අනපේක්ෂිත දෙයකට මුහුණ දුන්නොත් කළ යුත්තේ කුමක් ද?

මැයි 2, 2022

 

අපි නොසිතන අවස්ථාවක, නොසිතන අන්දමේ දෙයකට මුහුණ දීමට සිදුවුහොත්.. මඳක් සිතා බලන්න, ඔබ කුමනාකාරයෙන් එයට මුහුණ දේවිද? ඇතැම් විට ඔබ කලබල වී නැති කරදර වැඩිකර ගැනීමට හැකිය. නැතිනම් කරන වැඩ කටයුතු සියල්ල නතරකර දමා වික්ෂිප්තව සිටිය හැකිය. එසේත් නැතිනම් දැන් කුමක් කරන්නදැයි කල්පනා කරමින්, අනෙක් අයගෙන් උපදෙස් පතමින්, දුකෙන් සිටිය හැකිය.

 

අප සිදු වේ යැයි නොසිතන දෙයක් යම් විටෙක සිදු වීම අනපේක්ෂිත සිදු වීමක් ලෙස හැඳින්විය හැකිය. අපේක්ෂිත සිදුවීම්වලට අප සිටින්නේ සූදානමිනි. උදාහරණයක් ලෙස, විභාගයක් සඳහා මුහුණ දීමට සිටින දරුවෙක් ඒ සඳහා සිටින්නේ සූදානමිනි.

අපේ සිහිනවල, අපේ අනාගත සැලසුම්වල නොතිබූ ඇතැම් සිදුවීම් අනපේක්ෂිත සිදුවීම් වන අතර එවැනි සිදුවීම් නිසා අප කලබල වේ. කලබල වූ විට මේ අනපේක්ෂිත සිදුවීම්වලට හොඳින් මුහුණ දී එයින් සිදුවිය හැකි අවාසි, පාඩුවලින් බේරීමට නොහැකි වේ.

අනපේක්ෂිත සිදුවීමක දී කලබල නොවෙන්නට, අවුල්සහගත නොවෙන්නට, වැරැදි ලෙස ප්‍රතිචාර නොදක්වන්නට ඔබ කටයුතු කිරීමෙන් එයින් ඇතිවිය හැකි හානිය අවමකර ගත හැකියි. මෙවැනි දේකදී මිනිසුන්ට සිදුවිය හැකි හානි පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. හානියක් ලෙස බොහෝ දෙනකු දකින්නේ ආර්ථික හානි හෝ භෞතික හානිය. නමුත් වඩාත් ප්‍රබල හානිය වන්නේ ජීවිතයට හානි වීමයි. තමාගේ ජීවිතය අහිමි වීමට මෙහා ඇති සියලුම අහිමිවීම් ජීවිතයත් සමඟ ගත් විට ප්‍රබල අහිමිවීම් නොවේ.

ජීවිතය ඉතුරු වී ඇත්නම් අනපේක්ෂිත මොහොතේ දී අපට අහිමි වූ දේවල් නැවත ගොඩනගා ගැනීමට, හිමිකර ගැනීමට හැකියාව ලැබේ.

ඔබේ රැකියාව, ව්‍යාපාරය අහිමි වුණා හෝ අමාරුවෙන් මිල දී ගත් ඔබේ වාහනය අහිමි වුණා යැයි අපි හිතමු. මෙය අනපේක්ෂිත සිද්ධි දාමයකි. මෙහිදී ඔබ කලබල වූවා කියා හෝ ඔබ දුක් වූවා යැයි, ඔබ කේන්ති ගත්තා යැයි කියා ඇතිවන වෙනසක් නැත. ඇඬුවා, දුක් වූවා හෝ කේන්ති ගත්තා යැයි නැති වූ දෙය ආපසු ඔබට නොලැබේ.

මේ සියල්ල නැතිව තිබියදීත් ඔබේ මනස හොඳින් වැඩ කරන්නේ නම් සිත හොඳින් මෙහෙයවිය හැකි නම් මේ අවදානම්, අවිනිශ්චිත, අනපේක්ෂිත වේලාවේ ඔබ හොඳින් ඔබේ ජීවිතය කළමනාකරණය කරගන්න. එසේ කළ විට යථා කාලයේ දී ඔබට නැති වූ දේවල් දෙගුණ තෙගුණකර ලබා ගැනීමට හැකියාව ලැබේ.

