දියුණුවට බාධා කරන පුද්ගලයන් හඳුනා ගන්නේ කෙසේ ද?

අප්‍රේල් 18, 2022

 

අප අතර විවිධාකාර මිනිසුන් ගැවසේ. පාසලේ, කාර්යාලයේ පමණක් නොව, අනෙකුත් සමාජයේ දී ද ඇසුරු කරන්නට වෙන මිනිසුන් විවිධාකාර ය. ඇතැම් විට ඒ මිනිසුන් නිසා අපේ සිතට සතුට, උද්‍යෝගය, සැනසීම මෙන්ම තවත් මිනිසුන් නිසා රටතොට දැනුම, විවිධ දේ පිළිබඳ දැනුවත් බව ද ලැබේ.

 

එමෙන්ම සමහර පුද්ගලයන් අපේ සිත් ඍණාත්මක සිතිවිලිවලින් පුරවන අතර ඒ නිසාම අපට පරාජිත පුද්ගලයන් ලෙස සිතීමට මෙන්ම ජීවිතය ගත කිරීමට ද සිදුවේ.

මේ සියලුම පුද්ගලයන් අයත් වන්නේ වර්ග තුනකටයි.

මේ පුද්ගලයන් වර්ග තුන නියමාකාරයෙන් හඳුනා ගත හැකි නම් ඔබට සාර්ථක ජීවිතයක් ගත කිරීමට එය බොහෝ ප්‍රයෝජනවත් වේවි.

*නිතරම කාට හෝ බනින පුද්ගලයා

බොහෝ විට තවත් අයෙකු සමඟ තරහින් සිටින, නිතරම කාට හෝ බනින පුද්ගලයකු සිටින්නේ දැඩි ආතතියකිනි. හමුවන සෑම විටෙකම යම් පුද්ගලයකුට බනිනවා නම්, අනෙක් පුද්ගලයන් විවේචනය කරනවා නම්, නුගුණ ම දකිනවා නම් එවැනි අයට යම් මානසික වියවුල් තත්ත්වයක් පැවතිය හැකියි.

මේ අනුව පළමු වර්ගයේ මිනිසුන්ට ඇත්තේ ඉතාමත් දිළිඳු වර්ගයේ සිතුවිලි ය. මෙසේ දිළිඳු සිතුවිලි ඇති මිනිසුන් එක් වූ විට කතා බහ කරන්නේ අනෙක් පුද්ගලයන් ගැනයි. අනෙක් අයගේ ඇඳුම්, හිසකේ ආදිය මෙන්ම අනෙක් අයගේ පවුල් ජීවිත ගැන මෙන්ම සමාජයේ ඕපාදූප ලෙස හඳුන්වන දේවල් ගැනයි.

*පුද්ගලයන් ගැන වැඩිය කතා නොකරන පුද්ගලයා

මධ්‍යස්ථ මට්ටමේ සිතුවිලි ඇති පුද්ගලයන් හමු වූ විට කතා බහ කරන්නේ සිද්ධි, ක්‍රීඩා තරග, වැඩසටහන්, උත්සව හා අවස්ථා ආදිය ගැනයි. ඔවුන් පුද්ගලයන් ගැන වැඩි වශයෙන් කතාබහ නොකරයි.

 

*විවිධ සිද්ධි ගැන හෝ මිනිසුන් ගැන කතා නොකරන පුද්ගලයා

උසස් සිතුවිලි ඇති පුද්ගලයන් වැඩි වශයෙන් කතාබහ කරනුයේ අනාගතය, ඉගෙනීමට ඇති අලුත් දේවල්, අලුතෙන් කළ හැකි ව්‍යාපාර ගැනයි. ඔවුන් යමක් ඉගෙනීමට හැකි ස්ථාන ගැන කතාබහ කරයි. තවදුරටත් ඒ පිළිබඳ පවසන්නේ නම් ඔවුහු තමා වෙත දැනට නැති දේවල් ගැන කතා කොට ඒවා නිර්මාණය කරන ක්‍රම ගැන සිතති. ඔවුන් ඒ කතා කරන තැනින් නැඟිටින්නේ අලුත් අදහස් ඇතිවයි. ඔවුන් විවිධ මිනිසුන් ගැන හෝ සිද්ධි ගැන කතා නොකරයි.

