බලාපොරෙත්තු සහ සිහින මිනිසුන් සතුටින් තබයි

මාර්තු 21, 2022

 

හැම කෙනෙකු තුළම සිහින, බලාපොරොත්තු, ඉලක්ක පවතී. මේ දේවල් සැබෑකර ගැනීම, ඉටුකර ගැනීම, ලබා ගැනීම ඒ හැමගේම අභිප්‍රායයි. ජීවිතයකට දියුණුව ලබා ගැනීමට අවැසි නම් ඉලක්ක තබා ගත යුතු බව අප ඔබට පැවසුවා.

ඒත් ඒ ඉලක්කය ජය ගත් පසුව ජීවිතය ගෙවිය යුත්තේ කුමනාකාරයෙන් දැයි ඔබට සිතේවි.

ඔබ අපේක්ෂිත ජීවිතය ඔබට තවමත් ලැබී නැතිනම් ඔබ තව දුරටත් එම ඉලක්ක ජය ගැනීමට උනන්දු විය යුතුය. ඒ සඳහා උත්සාහ කළ යුතුය. ඔබ මේ වන විට අපේක්ෂිත දේ ලබාගෙන ඇත්නම් ඔබ එය ලබා ගැනීමට කළ උත්සාහය උනන්දුව අතහැරීම ස්වභාවයයි. නමුත් ඔබ ලබා ගත් දේ බිඳ වැටීම ආරම්භ වන්නේ එය රැක ගැනීමට ඇති ඔබගේ උනන්දුව, උත්සාහය අතහැරි මොහොතේ සිටයි.

දැනට පවතින දේ මඟින් මිනිසුන් සෑහීමකට පත් වුවහොත් ලෝකය ඉදිරියට යාම එතැනින් නතර වේ. නමුත් මේ ලොව වෙනස් වෙමින් ඉදිරියට යන්නේ අද පවතින දෙයින් මිනිසුන් සෑහීමකට පත් නොවන නිසයි. එමෙන්ම වඩාත් විස්මිත නිර්මාණ ලොවට දායාදකර ඇත්තේ ද පවතින දේ එලෙසින් ම පිළිනොගන්නා මිනිසුන් විසිනි. පවතින දෙයින් අසතුටු වූ මිනිසුන් ය. පවතින දේ ගැන සතුටු වූ මිනිසුන් අලුතෙන් යමක් සොයා නොගනී.

මිනිසුන් ජීවත් කරවන්නේ බලාපොරොත්තු විසිනි. උදාහරණයක් ලෙස පවසන්නේ නම්, මවකගේ කුසට දරුවකු පැමිණි විට ඇය එම දරුවා උපදින තෙක් දරුවාගේ පෙනුම, ගැහැනු දරුවෙක්ද පිරිමි දරුවෙක්ද යන්න ගැන සිහින දකී. ඉපදුණු පසුව දරුවාගේ මුල්ම සිනහව දැකීමට දරුවා පෙරළෙන, බඩගාන, දණගාන, පිය ඔසවන දින එනතෙක් බලා සිටී. මෙලෙසින් උස් මහත් වූ දරුවාගේ ජීවිතයේ වටිනා අවස්ථා දැකීමට තම ජීවිතයේ බලාපොරොත්තු ඇතිකර ගනී.

එමනිසා යමෙකු සිහින දැකීම ඔහුට හෝ ඇයට පීඩාවක් දනවන්නක් බව කිව නොහැකි ය. බලාපොරොත්තු, සිහින මිනිසුන් සතුටින් තබයි. ඔබ මේ මොහොතේ දී යම් ගැටලුවකින් පීඩා විඳීනම් අනාගතයේ දී එය විසඳී සහනයක් ලැබේ යැයි යන බලාපොරොත්තුව මේ මොහොතේ දී ඔබේ සහනය, සිහිනය බවට පත් වේ. ඔබ ජීවත් වන්නේ එම බලාපොරොත්තුව ඇතිවයි.

ඔබ දැනට යන්නේ බයිසිකලයක නම් කාර් රථයක් ගැනීමට ඇති සිහිනයක් තිබෙනවා වන්නට පුළුවන්. එම සිහිනය නැතිනම් බලාපොරොත්තුව නරක දෙයක් නොවේ. නමුත් ඒ පිළිබඳ සිහින පමණක් දකිමින් එය සැබෑකර ගැනීමට කිසිම දෙයක් නොකර සිටීම ඵලක් නොවේ. ඔබ එවැනි සිහිනයක් දකිනවා නම් එම සිහිනය සැබෑකර ගැනීමට උත්සාහ කළ යුතුයි.

