ඇත්තෙන්ම ඒ සාක්ෂිය ඔයාට වාසියක්

මාර්තු 7, 2022

A mother’s story
by Mary Beth
Whitehead with
Loretta Sehwartz
Nobel

ෙබ්‍රා‍රොඩ්සින්ස්කි මෙන්ම වෛද්‍ය ජූඩිත් ග්‍රීෆ් ද මා සහ දරුවා අතර සබඳතාව හෙළා දුටුවේ නැත.

"වයිට්හෙඩ් මහත්මිය කවුදැයි දැන හැඳින ගන්නට දැරියට මහත් වුවමනාවක් තිබුණා."

ජූඩිත් එසේ ද කීවාය.

එහෙත් ඇය ද නිර්දේශ කළේ සාරා මවෙතින් වෙන්ව තැබිය යුතු බවකි. ඊට හේතු වශයෙන් ඇය දැක්වූයේ නිතර දැකීමෙන් අප දෙදෙනා, එනම් දැරිය සහ මා අතර බැඳීම ඉතා ප්‍රබල විය හැකි බවය.

කෙසේ වුව මහජනතාවගේ අදහස වූයේ එකී වෛද්‍යවරුන් ඇතුළු කණ්ඩායම තමා නියෝජනය කරන වෘත්තීන් පවා අපකීර්තියට පත් කොට ඇති වගය. එමෙන්ම සාක්ෂිකරුවන් විසින්ම ඔවුන් කිසියම් ප්‍රමාණයකට අවතක්සේරුවට ලක්කොටගත් වගකි.

මෙම විශේෂඥ සාක්ෂිකරුවන් ඩොලර් 12,000 බැගින් ගාස්තු අය කොට තිබූ බවක් දැනගන්නට ලැබිණි. කෙසේ නමුත් මාර්ෂල් ෂෙච්ටර්ගේ සාක්ෂිය ජනතාව මහත් සේ අමනාපයට පත් කරවන්නක් විය. ඒ හාම 'ලී සෝක්' මා ආදේශක ගර්භාෂයක් ලෙස හැඳින්වීම ද ස්ටර්න් කණ්ඩායමට ජනතාවගේ විරෝධය එල්ලවන්නට හේතුවක් විය.

මාර්ෂල් ෂෙච්ටර්ගේ සාක්ෂි අවසන්ව දින කිහිපයකට පසුව මම 'නිව්යෝර්ක් ටයිම්ස්' පුවත්පත කියවමින් සිටියෙමි.

"පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයෙහි ළමා මනෝ චිකිත්සාව පිළිබඳ සම්මානිත මහාචාර්ය මාර්ෂල් ෂෙච්ටර් හට 'පැටි-කේක්' ක්‍රීඩාව කිරීම සම්බන්ධයෙන් වැරැදි සහ නිවැරැදි ස්ථිර ක්‍රම තිබේ.'

'වැරැදි ක්‍රමය: 'බේබි M' නඩුවේදී සාක්ෂිකරුවකු ලෙස පෙනී සිටි ෂෙච්ටර්, මේරි බෙත් මහත්මිය හා දැරිය අතර සබඳතා නිරීක්ෂණයේදී මව ක්‍රියා කළ ආකාරය; එනම් දැරිය අත් පොළසන් නගන විට මේරි බෙත් 'පැටි-කේක්' නොකියා 'හුරේ' යැයි පැවසීම.

නිවැරැදි ක්‍රමය: දැරිය අත්පොළසන් නඟන විට වැඩිහිටි උදවිය අත්පොළසන් නගමින් 'පැටි-කේක්' යැයි රිද්මයානුකූලව පැවසීම.'

'එපමණක් නොව විශේෂඥ සාක්ෂිකරුවකු ලෙස ඔහු විනිශ්චයකාරතුමාට බල කරමින් පවසා ඇත්තේ වයිට්හෙඩ් මහත්මියට මව්පිය අයිතිය පැවරීම නොකළ යුතු බවය. ඒ දරුවාගේ ආරක්ෂාව සඳහා බවද ඔහු පවසා තිබේ.

ඔහු ඒ කුඩා දැරියට විශාල පැන්ඩාවන් සතර දෙනෙක් තිළිණ කිරීම ද අනුමත නොකරයි. ඔහු ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ මුළුතැන්ගෙය සම්බන්ධ ක්‍රීඩා භාණ්ඩ අංශයට අදාළ පුද්ගලයකු විය යුතුය. ඔහු පවසන්නේ ඒ කුඩා දැරියට පැන්ඩාවන්ට වඩා හැළි වළං හැඳි යනාදිය දුන්නානම් වඩා හොඳ බවය.'

දැන් ඉතින්, උසාවිය මේ විශේෂඥ වෛද්‍ය අදහස් පිළිගන්නේ නම් 'බේබි M' දැරියගේ සැබෑ මවට දැරිය දැකගන්නට හෝ ඉඩක් නොලැබෙනු ඇත.“

රාත්‍රී ආහාරයෙන් පසු මුළුතැන්ගෙයි මේසයට වාඩි වී සිටි රික් හට ඇසෙන්නට මම ඒ තීරු ලිපිය හඬ නඟා කියවූයෙමි. මට සිනහ නැඟුණේ නොදැනුවත්වමය.

"මට හිනා ගියාට මේක විහිළුවක් නෙමෙයි රික්."

රික් කියවූයේ රිචර්ඩ් කොහෙන් නම් කැපී පෙනුණු තීරු ලිපි රචකයෙකු විසින් ලියන ලද්දකි.

