හැඟීම්බර බැඳීම් ජීවිතයට මොනතරම් වැදගත්ද ?

මාර්තු 21, 2022

 

නෙතට කඳුළක් උනන්නේ දෙතොලට සිනාවක් නැඟෙන්නේ අප හැඟීම්බර වීම නිසාය. කඳුළේ බරත් සිනාවේ සැහැල්ලු බවත් හදවතට හොඳින් දැනෙයි. සමාජ සත්වයකුවූ මිනිසාට මේ දෙක ම අත්දකින්න සිදු වෙයි. මේ හැඟීම්බර බැඳීම නො තිබෙන්නට විෂාදය, කාංසාව ආදී විවිධ මානසික ගැටලුවලින් බැට කෑමට සිදුවනු ඇත. එමෙන් ම පමණට වඩා හැඟීම් බර වීමෙන් ද ජීවිතයට සිදු වන්නේ හොඳට වඩා නරකකි.

දෙනෙත, දෑත, දෙපය මෙන් අපේ හැඟීම් ද සමබරව පවත්වා ගත යුතුයි. හැඟීම්බර බැඳියාව බැලූ බැල්මට ආදරය ලෙස පෙනුණත් ආදරයයි හැඟීම්බර බැඳියාවත් අතර වෙනසක් ඇත. ආදරය පරාර්ථකාමීය. හැඟීම්බර බැඳියාව ආත්මාර්ථකාමීය. ආදරය කිරීමේදී අනෙකාගේ අවශ්‍යතාවන්ට මූලිකත්වය දෙන නමුත් හැඟීම්බර බැඳියාවේදී තමන්ගේ අවශ්‍යතාවට මුල් තැන දෙයි.

ජීවිතයට වින කරන හැඟීම්බර බැඳියාවක් ඇත්නම්

හැඟීමින් බැඳුණු ඒ පුද්ගලයා නො මැතිව ජීවත් වීමට නො හැකියැයි සිතෙයි.

තමන් පැවසූ දෙයකට ඉක්මන් ප්‍රතිචාර නො ලැබුණොත් හිත කරදර කරගනියි.

පුද්ගලයන් සමඟ මෙන්ම ද්‍රව්‍ය සමඟ ද සමහරු හැඟීම්බර බැඳියාවක් ඇති කර ගනියි. එවැනි බැඳීම් ද්‍රව්‍ය දුරස් කිරීම ළඟ තබාගැනීමට වඩා නුවණට හුරුය.

තමන් ගේ අවශ්‍යතා පසුවටත් හැඟීම්බර බැඳියාවක් පවත්වන පුද්ගලයා ඔහුගේ / ඇයගේ අවශ්‍යතා තමන්ට ඉහළිනුත් තබා ගෙන ඇත්නම් ඒ දෙක ම යහපත් නැත.

පමණට වඩා හැඟීම්බර බැඳියාවක් එනම් අහිතකර බැඳියාවක් පවත්වන විට ඊර්ෂ්‍යාකාරී වීම ද අරුමයක් නො වෙයි.

කාංසා මුසුව හැඟීම් බර වන පුද්ගලයන් පමණට වඩා සමීප වීමට කැමැතිය. එනිසාම සිත් රිදවීමට ද ලක් වෙයි. සුළු හෝ දුරස් වීමක් එවැනි අයට දැනෙන්නේ තමන්ව ප්‍රතික්ෂේප කිරීමක් අත්හැර දැමීමක් ලෙස ය. ආදරණීයයා දුරස් වීම නිසා කෝපයට, කලකිරීමට පත්වෙයි. ආදරය කරන තැනැත්තා පරීක්ෂා කිරීමට, දඬුවම් දීමට පෙලඹෙයි.

යහපත් හැඟීම්බර සබඳතාවක් හඳුනා ගැනීම පහසුය. එවිට තමන්ට සබඳතාවෙන් සතුටක් දැනෙන අතර අනෙකාට ද තමන් ගේ ඇසුර ප්‍රිය වෙයි. සමීප වීම වගේම අවශ්‍ය වේලාවට හුදෙකලාවීම ගැටලුවක් කර නො ගනියි.

කෙනකුට තමන් ගේ සබඳතාවේ ස්වරූපය ගැන අවබෝධයක් තිබිය යුතුය. එසේ නොවුණොත් විශේෂයෙන් ම ආදර සබඳතාවකදී එය ගැටලුවක් වෙයි.