සැමියා වෙනතක බැඳෙන්නේ ඇයි?

උපදෙස් අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂඥ මනෝ වෛද්‍ය කපිල රණසිංහ
මාර්තු 7, 2022

ප්‍රශ්නය

34 හැවිරිදි මා විවාහක කාන්තාවකි. අවුරුද්දක් වයසැති දියණියක් සිටියි. සැමියා රජයේ ආයතනයක උසස් රැකියාවක් කරයි. අපි විවාහ වූයේ වසරක ප්‍රේම සම්බන්ධයකිනි. ප්‍රේම සම්බන්ධය පැවැති කාලයේදී ඔහු මට නොගැළපේ යැයි සිතුණු වාර අන්නතය. නමුත් මවුපියන්, අසල්වැසියන් මේ ගැන දන්නා නිසාත් විවාහයට සියල්ල සූදානම්ව තිබූ නිසාත් ඔහු හා විවාහ විය. මා සිතුවේ විවාහයෙන් පසු ඔහුගේ වැරැදි හදාගත හැකියි කියායි. නමුත් එසේ සිදු නොවුණි. ඔහුට වෙනත් ඇසුරක් ඇති බවත් දැනගන්නට ලැබිණි. මා කළ යුත්තේ කුමක්ද? දරුවන් ලැබුණු පසු පිරිමින් මෙලෙස වෙනස් වන්නේ ඇයි? මා හට පිහිට වන්න.

පිළිතුර

අනියම් ඇසුරක් කියපු ගමන් හිතෙන දෙයක් තමයි තමන්ගේ සැමියා වෙන කාන්තාවක් සමඟ ලිංගික සම්බන්ධයකට යනවා කියන කාරණය. එහෙම නැත්නම් වෙනත් කාන්තාවක් සමඟ දරුවන් හදා පවුලක් ගොඩ නගනවා කියන කාරණයයි මනසට නැඟෙන්නේ. නමුත් බොහොම පරෙස්සමින් සලකා බලද්දි අනියම් සම්බන්ධතා කියන ඒවා විවිධාකාරයෙන් තියෙන්න පුළුවන්. විවාහ ජීවිතය කියන්නේ මොකක්ද කියලා අර්ථ දැක්වීමේදි ගොඩක් අය හිතන්නේ කසාද සහතිකය අත්සන් කරන එක. නමුත් ඇත්තටම ගත්තොත් විවාහයක් කියන්නේ බිරිය සහ සැමියා එකිනෙකාට ආදරෙන් බැඳිලා ඉන්න එකයි.

අනියම් සම්බන්ධතාවකට යොමු වෙන්නේ ඇයි?

කෙනෙක් කොළ කෑල්ලේ තියෙන කසාදෙන් පිටතට පනින ලක්ෂණයට හේතුව හොයද්දී පේන දේ තමයි එම සම්බන්ධතාවයේ ගැටලුවක් තියෙන්න ඕනෙ කියන කාරණය. එහිදී සැමියෙක් වෙන කාන්තාවක් සමඟ සම්බන්ධතාවක් ඇති කරගන්න හේතු සොයා බලන්න පුළුවන්. නමුත් සමහර අනියම් සම්බන්ධතා අපි හිතන විදිහේ හේතු නිසා ඇති වූ ඒවා නොවෙයි.ගැබ් ගැනීමත් එක්කම බහුතරයක් සම්පූර්ණයෙන්ම ලිංගික ජීවිතයෙන් ඉවත් වෙනවා. අනිත් කාරණය ගැබ් ගැනීම අසනීප තත්ත්වයක්, අමාරු කාරණයක් ලෙස බරපතළ ලෙස සැලකීමක් දකින්න තියෙනවා. වෛද්‍ය විද්‍යාත්මකව පැහැදිලි කරලා තියෙනවා ගර්භණීී කාලය තුළ ලිංගික ක්‍රියාවලිය මවගේ සෞඛ්‍යයට වගේම මානසිකත්වයටත් හොඳ බව.

පළමු දරුවා ලැබෙනතුරු බොහෝ කාන්තාවන් ලිංගික සම්බන්ධතාව ඉතා හොඳ මට්ටමක තියාගන්නවා. මව් පදවිය ලැබීමත් සමඟ ඇයගේ ශරීරයේ රසායන වෙනස්වීම සහ මානසික වශයෙනුත් වෙනස්වීම් හටගන්නවා. ඒ හේතුවෙන් පළමු දරුවා ලැබීමෙන් පසු සැමියා සමඟ තිබූ ලිංගික කටයුතු 40 - 50%කින් විතර අඩු කරගන්නවා. දෙවැනි දරුවා ලැබීමෙන් පසුව අතිශයින් අඩු වෙනවා. මේ තත්ත්වය, පිරිමින් වෙනත් කාන්තාවන් කෙරෙහි ආකර්ෂණය වීමට හේතුවක් වෙනවා.