හමුදා සෙබළුන් කණ්ඩායමක් මෙහෙයුමක යෙදී සිටිය දී ඔවුන් අනපේක්ෂිත ප්‍රහාරයකට මුහුණදුන්නොත් ඔවුන් එහිදී කරන්නේ උපක්‍රමශීලී ලෙස පසුබැසීමයි. එනම් ආපස්සට පැමිණීමයි. ඔවුන් පියවර කීපයක් ආපස්සට පැමිණෙන්නේ නැවතත් හිටියාටත් වඩා ශක්තිමත් වී ඉදිරියට යාමටයි.

මේ වෙලාවේ ලෝකයේ මෙන්ම ශ්‍රී ලාංකික ජනතාව ද අනපේක්ෂිත සිද්ධි දාමයකට මුහුණ දී ඇති අවස්ථාවකි. මේ අපේ ජීවිතයේ අපට වැඩියෙන් ම කැපකිරීම් කිරීමට, දුෂ්කරතා විඳීමට සිදුවන කාලය විය හැකියි. ඔබට ජීවිතය රැක ගැනීම සඳහා ජීවිතයේ පියවරක් දෙකක් ආපස්සට පැමිණීමට මෙන්ම ඔබ වැඩියෙන්ම ආශා කළ දේවල් අතහැරීමට සිදුවිය හැකියි.

යමෙකුගේ සිත කලබල නම් දුර්වලනම් එම පුද්ගලයාගේ ප්‍රතිශක්තියට මෙය බලපාන නිසා ලෙඩරෝග පහසුවෙන් වැළඳිය හැකිවා මෙන්ම යම් රෝගයක් ඇත්නම් එය උත්සන්න වීමට ද හැකිය. එම නිසා සිත නිරවුල්ව තබා ගැනීම වඩාත් වැදගත් ය.

ඔබේ රැකියාව නැති වී ඇතිනම් ඔබ ඒ ගැන පසුතැවීමට, දුක්වීමට කාලය මිඩංගු නොකළ යුතුය. ඔබට අහිමි වූයේ රැකියාව පමණි. එහෙත් ඇතැම් විට මෙතෙක් ඔබ ප්‍රයෝජනයට නොගත් ඔබ සතු හැකියාවන්ගෙන් මේ අවස්ථාවේ දී ප්‍රයෝජන ගැනීමට පුළුවන්.

කොවිඩ් දෙවැනි රැල්ලේ දී රැකියාව අහිමි වූ එක් කාන්තාවක් තමාට ඇති රසවත්ව ආහාර සැකසීමට ඇති හැකියාවෙන් මුදල් ඉපයීමට උනන්දු විය. ඇය රසවත් රෝල්ස් සාදා තමා ජීවත් වූ මහල් නිවාස පෙළ ඉදිරියේ තබා විකුණූ අතර එය ඇයට එදිනෙදා ජීවිතය ගෙනයාමට අවශ්‍ය මුදල් ලබා ගැනීමට හොඳ ආදායම් මාර්ගයක් විය.

තමා කලින් කළ රැකියාවට වඩා වෙනත් ආකාරයේ ව්‍යාපාරයක් හෝ රැකියාවක් කිරීම තත්ත්වයට මදිකමක් ලෙස ඇතැමකුට සිතිය හැකියි. නමුත් තත්ත්වය කියන්නේ අප විසින්ම ඇතිකර ගත්තක්. තමා කරන්නේ නීති විරෝධී දෙයක් හෝ සමාජයට අහිතකර දෙයක් නොවෙයි නම් එහි තත්ත්වයට හානියක් කොහෙත්ම සිදුවෙන්නේ නැහැ. අප වෙනස් කරගත යුත්තේ අපේ මනසයි. සිතන ආකාරයයි.

රෝල්ස්, වඩේ විකුණා ලංකාවට ම බෙදාහරින ව්‍යාපාරික ආයතන වලින් කරන්නේත් රෝල්ස් සෑදීම නම් අප කුඩා පරිමාණයෙන් එය කිරීම තත්ත්වයට මදිකමක් වන්නේ කොහොමද? මුලින් ම අප වෙනස් කරගත යුත්තේ අප සිතන මතන ආකාරයයි. සිතුවිලි නිවැරැදිව මෙහෙයවීමෙන් අපට දියුණුව කරා යාමට හැකියාව ලැබේ.

මේ පිළිබඳ අපි ලබන සතියේ දීත් වැඩිදුරටත් කතා බහ කරමු.