සාර්ථක මිනිසකුගේ හොඳ පුරුදු 10

පොත් පත් කියවීමේ රහස දැන ගනිමු
ඔක්තෝබර් 13, 2021

 

ඉලක්කය හඹා යාමට ඔබත් එක්වන්න

අධිෂ්ඨානයෙන් තම ගමන යන පුද්ගලයකුට සාර්ථකත්වය කරා යාම ද අපහසු නැත. මේ ලිපිය ඔස්සේ සාර්ථකත්වයට යාමට කැමැත්තක් දක්වන ඔබට අප මාර්ගෝපදේශ සපයන බැවින් ඔබට ද සාර්ථකත්වයේ ගමන ඇරැඹිය හැකිය.

සාර්ථකත්වය ළඟා කරගත් පුද්ගලයකු අනුගමනය කරන හොඳ පුරුදු පිළිබඳ අපි ඔබට කරුණු සපයන බැව් පැවසුවෙමු. පසුගිය සතියේ දී එහි දෙවැනි කරුණ වන සුවපහසු කලාපයෙන් මිදීම යන්න ගැන ඔබව දැනුවත් කළෙමු. එසේ නම් මේ කරුණු දහයෙන් තුන්වැනි කරුණ කුමක්ද යන්න අද ලිපියෙන් ඔබට දැනගැනීමට පුළුවන්.

මිනිසුන්ගේ ජීවිතයේ මූල්‍ය සාර්ථකත්වය, ව්‍යාපාරික සාර්ථකත්වය, රැකියාවේ සාර්ථකත්වය, පවුල් ජීවිතයේ සාර්ථකත්වය යන මේ කිසිවක් පාලනය කරන්නේ දෛවය හෝ එම පුද්ගලයාගේ වාසනාව නොවේ. එම පුද්ගලයා සතු හුරුපුරුදු එසේත් නැතිනම් යම් සිද්ධියක් ඉදිරියේ එම පුද්ගලයා ක්‍රියා කරන අකාරය, අනුගමනය කරන විධික්‍රම ආදියයි. ඒවා එම පුද්ගලයාගේ සාර්ථකත්වය සඳහා බලපානු ලබයි.

මෙයින් අදහස් කරන්නේ වාසනාව ලෙස යමක් නැති බව නොවේ. මනුෂ්‍යයෙක් ලෙස දැනටමත් ඉපදී ඇති අප හැමදෙනාම වාසනාවන්ත පුද්ගලයන්. තවත් ලෙසකින් මේ පිළිබඳ පවසන්නේ නම් දැනටමත් ඔබ අතේ මැණිකක් තිබේ. එය අලංකාරයක් එනලෙස ඔපමට්ටම් කිරීමෙන් වටිනාකම වැඩිකර ගැනීම අප විසින් සිදු කළ යුතු කාර්යයකි. මනුෂ්‍යත්වය නැමැති මැණික ලැබූ ඔබ යහපත් හුරුපුරුදුවලින් එය ඔපමට්ටම් කරගත යුතුය.

සාර්ථක පුද්ගලයකු වීමට අවශ්‍ය හොඳ හුරු පුරුදු දහයෙන් තුන්වැන්න වන්නේ හොඳ පොත පත කියවීමයි.

ලෝකයේ සාර්ථක වූ පුද්ගලයන් හැමදෙනාම පාහේ පොත් පත් කියවීමේ සූරයන් බව ඒ චරිත ගැන සොයා බැලූ විට ඔබට වැටහේවි. ඔවුන් නිරන්තරයෙන් ම හොඳ පොත පත පරිශීලනය කරයි. ඇතැම් පුද්ගලයන් පුරුද්දක් ලෙස හැම දිනකම ආහාර ගන්නා ආකාරයට උදෑසන හෝ නින්දට යන්නට මත්තෙන් පොතක පරිච්ඡේද දෙක තුනක් හෝ කියවීමේ පුරුද්දක් ඇතිකරගෙන තිබේ.

ලෝකයේ අති සාර්ථක ම පුද්ගලයන් අවුරුද්දකට යම් ඉලක්කයක් තබාගෙන තමාගේ කියවීමේ පුරුද්ද අඛණ්ඩව පවත්වාගෙන යන අතරම තම දැනුම දියුණුකර ගනී. ලෝ ප්‍රකට ලේඛකයන් දේශකයන් වන රොබින් ශර්මා, රිචඩ් බැන්සන් වැනි අය තම ජීවිතයේ අනිවාර්යය අංගයක් ලෙස පොතපත කියවන පුද්ගලයන් බව සඳහන් ය. වරක් බිල් ගේට්ස් පවා සඳහන්කර ඇත්තේ ඔහුගේ ව්‍යාපාරයේ මුල් අවධියේ දී ඔහුගේ ආදායමෙන් සැලකිය යුතු ප්‍රමාණයක් හොඳ පොත පත මිලදී ගැනීම සඳහා ආයෝජනය කළ බවයි.