විවාහයෙන් පසුව හැදෙයි

බොහෝ බිරින්දෑවරුන් විවාහයට පෙර ඉතාම වැරැදි තීරණයක් ගන්නවා තමන්ට අවශ්‍ය විදිහට සැමියව හදාගන්න පුළුවන් වෙයි කියලා. සමහර වෙලාවට වැඩිහිටියොත් උපදෙස් දෙනවා බැඳලා හදාගන්න කියලා. බඳින වයස වෙනකම් හදන්න බැරිවූ කෙනෙක්ව විවාහයෙන් පසුව හදාගන්න හදන එකේදි විශාල මානසික ගැටුම් ඇති වෙනවා. මෙන්න මෙහෙම තමන්ට කැමැති විදිහට අනිත් කෙනාව දැඩි ලෙස වෙනස් කරන්න උත්සාහ කරන ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් විදිහට සැමියා වෙනත් කාන්තාවන් කෙරෙහි ආෂක්ත වෙනවා.

යුවයතියක් විවාහයට පෙර හැඩ වැඩ වීමට හරිම ආසයි. පැහැය පවත්වා ගැනීමට, හිසකෙස්වල පැවැත්මට විවිධ ආලේපන වර්ග භාවිත කරනවා. ඒ වෙනුවෙන් සැලෝන් ගණනාවකට යනවා. නමුත් විවාහ වීමෙන් පසුව ඒ දේවල් නතර කරනවා. එමෙන්ම ශාරීරික හැඩය පවත්වා ගැනීමට බොහෝ අයගේ උනන්දුව නැති වෙනවා. රැකියාවට යන කීප දෙනෙක් වෘත්තිය අවශ්‍යතා නිසා සුළු දෙයක් කරත් ලස්සනට ඉන්න මතක් වෙන්නේ මඟුල් ගෙදරක් වැනි උත්සව අවස්ථාවකදී විතරයි.

තමන්ගේ ආකර්ෂණීය ලෙස තිබූ ගති ලක්ෂණ පවත්වාගෙන යන්න ඕනේ. විවාහයත් සමඟ එකපාරට හැමදේම නැවැත්තුවම සැමියා පොඩි වික්ෂිපත භාවයකට ලක් වෙනවා.

කලින් මම දැකපු කෙනාමද මේ ඉන්නෙ කියලා හිතන මට්ටමක් එනවා. එම නිසා මවක් වුවත් පෙනුම ගැන සැලකිලිමත් වන්න පුංචි වෙලාවක් වෙන් කරන්න.

බොහෝ දෙනෙක් හිතන්නේ කාන්තාවන් තමයි වැඩියෙන්ම ආදරය විඳින්න කැමැති. පිරිමින් කැමැති නැහැ කියලා. නමුත් පිරිමින්ට ඕනේ ළෙන්ගතුකමක් සහ ආදරයක් අනිවාර්යයෙන්ම තියෙනවා. හැබැයි ඒක පෙන්වන විදිහේ සහ කතාකරන විදිහේ වෙනසක් තියෙන්න පුළුවන්. අවශ්‍ය නැහැ වගේ හැසිරෙන්න පුළුවන්. නමුත් බොහෝ වෙලාවට බිරින්දෑවරු විවාහයෙන් පසුව ගෙදර වැඩ කටයුතු දූ දරුවන්ගේ වැඩ කටයුතු පමණට වඩා හිසට ගැනීම නිසා සැමියා සමඟ ගත කරන කාලය අතිශයින් අඩු කරගැනීම කියන්නේ ඒ අය වෙන අය කෙරෙහි බැඳෙන්න හේතුවක් වෙනවා.

සමහර අවස්ථාවලදී පමණට වඩා තම සැමියාගේ අතිශය පුද්ගලික දේවල්වලට අත පෙවීම කියන කාරණය. විවාහක ජීවිතයක් ඇතුළේ වුණත් සැමියාටත් බිරියටත් දෙදෙනාටම අතිශය පුද්ගලික ඉඩකඩක් තිබිය යුතුයි කියන එක මනෝවිද්‍යාව තුළ කියන කාරණයක්.

ඔබ කියනවා ඔහුට සම්බන්ධතාවක් ඇති බව. ඉතින් මේ වගේ ගැටලුවකදී කලබලවී කටයුතු කරන්න ගියොතින් සිදුවන්නේ පවුල් ජීවිතය කැබැලිවලට බිඳී යෑම පමණයි.

ආවේගශීලී බවෙන් තොරව ආදරණීයව මේ ගැන ඔහු සමඟ සාකච්ඡා කරන්න. කතා බහ කිරීමෙන් පමණයි යමක් විසඳිය හැකි වන්නේ. ඔබ නිෂ්ශබ්දව සිටින තාක්කල් ගැටලුවේ ස්වභාවය වැඩි වනවා මිස අඩු නොවේ.

ඔහුට ඔබව නැතිවම බැරි කෙනෙක් විය හැක්කේ ඔබටමයි. ඒ වෙනුවෙන් ඔබ අද සිටම කටයුතු කරන්න.

 

සටහන
විදුමිණි දිසාකරුණා