සල් එති. අවුරුද්දේ වෙන කිසිම දාක පෙහෙවස් නොවසන විශාල සංඛ්‍යාවක් වෙසක් පෝයට සිල් සමාදන් වෙති. වෙසක් පෝයටවත් සිල් ගන්නට බැරි නම් ඒ බෞද්ධකමින් ඇති පලේ කුමක්දැයි සමහරු සිතති.

දරුවන්ගේ සහ මුනුබුරු මිනිබිරියන්ගේ කටයුතු නිසා, රැකියාවක හෝ ව්‍යාපාරික කටයුතු යෙදෙන හිමියාගේ කටයුතු නිසා, ගොවිතැන් හෝ වෙනත් ජීවනෝපාය කටයුතු හේතුවෙන් හෝ ලෙස දුක් නිසා ආගමික කටයුතු අතපසු වුණත් බුදුවරයකු වෙනුවෙන් සිල් සමාදන්ව සිටීමට වෙසක් පෝය නිමිත්ත කර ගැනීම ඉතා ප්‍රශස්ත ක්‍රියාවකි. එහෙත් වෙසක් දින එක ගුණ දහමක් හෝ හඳුනාගෙන ඊළඟ පෝය තෙක් එය රැකීමට මේ අය අදිටන් කර ගැනීමම තමාගේ යහපතට හේතුවකි.

මුදල් රැස් කිරීමේ කාර්යයට පමණක් අති විශාල වැදගත්කමක් දෙන වර්තමාන සමාජ රටාව තුළ මිනිස් ගුණ දහම් පස්සට තල්ලු වී ඇත. සරල ජීවිත ක්‍රමය වර්ධනය වෙමින් පවතී. ඇතැම් වැඩිහිටියෝ මේ ජීවිත ක්‍රමය හඹා යමින් අදැහැමි මඟට පිවිස සිටිති. සාටෝප ජීවිතයේ අංගයක්ව පවතින සම්භාෂණ සහ මත්පැන් පවුල් ජීවිත අවුල් කරමින් පෙරට අවුත් ඇත.

වෙසක් පෝ දින අපි බුද්ධ පූජාවක් වශයෙන් බෞද්ධ කොඩියක් ඔසවමු. පහන් දල්වමු. මල් සහ සුවඳ දුම් ද ගිලන්පස, පැන් සහ ආහාර ද පූජා කරමු. සිල් රකිමු. බණ අසමු. භාවනා කරමු. වෙසක් කූඩු සාදා පත්තු කරමු. එලෙසින්ම බුදු ගුණ එකක් හෝ අපේ දිවියට එකතු කරගෙන ජීවිතය ගොඩනඟා ගැනීමට අධිෂ්ඨාන කර ගනිමු. වෙසක් පෝය බාහිර වශයෙන් මෙන්ම අභ්‍යන්තර වශයෙන් ද අර්ථවත් දවසක් බවට පත්කර ගත හැක්කේ ඒ උතුම් දිනය ආමිස හා ප්‍රතිපත්ති පූජා හොඳින් හඳුනාගෙන ඒවාවල නිරතවීමෙනි.

සඳුන් අරටුව පොඩි කරන තරමට සුවඳවත්ය. ගැටලු ප්‍රශ්න අභියෝග මතු වූ තරමට සුවඳවත් වු දීප්තිමත් වූ බුද්ධ චරිතය ජිවිතේ ගැහැටවලින් කලකිරී පලා යන්න සිතන අපට මහත් වූ ශක්තියකි, ආදර්ශයකි.

අද වන විට ශ්‍රී ලාංකික අප ආර්ථික මට්ටමෙන් බොහොම අඩාල තත්ත්වයකට මුහුණ පා සිටින්නේ ඒ හේතුවෙන්ම කායික, මානසික කඩා වැටීම් ද සිදු වී තිබේ. මේ මොන දේ වුවත් බොහොම ඉවසීමෙන් සියලු පාරිසරික තත්ත්වයන්, පවතින ජීවන රටාව තේරුම් ගෙන කටයුතු කිරීමට උත්සුක වන්න.

ඔබ අසන දකින දේට වඩා මේ සමාජය විෂමයි. එහෙයින් මේ උදා වූ වෙසඟේ සිටවත් බුද්ධ දේශනයට සවන් දී බුදු දහම ඇසුරු කරමින් තම ජීවිත යහමඟට යොමු කරවා ගන්න.

වෙසක් දින වියළුණ බට කෝටුවලින් අටපට්ටමක් සාදා සව් කොළ අලවා ඒ මත පහනක් දැල්වූයේ මේ සසර තේරුම් ගැනීමටය. පොල් තෙල් පහන සුළඟට සෙලවී කූඩුව පිච්චි අළු වී යන්නා සේ අනිත්‍ය වු සසරේ ස්වභාවය වටහා ගෙන ප්‍රතිපත්ති ගරුක සමාජයක් ගොඩනඟා ගන්න.

 

අනුශාසනාව -

පූජ්‍ය කැටවල

හේමාලෝක ස්වාමීන් වහන්සේ

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.