''බේබි M' නඩු විභාගයේදී අදේශක

මව වන මේරි බෙත් වයිට්හෙඩ් මහත්මියට විරුද්ධව සාක්ෂි ලබා දුන් වෛද්‍ය මාර්ෂල් ෂෙච්ටර් අනවධානයෙන් කටයුතු කර ඇති බව පැහැදිලියි. ඔහු විනිශ්චය සඳහා බලපෑම් කරමින් අනුවණ ලෙස සාක්ෂි ලබා දීමෙන් තම වෘත්තියමය තත්ත්වයට පටහැනිව ක්‍රියාකොට ඇත. ඒ සමඟම විද්‍යාත්මක විශ්ලේෂණයක් මුවාවෙන් 'මව්පිය' යන ගෞරවාන්විත පදවිය කිසියම් අවතක්සේරුවකට ලක් කොට තිබේ.'

මගේ සිනහව නවතිනු දුටු රික් උත්සාහ කළේ මා සනසන්නටය.

"කලබල වෙන්ඩ එපා මේරි මේ ෂෙච්ටර් කියන පුද්ගලයා ඔයාට උපකාරයක් කරලා තියෙන්නෙ. ඇත්තෙන්ම ඒ සාක්ෂිය ඔයාට වාසියක්."

සැබවින්ම මම ඒ දිනවල උදේ සවස උසාවිය තුළ රැඳෙමින් හෙම්බත් වී සිටියෙමි. මේ අතර රික් උදෑසන 5.00ට සේවය සඳහා පිටත්ව යා යුතුව තිබිණි. එහෙයින් ෆ්ලොරිඩා සිට මගේ මවුපියන් පැමිණ සිටියේ දරුවන්ගේ පාසල් කටයුතු සම්බන්ධයෙන් වගකීම ගනිමිනි.

මා උසාවියේ සිට ආපසු පැමිණෙන බොහෝ දිනවල රික් නින්දට ගොසිනි. මේ අනුව අප දෙදෙනා එකිනෙකා මුණගැසී කතා බහ කළේ ඉතා අඩුවෙනි.

අප දෙදෙනා නඩුව පිළිබඳව කතා කළේ අඩුවෙනි. ඒ එය අප දෙදෙනාටම වේදනා ගෙන දෙන කාරණයක් වූ හෙයිනි. කෙමෙන් අප දෙදෙනා අතර කතා බහ අඩුවෙමින් පැවතියේ අපද නොදැනුවත්වමය.

සෑම උදෑසනකම මා 5.30ට අවදි විය යුතුව තිබුණේ 6.30 වනවිට නිවෙසින් පිටත්ව යා යුතු වූ හෙයිනි. නොඑසේ නම් මා හට නියමිත වේලාවට උසාවිය තුළ පෙනී සිටිය නොහැකි විය. මා උදෑසන අහර එහෙන් මෙහෙන් ගිලදැම්මා පමණි.

සතියේ දිනවල මට සාරා දැකගත හැකි වූයේ දිවා ආහාර විවේකය තුළදීය. එබැවින් ඒ දිනවල මගේ දිවා ආහාර වේල ගැනීමට පවා නොහැකි විය. එලෙස සාරා බලා මා ආපසු පැමිණෙමින් සිටි දිනයක උසාවි තෝල්ක තැන සාක්ෂි කූඩුවට කැඳවූයේ 'සූ හර්ගන්හැන්' නැමැති මගේ යෙහෙළියකි.

මගේ අසල්වැසියකු ද වූ ඇය 1984 අප්‍රේල් මාසයේදී 'අයිස්-ස්කේටින්' ක්‍රීඩා කරන්නට ගොස් ඇද වැටීමකින් බරපතළ ලෙස තුවාල ලැබුවාය. රූමත් ගැහැනියක වූ 'සූ' ගේ දෑතම එහිදී වැළමිට අසලින් බිඳී ගියේ ඇය මුළුමනින්ම අසරණ කරවමිනි.

දෙමසක් තිස්සේ ඇයට කිසිවක්ම තනිව කරගත නොහැකි විය. නෑම, දත් මැදගැනීම, හිස පීරාගැනීම, නාසය සූරා දැමීම යනාදී සෑම කාර්යයක් සඳහාම ඇයට කාගේ හෝ පිහිටක් අවැසි විය. ඒ හැරුණු විට ඇයගේ කුඩා දරුවන් රැක බලා ගැනීමට ද ඇයගේ රැකියා කටයුතු පිළිබඳව සොයා බැලීමට ද හැමවිටම අන් අයගේ සහාය අවශ්‍ය විය. ඇය රැකියාව වශයෙන් කළේ තම නිවෙසෙහි පිහිනුම් තටාකයක් කුලියට පවත්වාගෙන යාමය.

සෑම උදෑසනකම රයන් සහ ටියුස්ඩේ සමඟ උදෑසන ආහාර ගන්නා මම 7.00 වනවිට ඔවුන් පාසලට පිටත් කර හරිමි. අනතුරුව මා සූගේ නිවෙසෙහි වැඩ අරඹන්නේ ඇයට පිරිසුදු ඇඳුම් අඳවා ඇය නැවුම්ව තබමිනි. ගෙදර දොර වැඩ කටයුතු මෙන්ම මම ඇගේ රැකියාවට අදාළ බැංකු ගනුදෙනු, පිහිනුම් කාල සටහන් යනාදිය පිළිබඳව ද සොයා බැලුවෙමි. මම ඇය වෙනුවෙන් අහර පිසීම ද කර දුන්නෙමි.

මීළඟ දිග හැරුම ලබන සතියේ

පරිවර්තනය
සුනිලා විජේසිංහ