ඉතා ඉක්මනින් වරදකරුවන්ට දැඩි දඬුවම් පමුණුවන්න කටයුතු කරනවා

ජූලි 21, 2021

අපි දරුවො හැදුවෙ ඇහේ මූණෙ තියාගෙන කියල අපේ අම්මලා කියන්නෙ අතිශෝක්තියෙන් ම නොවේ. නෙතට නිදි නැතිව, කුසට හරියට අහරක් නැතිව දරුවන් උස්මහත් කර යහමඟට ගන්නට අපේ අම්මලා තාත්තලා ඕනෑම දුකක් විඳින්නට සූදානම්ය. ඒ අම්මා කෙනකුට, තාත්තා කෙනකුට දරුවකුට වඩා වෙනත් සම්පතක් නැති නිසා ය. ඒ නිසාම අපේ සංස්කෘතියේ පවුල කියන සංකල්පය තවමත් නොනැසී පවතී.

ඒත් වර්තමානය වන විට මව්පිය සෙනෙහස කියන ආදරණීය බැඳීම පළුදු වන අවස්ථා ඕනෑ තරම් වාර්තා වෙනවා.

පසුගිය දිනෙක අප ඇසූවේ එවන් නොඇසිය යුතු පුවතකි. දැන් ඒ සිදුවීම සිදු වී අහවර ය. එහෙත් ඉදිරියට එවන් සිදු වීම් අපට වළක්වා ගත හැකි ය. එහෙත් ඒ කෙසේද? අපි කතා කරමු.

ඒ සඳහා කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා අමාත්‍යවරයා අප ‘තරුණී‘ යට කැඳවා ගත්තා.

ඇමැතිතුමා, මේ සිදුවීම සැලවීමත් සමඟ තාත්තා කෙනෙක් ලෙස ඔබ ට ඇති වුණේ මොන වගේ හැඟීමක් ද?

ඉතා ම ජුගුප්සාජනක පිළිකුල් සහගත සිදු වීමක්. මේ තරම් කුරිරු පුවතක් අප මේ සමාජය තුළ ඇසුවා මයි. මනසින් උසස් සත්ත්වයා මිනිසා කිව්වාට මෙවැනි පහත් මිනිසුනුත් අපි අතර සිටින බව මෙයින් සනාථ වෙනවා. මෙහි භයානකම පැත්ත තමයි වැදූ මවත් හදා වඩා ගත් පියාත් මේ සිදුවීමට ඝෘජු ව මැදිහත් වීම.

මේ සිදුවීම සම්බන්ධයෙන් ඔබ විසින් ගන්නාක්‍රියා මාර්ග මොනවා ද?

අද කාන්තාව හා ළමයා සංවර්ධනයට පෙර ඔවුන් ආරක්ෂා කර ගැනීමට සිදු ව තිබෙන බව මෙවැනි සිදුවීම්වලින් පෙනී යනවා. ඒ නිසා ඒ වෙනුවෙන් අමාත්‍යාංශ මට්ටමින් විශේෂ වැඩපිළිවෙළක් දැනටමත් ක්‍රියාත්මකවෙමින් පවතිනවා.

නව වැඩපිළිවෙළ කුමක් ද?

මෙවැනි සිදුවීම් හා ඝෘජු මැදිහත් වීමක් කළ හැකි සියලු ම රාජ්‍ය නිලධාරීන් සහ ස්වේච්ඡා සංවිධාන එක් රැස් කොට ගෙන ඉදිරියට මෙවැන්නක් අපේ රටේ සිදු නොවිය යුතු තැනට බල කරමින් ඔවුන් දැනුවත් කිරීමේ කටයුතු දැනටමත් ආරම්භ කරල තියෙනවා. ඊට අමතර ව සිදු ව තිබෙන ළමා හිංසන සහ ළමා අපචාර සම්බන්ධ වාර්තා දිස්ත්‍රික් මට්ටමින් ලබා ගෙන ඒවා විසඳී ඇති ආකාරය, අපරාධ කරුවන්ට දඬුවම් ලැබිය යුතු ආකාරය නැවත විමර්ශනය කර ගෙන යනවා. ඇත්තටම මේ වෙනකොට දරුවන්ට සිදු වන අපචාර අවම කිරීම වෙනුවෙන් පුළුල් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ම ද මන්දා පසුගිය වර්ෂය හා සාපේක්ෂ ව බලන කළ මේ වර්ෂයේ ළමා අපචාර වාර්තා වීමේ අඩුවක් පෙන්නුම් කරනවා. නමුත් වාර්තාවන අපචාර කෘෘරත්වයෙන් ඉහළ ගිහින් තියෙනවා.

නඩු ඇහුවත් දඬුවම් දුන්නත් ඉන් එහාට ගිය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතුයි. අපි ප්‍රාදේශිය ලේකම් කාර්යාල මට්ටමින් දිස්ත්‍රික් මට්ටමින් මෙවැනි සිදු වීම් සම්බන්ධ ව තොරතුරු රැස් කර ගෙන ඒ හා බැඳුණු සමාජ වටපිටාව මානසික ගැටලු හඳුනාගෙන ඊට පිළිතුරු සොයාගැනීමට කටයුතු කරමින් සිටිනවා.

