ගැබිනි සමයේ පළමු කාර්තුව ගතවන්නේ මෙහෙමයි

අප්‍රේල් 21, 2021

 

කිරි සිහිනය දකින්න මාපියවරුන්ගෙන් ඇතැමෙක් අනන්ත අප්‍රමාණව වෙහෙසෙද්දී හිරණ්‍යා හිතුවා ඇත්තටම එයයි සේමිතයි හරිම භාග්‍යවන්තයි කියලා.දරුඵල ලැබීම ප්‍රමාද වෙත්දී ඒ අය විඳින මානසික වේදනාවන් කොතෙක්දැයි කිව නොහැකි තරම්.

 

ආගමික වත්පිළිවෙත් කෙරෙහි ලැදියාවක් දක්වන නිසාම හිරණ්‍යාට හිතුණා පන්සල යන්න.

"සේමිත, අපි අද කැලණි පන්සල් යමු.මට හිතුණා බෝධිය පාමුලට වෙලා ටිකක් නිදහසේ ඉන්න ඕන කියලා."

" අපි හැම සෙනසුරාදාවක ම හවස්වරුව තියා ගනිමු පන්සල් යන්න. අපේ දරුපැටියාට ඒ ආධ්‍යාත්මික සුවය හරි වටිනවා."

සුදු නෙළුම් මල් මිටියක් ම අරන් බුදුන් පුදලා ඔවුන් හිතුවේ මේ මල් වගේ පිවිතුරුව සුවඳවත්ව බැබළෙන නිරෝගි දරුවෙක් අපි අතරට එන්න කියලයි.

මේ ගෙවෙන්නේ හිරණ්‍යාගේ කුසට

සති දහයක් පමණ වූ කාලය.

මුල් මාස තුන සහ අවසන් මාස තුන ගර්භණී සමයේ වැදගත් ම සහ ප්‍රවේශමෙන් ගත කළ යුතු කාලය.මුල් මාස තුන කායික අපහසුතා සමඟින් ගැබිනි මවක් ගත කරන්නේ ගතට විඩාව ගෙන දෙන කාලයක්. හිරණ්‍යා කුලුඳුලේ ගැබිනියක වූ නිසා පිටගැස්ම සඳහා වන එන්නත් දෙකක් ලබාගත යුතු වෙනවා. වසර දහයක පමණ කාලයක් ඇතුළත පිටගැස්ම සඳහා වන එන්නත විද නොමැති මවුවරුන්ට මෙම එන්නත ලබා දෙනවා. මෙය බොහෝවිට ලබා දෙන්නේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය සිටින වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන්(MOH). ගමේ සායනවලට නොගොස් නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයා චැනල් කොට හමුවන මව්වරුන් තමා ගමේ සායනයට නොයන බව පවසා පුද්ගලික අංශයෙන් එම එන්නත ලබා ගත යුතුයි. සති 12 වන විට පළමු එන්නත ලබා දෙන අතර එම එන්නත ලබා ගත් දින පටන් සති 6 - 8 අතර පිටගැස්ම සඳහා වන දෙවැනි මාත්‍රාව ලබා දෙයි. දෙවැනි වරට ගැබිනියකවද්දී පිටගැස්ම එන්නතේ තුන්වන මාත්‍රාව ලබාදේ. ඒ අනුව දෙවැනිවරට ගැබිනියක වද්දී පිටගැස්ම එන්නත ලබා දෙන්නේ එක්වරක් පමණි. ඒ සති 12 කාලයේදීයි.

ඇතැම් පළාත්වල ගැබිනියන්ට මෙම එන්නත ලබා නොදේ. ඒ පිටගැස්ම තුරන්ව ඇතැයි කෙරෙන පර්යේෂණවලට අනුවයි.

 

 

 

පළමු නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය හමුවේදීම ogtt(oral glucose tolerance test) යන පරික්ෂාව කිරීමට උපදෙස් ලැබේ. දියවැඩියා තත්ත්වය ඇත්දැයි බැලීමටයි මෙය සිදු කරන්නේ.මෙය සති 12 කාලයේදී සිදු කෙරෙන අතර දියවැඩියා රෝගී තත්ත්වයක් නොමැති නම් නැවත සති 28 - 30 කාලයේදි සිදු කළ යුතු වේ.පළමු ogtt පරීක්ෂාවේදී රුධිරයේ සීනී මට්ටම වැඩිනම් දෙවැනි වරට පරීක්ෂාවක් සිදු නොකරයි.ඒ අනුව ආහාර පාලනයකට උපදෙස් ලැබේ. අවශ්‍ය ම නම් ඖෂධ නියම වේ.

 

 

 

ෆෝලික් ඇසිඩ් පෙති ලබා ගැනීම දරුවකු පිළිබඳ සිතන්න මාස තුනක පමණ සිට ලබා ගත යුතුයි.දරුවාගේ මොළයේ වර්ධනයට මෙම පෙත්ත ලබා ගැනීම අවශ්‍යයෙන් ම කළ යුතුයි.එය දරුවා බිහි වනතුරුම ලබා ගත යුතුයි.

 

 

 

ගැබිනි මවක් ගර්භණී කාලය පුරාවට ම යකඩ සහ කැල්සියම් පෙති ලබා ගැනීම අත්‍යවශ්‍යයි.සමහර විට ෆෝලික් ඇසිඩ් යකඩ පෙත්තටම එකතු කර ඇති පෙති ලබා දෙයි.යකඩ පෙති සහ කැල්සියම් පෙති දෙක එකවිට ගන්නේ නැහැ. ඒ උරා ගැනීමක් සිදු නොවන නිසා.කැල්සියම් පෙත්ත උදේ කෑමට පසුවත් යකඩ පෙත්ත රාත්‍රී කෑමට පැයකට පෙර හෝ රාත්‍රී කෑමෙන් පැය දෙකකට පසු ලබා ගන්න පුළුවන්.

ගැබිනි මවගේ රුධිරයේ හිමොග්ලොබින් මට්ටම 11.5 ට වැඩි අගයක් ගත යුතුයි. ඊට වඩා අඩු නම් යකඩ පෙති දෙකක් ගැනීමට නියම කරයි.සාමාන්‍යයෙන් ලංකාවේ ප්‍රධාන ආහාරය බත් නිසා මස්, මාළු යහමින් නොකන අය බොහොමයක් නිරක්තිය ඇති අයයි.

 

 

 

ගැබිනි සමයේ මවට පණුවන් සම්බන්ධයෙන් ගැටලු ඇත්නම් පණු බෙහෙත් ලබා ගන්න පුළුවන්.දැන් රජයෙන් පණු බෙහෙත් ලබා දෙන්නේ නැහැ.මවට නිවෙසේ අය සමඟ එක්ව පණු බෙහෙත් ගන්න පුළුවන්.සති 12 න් පසුව ලබා ගෙන නැවත වරක් ගර්භණී සමයේ පණුවන් සම්බන්ධයෙන් ගැටලුවක් ආවොත් ලබා ගන්න පුළුවන්.පණුවන් සම්බන්ධයෙන් ගැටලු ඇතිවිටත් යකඩ ඌනතාවන් ඇති වෙයි.

 

 

 

 

උපදෙස්

ද සොයිසා කාන්තා රෝහලේ

නාරි හා ප්‍රසව

විශේෂඥ වෛද්‍ය රුවන් පතිරගේ