ආයෝජනය යන වදනේ අර්ථය වන්නේ පොතක් පතක් මිලදී ගැනීමට කරන වියදම, වියදමක් නොව, මතුවට ප්‍රයෝජනවත් දෙයක් වන බවයි.

කියවීම අපේ ජීවිත සාර්ථක කරගැනීමට බලපාන්නේ කෙසේද?

ලෝකයේ සාර්ථක වූ පුද්ගලයන්ගේ ජීවිත කතා මෙන්ම අසාර්ථක වූ පුද්ගලයන්ගේ ජීවිත අසාර්ථක වූයේ ඇයි යන්න සොයා බැලීමේ දී මේ කරුණ හොඳින් ම වැටහෙයි. මෙහිදී කියවන පොත පත ඕනෑම පොතක් නොව, තමාගේ සාර්ථකත්වය උදෙසා ඉවහල්වන කරුණු ඇතුළත් පොත පත වීම වැදගත් ය.

ලෝකයේ සාර්ථක වූ පුද්ගලයෙක් සාර්ථක වූ ආකාරය පිළිබඳ හෝ ඔහුගේ ජීවිත කතාව හෝ පිළිබඳ පොතක් නැතිනම් එවැනි දේ ඇතුළත් පුවත්පත් ලිපි ආදිය කියවීමෙන් එම පුද්ගලයන් ව්‍යාපාරික සාර්ථකත්වය හෝ ජීවිතයේ දැනට ලබා ඇති යම් සාර්ථකත්වයක් ලබා ගත් ආකාරය පිළිබඳ ඔබට කරුණු දැනගැනීමට හැකිවේ. එහිදී ඔබට නිතැතින්ම උද්‍යෝගයක්, පෙලඹවීමක් තමාගේ සාර්ථකත්වය ලබා ගැනීම සඳහා තමා යා යුතු මාර්ගය පිළිබඳ යම් සංඥාවක් ලැබේ.

සාර්ථකත්වය සොයා අප යන ගමනේ දී එම ලිපිවලින් හෝ පොත්වලින් උකහාගත් දැනුම අපගේ ජීවිතයට, අප කරන කාර්යයට, අපේ රටට මෙන්ම අප කරන ව්‍යාපාරයේ ස්වභාවයට ගැළපෙන අයුරින් යොදා ගැනීමෙන් දියුණුවේ මංපෙතට අවතීර්ණ විය හැකිය. ඇතැම් විට එම පොත් පත්වල සාර්ථක වූ පුද්ගලයන්ට වැරැදුණු ආකාරය, නැවත ඔවුන් එම වැරැද්ද නිවැරැදි කරගත් ආකාරය පවා අන්තර්ගත වී තිබේ. එය අපට වඩාත් වැදගත් වන්නේ එවැනි වැරැදි මඟහරවා ගැනීමටත් එවන් වරදක් සිදු වුවහොත් එය නිවැරැදි කරගැනීමට අප කළ යුත්තේ කුමනාකාරයේ දෙයක්ද යන්නත් තීරණය කිරීමට අප කියවා ලබා ගත් දැනුම මඟින් හැකිවන බැවිනි.

රයිට්ස් සොයුරන් ගුවන් යානය නිපදවූ බව අප කවුරුත් දන්නා කරුණක්. ඔවුන් එම ගුවන් යානය සාදන ක්‍රමය රහසක් ලෙසින් තබා ගත්තේ නැත. යම් හෙයකින් එය රහසක් ලෙසින් තබා ගත්තා නම් එය අනෙක් අය නොදන්නා කරුණක් වීමට හැකියාව තිබිණි. නමුත් ඔවුන් ගුවන් යානය පිළිබඳ කරුණු හෝ එය සැකසූ ආකාරය පොතක ලියා තැබුවේ නම් අනෙක් අය එම කරුණු නිරීක්ෂණයටත්, ඉන් ගුවන්යානා පිළිබඳ දැනුමක් ලබා ගන්නටත් හැකියාව ඇත. අද වන විට රයිට් සොයුරන් ජීවතුන් අතර නැතත් දරුවන් පවා කුඩා ගුවන් යානා සැකසීමට සමත්ව සිටිනවා. එසේ කරන්නේ රයිට් සොයුරන්ගේ දැනුම මේ වන විට සමාජගතව ඇති නිසයි.