*නීති සංශෝධනය වෙයි. දඬුවම් දැඩි වෙයි. නඩු ඇහෙයි. ඒත් ඇමැතිතුමා ඒ සඳහා ගත වන කාලය කොපමණ වෙයි ද? අවුරුදු 10ක් 15ක්,

නැහැ. නැහැ. ඉතා ඉක්මනින් මේ නඩුව ඇහෙනවා. අවම වශයෙන් වසර 2ක් හෝ 3ක් තුළ මේ නඩුව සහ මෙවැනි වූ අනෙකුත් නඩු අසා අවසන් කරන්නත් වරදකරුවන්ට දැඩි දඬුවම් පමුණුවන්නත් කටයුතු කරනවා. මේ වන විටත් සමස්ත අධිකරණ පද්ධතිය ම කඩිනම් වෙමින් වේගයෙන් ඉදිරි ගමනක් යමින් පවතිනවා.

මේ සිදුවීමත් සමඟ ම පළාත් මට්ටමින් ළමා අධිකරණ පිහිටු වීමටත් අපි කටයුතු කරනවා. මේ සියල්ල තුළින් ප්‍රමාදයකින් තොර ව මේ නඩු කටයුතු විසඳීමට අපි උත්සාහ කරනවා.

*ඉහළ සමාජ මට්ටම් නියෝජනය කරන නිලධාරි පැලැන්තියක් මේ සිදුවීමේ චෝදනාකරුවන් බවට පත් වෙමින් සිටිනවා.

නිල බලයෙන් ධන බලයෙන් ඔවුන් සැඟවී යයි ද?

නැහැ. මම වගකීමෙන් කියන්නෙ. ඒක වෙන්නෙ නැහැ. කොයි තරම් ඉහළ නිලධාරියෙක් වුණත් ඒ අය මේ වරද කළා නම් ඒ සඳහා දඬුවම් හිමි වෙනවාමයි. මම ඒ වෙනුවෙන් ඝෘජු ව ම මැදිහත් වෙනවා. ඒ වගේ ම අතිගරු ජනාධිපතිතුමන් මේ සිදුවීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරල තියෙනවා. එතුමා සෑම මොහොතක ම උත්සාහ කරන්නෙ අපේ රටේ අනාගත දරු පරපුර ඔවුන්ගේ අනාගතයට ගැලපෙන පරිදි දැනුමින් තාක්ෂණයෙන් සන්නද්ධ කරන්න. ඒ නිසා අනාගත පරපුර මෙවැනි කාමාතුරයින්ගෙන් ආරක්ෂා කර ගැනීමත් ඉතා ම වැදගත්. ඒ කටයුතු ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අප පෙනී සිටිනවා. අපි සිටින තුරු මෙවැනි අපරාධ කාරයින්ට නීතියෙන් ගැලවීමක් නැහැ.

*මේ සිදු වීමත් සමඟ ඔබතුමාට සමාජයට දෙන්න පණිවිඩයක් ඇති?

අතීත සමාජය තුළ දරුවාට අම්මා තරම් ආරක්ෂකයෙක් සිටියෙ නැහැ. අපේ සමාජය පීතෘ මූලික වුවත් දරුවා හදා වඩා ගැනීම, ආරක්ෂා කර ගැනීම, අධ්‍යාපනය ලබා දීම යනාදී ලෙස දරුවකු හා සම්බන්ධ වූ කුදුමහත් කටයුතුවල මූලිකත්වය ගන්නේ මව ය. ඒ කටයුතු නිවැරැදි ව ඉටු වන්නේ දැයි යන්න තවෙකෙක් විසින් සොයා බැලීම අවශ්‍ය වුණේ නැහැ.

නමුත් අද තත්ත්වය ඊට වඩා හාත්පසින් ම වෙනස් වෙලා. අද දරුවා අම්මා සමඟ සිටියත් දරුවා ආරක්ෂිත ද දරුවාගේ ළමා අයිතිවාසිකම් සුරැකෙන්නේ ද යන්න සොයා බලන්න සිදු ව තිබෙනවා.

ඒ නිසා ඔබ සිටින සමාජ වටපිටාව තුළ නොවිය යුතු යමක් සිදුවන බවට කිසියම් සැකයක් පහළ වන්නේ නම් අදාළ පොලිස් ස්ථානය හෝ එහි පිහිටුවා ඇති ළමා හා කාන්තා කාර්යාංශය දැනුවත් කරන්න.

නැතිනම් ළමා ආරක්ෂණ අධිකාරිය විසින් හඳුවන්වා දී ඇති 1929 ක්ෂණික ඇමතුම් සේවාව ඔස්සේ ඔවුන් දැනුවත් කරන්න. එසේත් නැතිනම් 119 අමතා තොරතුරු ලබා දෙන්න. ඔබෙන් තොරතුරු අපට ලැබෙන්නේ නම් මෙවැනි සිදුවීම් තව දුරටත් සිදු නොවේ වි.

‘‘අපිට වැඩක් නැහැ. ඒක ඒ අය බලා ගනියි‘‘ කියල හිතල අහක බලාගන්න එපා. නිල වශයෙන් නොවුනත් අපේ රටේ අනාගතය ආරක්ෂා කර ගැනීමේ වගකීම ඔබටත් තිබෙන බව සිතන්න.

 

ඡායාරූපය - විමල් කරුණාතිලක