සිහිනයක් පමණක් තිබූ පමණින් යමක් ලැබෙන්නේ නැත. සිහිනවලට අප ආසා කරයි. රැකියාවෙන් ඉහළ තනතුරක් ලැබුණොත් සතුටුයි, හොඳ ගෙයක් තිබුණොත් සතුටුයි, හොඳ වාහනයක් තිබුණොත් සතුටුයි මේවා ගැන සිහින දකිමින් පමණක් සිටීමෙන් ඒවා ඉටු නොවේ. සදා කල්ම ඔබට සිහින දකිමින් පමණක් ම සිටින්නට සිදුවේ.

නමුත් අරමුණක් තබාගෙන ඒ වෙනුවෙන් වැඩ කිරීමෙන් ඔබට එය ජය ගැනීමට හැකියාව ලැබේ. සිහින දකිමින් පමණක් සිටින පුද්ගලයන් අවසානයේ දී එම සිහින සැබෑ නොවීමෙන් අපේක්ෂා භංගත්වයට පත් වේ.

එහෙත් අරමුණක් වෙනුවෙන් වැඩ කරන පුද්ගලයාට දිනෙන් දින, සතියෙන් සතිය, මාසයෙන් මාසය තමා අරමුණට ළඟා වන බව, යම් වර්ධනයක් ලබා ගන්නා බව හැඟී යාමෙන් වඩාත් එයට ආසක්ත වේ. අරමුණ වෙනුවෙන් තවත් වෙහෙස වී වැඩ කිරීමට උත්තේජනයක් ලබයි. එමනිසා එවැන්නන්ට මානසික ආතතියක් ඇති නොවේ.

එසේම සිහිනයක්, අරමුණක් තබාගෙන ඒ වෙනුවෙන් සතුටින් වැඩ කරන අයෙකුට ඒ වෙනුවෙන් පීඩනයක් ඇති වන්නේ නැත. රට වෙනුවෙන්, මව්පියන් වෙනුවෙන්, දරුවන් වෙනුවෙන්, තමා වෙනුවෙන් ඔබට සිහින බොහෝ ප්‍රමාණයක් තිබෙන්නට පුළුවන්.

මින් ඔබ පළමුවෙන් ම ඉටුකර ගත යුත්තේ තමාට අදාළ සිහිනයි. ඔබ දැනට රැකියාවක් නොකර නිවෙසේ සිටින තරුණියක් නම් මවට පියාට බරක් නොවන අයුරින් තමාගේ ආර්ථික ස්වාධීනත්වයක් සකසා ගැනීම මුලින් ම කළ යුතු ක්‍රියාවයි. ඔබ ලෝකයට යමක් කිරීමට ප්‍රථම ලෝකයට බර නැති ස්වාධීන පුද්ගලයෙක් විය යුතුයි. අනුන්ට බරක් නැති පුද්ගලයෙක් වී ඉන් අනතුරුව අනෙක් කාරණා ඉටු කිරීමට සිතට ගන්න.

යම් සිහිනයක් ඔබට සැබෑකර ගැනීමට නොහැකි වූවා නම් ඔබ කළ යුත්තේ එම සිහිනය සැබෑකර ගැනීමට ඔබ කළ ක්‍රියාවන්, ඔබ ක්‍රියා කළ මාර්ගය වෙනස් කිරීමයි. මෙහිදී මතක තබා ගත යුත්තේ ඔබ සිහිනය සැබෑකර ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වූ ක්‍රමවේදයේ යම් අඩු පාඩුවක් පවතින බවයි. එමනිසා අලුත් ක්‍රමවේදයකට අනුව නැවතත් සිහිනය සැබෑකර ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වන්න. එය ඔබට ජය මාවතක් බවට පත් වේවි.

යම් ව්‍යාපාරයක් කිරීමට ගොස් එය අසාර්ථක වූවා නම් එයින් කියැවෙන්නේ ඔබට ව්‍යාපාර නොගැළපෙන බව නොවේ. ඒ වෙනුවෙන් ඔබ ක්‍රියා කළ ආකාරයේ යම් වැරැද්දක් පවතින බවයි. මේ නිසා සිහින සැබෑකර ගැනීම වෙනුවෙන් වැඩ කරන ඔබ එය සාර්ථක වන තෙක් ම නැවත නැවතත් උත්සාහ කිරීම වැදගත්. එක් වරක් අසාර්ථක වූ පමණින් සිහිනය අත්නොහැර අලුත් ක්‍රමවේදයන් සොයමින් ඒ වෙනුවෙන් වැඩ කිරීමෙන් දිනෙක ඔබේ සිහිනය සිහිනයක් ම නොවී යථාර්ථයක් කරගැනීමට හැකි වේවි. ¾

 

උපදෙස් - ප්‍රවීණ දේශක මොහාන් පල්ලියගුරු

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.