ඔබටත් දියුණු වීමට අවශ්‍ය නම් විවේචන කරන, අනුන්ගේ ඕපාදූප කතා කරන අයගෙන් ඈත් වන්න. එවැනි පුද්ගලයන් ඇසුරු කිරීමෙන් ඔබට දියුණු වීමට නොහැකි වේ. ඔබ ඇසුරු කළ යුත්තේ කතාබහ කළ යුත්තේ උසස් සිතුවිලි ඇති පුද්ගලයන් සමඟයි. ඔබට දියුණු වීමට හැකි වන්නේ එවිටයි.

ව්‍යාපාර තුනක් කරන ඉතාමත් තරුණ ව්‍යාපාරිකයකුගෙන් ඇසුවේ මේ වයසට ව්‍යාපාර තුනක් ආරම්භ කළේ කොහොමද යනුවෙනුයි. ඔහු පැවසුවේ මෙය ඉතා සරල බවයි. එහි සරල බවක් මට නොවැටහෙන බව පැවසූ විට ඔහු පැවසුවේ මගේ තාත්තා ව්‍යාපාරිකයෙක්. මගේ බාප්පාත් ව්‍යාපාරිකයෙක්. මගේ තාත්තගේ බාල සහෝදරයාත් ව්‍යාපාරිකයෙක්. ඉතිං මගේ තාත්තා, බාප්පලා එකතු වුණාම කතා කරන්නේ ව්‍යාපාර ගැන. එයාලා සාකච්ඡා කළේ පවතින ව්‍යාපාර දියුණු කරන විදිය ගැන, අලුත් ව්‍යාපාර ආරම්භ කරන විදිය ගැන, ආයෝජන ගැනයි. ඉතිං මට නිතර ඇහුණේ ඒ දේවල් නිසා ව්‍යාපාර ගැන දැනුමක් ලැබුණා. ඒ නිසා ව්‍යාපාරයක් කිරීමේ දී ගත යුතු අවදානම ගැන ලොකු බයක් දැනුණේ නෑ.

බුදු රජාණන් වහන්සේත් දේශනා කරලා තියෙන්නේ 'අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා' ලෙසයි. එනම් බාලයන් ඇසුරෙන් ඈත්වී පණ්ඩිතයන් ඇසුරු කරන ලෙසයි. මෙහිදී බාලයන් ලෙස පැවසෙන්නේ වයසින් බාලයන් නොව, ගුණයෙන් බාල වූ ඥානයෙන් අඩු පුද්ගලයන් ය. පණ්ඩිතයන් ලෙස පැවසෙන්නේ ඇසූ පිරූ තැන් ඇති පුද්ගලයන් ය.

සමහර පුද්ගලයන් ඇසුරු කිරීමේ දී අපට ඔවුන් ඍණාත්මක සිතුවිලි ඇති කරයි. ඕපාදූප, විවේචන ආදිය සිදුකරන විට ගෙවී යන්නේ දියුණුව වෙනුවෙන් යෙදවීමට ඇති අපේ වටිනා කාලයයි. මේ පුද්ගලයන් අපිට මානසික පීඩාවන් ඇති කරයි. එවැනි පුද්ගලයන් තමාගේ ජීවිතයෙන් ඈත් කොට වදනකින් හෝ සිතට උත්තේජනයක් ලබා දෙන, දැනුමක් ලබා දෙන මිනිසුන් ඇසුරු කරන්න.

ඔබ ඇසුරු කරන පුද්ගලයන් නොදැනුවත්ව ම ඔබගේ දියුණුවට හෝ පසුගාමී බවට හේතු සපයයි. එබැවින් දිළිඳු සිතුවිලි ඇති පුද්ගලයන්ගෙන් ඈත් වී උසස් සිතුවිලි ඇති පුද්ගලයන් ඇසුරේ ඔබේ සාර්ථකත්වය සොයා ගන්න.

 

  ප්‍රවීණ දේශක මොහාන් පල්ලියගුරු