පොතකින් සිදු වන්නේ ද මෙවැනි ම වූ කාරණාවකි. අන් අයගේ දැනුම අපට අපගේ දැනුම ලෙසින් අපේ කාර්යයන්හිදී යොදා ගත හැකි බැවිනි. අප විසින් යමක් සිදුකර අත්හදා බලා දැනුම ලබා ගැනීමට යාමේ දී වරදින තැන් ද බොහෝ පවතී. මෙහිදී අප වරද්ද වරද්දා තමාගේ කාර්යයන්ගෙන් ම දැනුම ලබා ගනිමින් ගමනක් යාමේ දී එම ගමන යාම සිදුවන්නේ ඉතා සෙමිනි. අපේ ජීවිත කාලය ඉතාමත් කෙටි නිසා අපිම අත්දැකීම් මතින් ඉගෙන ගනිමින් ගමනක් යාමේ දී සාර්ථකත්වය ලබා ගැනීමට දිගු කාලයක් ගත විය හැකිය. එහෙත් අනෙකෙකුගේ අත්දැකීම්වලින් උගෙන එම ගමන යාම එයට වඩා ඉලක්කයට ඔබ සමීප කරවන්නකි.

අප යම් ගමනක් යාමට පෙර එම මාර්ගයෙන් ගිය අයකු ලියූ සටහනක් කියවූවා යැයි සිතමු. කිලෝ මීටර කිහිපයක් ගිය තැන එම මාර්ගයේ විශාල වළක් තිබෙන බවත් එම වළ ඉතාම ගැඹුරු එකක් බැවින් එතැනින් ආරක්ෂිතව යන මෙන් එම තැනැත්තා එහි සටහන් කොට ඇත. දැන් රාත්‍රියේ දී අප මේ ගමන යාමට පිටත් වුවත් මේ මාර්ගයේ අනාරක්ෂිත වළක් ඇති බව අපි කලින් ම දන්නා බැවින් ඒ සඳහා සූදානමකින් ගමන පිටත් වේ. එසේ නොවුණා නම් අපි එම වළේ වැටී, උඩට එන්නට ඉමහත් වෙහෙසක් දරමින් විශාල කාලයක් හා මහන්සියක් ඒ වෙනුවෙන් වැය කිරීමට සිදුවේ. එහෙත් සටහන කියවා ගිය බැවින් එම වළ මඟහැර ආරක්ෂිතව තම ගමනාන්තය කරා ඉක්මනින් යාමට අපට හැකි වේ. මේ උදාහරණය පොත් කියවීමේ ඒවා තුළ ඇති කරුණු අපගේ ජීවිතයට අදාළ කරගැනීමේ වාසිය ඔබට වැටහෙන්නට ඇති.

අප පොත් සියයක් කියවූවා යන්නෙහි අරුත වන්නේ අප පුද්ගලයන් සියයකගේ අත්දැකීම් ලබා ගත්තා යන අර්ථයයි. එක් පුද්ගලයෙක් අවුරුදු 70ක් ජීවත් වූවා යැයි සිතුවොත් ඔබ එම පොත් සියය කියවා ලබා ගන්නේ අවුරුදු 700ක ජීවිත අත්දැකීම් සම්භාරයකි.

සාර්ථක වූ පුද්ගලයන් මේ රහස දන්නා බැවින් ලෝකයේ සාර්ථක වූ පුද්ගලයන් මෙවැනි පොත් කියවා තම දැනුම අත්දැකීම් වපසරිය පුළුල් කරගැනීමට උත්සුක වේ.

මෙහිදී වින්දනය සඳහා පමණක් ම ලියැවුණු ප්‍රබන්ධ කතා කියවීම පමණක් පොත් කියවීම ලෙස ගත නොහැකිය. ඒ සඳහා චරිත කතා, ජීවන කතා පුවත්, සාර්ථක පුද්ගලයන් විසින් රචිත මාර්ගෝපදේශ ඇතුළත් පොත් පත් ආදිය කියවිය යුතුය. නිරන්තරයෙන් ඔබ කියවිය යුත්තේ ඔබේ දැනුම වැඩි වර්ධනය කරන පොත් පත් ය. ඔබේ විෂයයට අදාළ, ඔබේ ඉලක්කයට අදාළ පොත පත කියවීම ඔබේ දියුණුවට ඉවහල් වේ.

මේ සඳහා ඔබට තාක්ෂණික පහසුකම් ද යොදා ගත හැකිය. පොත් කියවීමට වෙලාවක් නැතිනම් අන්තර්ජාල පහසුකම් මඟින් පොත් කියවීමට සලස්වා අසා සිටීමට මෙන්ම පොත් සොයා ගැනීමට අපහසු නම් අන්තර්ජාලයෙන් බාගත කරගැනීමට වුවද හැකියාව ඇත.

 

උපදෙස්

ප්‍රවීණ දේශක

මොහාන් පල්ලියගුරු