සරලව දිවි ගෙවීමට හුරු වීමෙන් සුන්දර ජීවිතයක් ගත කිරීමට හැකි වේවි

කළු වළාවේ රීදී රේඛා සොයා යන්න..
මැයි 9, 2022

ජීවිතය පුදුමාකාර ය. අප කොතරම් සැලසුම් සහගත වුවත් ඇතැම් විට අනපේක්ෂිත සිදුවීම්වලට මුහුණ දීමට සිදු වේ. මේ සිදුවීම් විටෙක අපේ ගමන් වේගය අඩාල කිරීමට හෝ මන්දගාමී කිරීමට හේතු වන අතර ඇතැම් විට අප නොහිතන පරිදි එය ජීවිතයේ යම් හැරවුම් ලක්ෂ්‍යයක් වීමට ද පුළුවන.

පසුගිය සතියේ දී අපි අනපේක්ෂිත සිදුවීමක මුහුණ දීමේ දී අප ක්‍රියාකළ යුතු ආකාරය ගැන සාකච්ඡා කළෙමු. බොහෝ අනපේක්ෂිත සිදුවීම්වලට මුහුණ දීමට අපට සිදුව ඇති පසුබිමක ඒ පිළිබඳ යම් අදහසක් ලබා ගැනීම ඔබට වැදගත් වේවි.

කොවිඩ් 19 වසංගත තත්ත්වය ලෝකයේ හැම රටකට ම පාහේ මුහුණ දීමට සිදු වූ අනපේක්ෂිත සිදුවීමකි. එමෙන්ම ඒ හා බැඳුණු තවත් අනපේක්ෂිත සිදුවීම් දාමයකට වත්මන් සමාජයේ පුද්ගලයන්ට මුහුණ දීමට සිදු වී තිබේ. එහිදී ආර්ථික අර්බුද, රැකියා අහිමිවීම, දේපළ අහිමිවීම ආදී බොහෝ අනපේක්ෂිත සිදුවීම්වලට මුහුණ දීමට සිදු විය.

කෝවිඩ් වසංගතය නිසා රට වසා ඇති දිනවල දී රැකියාව අහිමි වූ මහල් නිවෙසක වෙසෙන එක් කාන්තාවක් තමාගේ වියදමට මුදල් උපයා ගැනීම උදෙසා රෝල්ස් සාදා විකිණීම ආරම්භ කළාය. ඇයට රසවත්ව ආහාර සැකසීමට තිබූ හැකියාව මෙහිදී ඇය ප්‍රයෝජනයට ගත් අතර මුලින් ම ඇය රසවත්ව, සුවඳවත්ව සැකසූ රෝල්ස් තමා වෙසෙන මහල් නිවෙස ඉදිරිපිට තබාගෙන විකිණීම සිදු කළාය.

එහිදී එම රෝල්ස්වල සුවඳ එනවිට එළියට යාමට නොහැකිව සිටින මහල් නිවාසයේ අනෙක් සාමාජිකයන් ඇගෙන් රෝල්ස් මිලදී ගැනීමට පෙලඹවීය. පසුව ඇය තම සැමියා සමඟ එකතු වී අවට ආපනශාලා ආදියට රෝල්ස් දැමීමට කටයුතු කළාය. පසුව ඇය පැවසුවේ 'දැන් මම රස්සාවක් කරන්න කැමැති නෑ.. මොකද උපන්දින උත්සවවලට කේක්, පැටිස්, රෝල්ස් හදනවා.. උත්සවවලට කැවුම්, කොකිස් කැවිලි වර්ග හදනවා.. දැන් මගේ ළඟ තව තුන් දෙනෙක් වැඩ කරනවා..' ලෙසයි.

අනපේක්ෂිත සිදුවීම් හමුවේ ඇය ක්‍රියා කළ ආකාරය නිසා රැකියාවක් කළ ඇය ව්‍යාපාරික කාන්තාවක්, ව්‍යවසායිකාවක් විය. ඒ නිසා මොන දේ අහිමි වුවත් තම ජීවිතය සුරැකිව තිබේ නම් ඔබට නැවතත් ජීවිතය සාර්ථකත්වය කරා මෙහෙය විය හැකිය.

ඔබ සතුව කිසිම දෙයක් නැතැයි අප උපකල්පනයක් කළහොත් ඔබට එම තත්ත්වය යටතේ කළ හැකි දේ මොනවාදැයි සොයා බලමු. සිතා බලන්න ඔබේ නිවෙස අවට හෝ ඔබ සිටින වටපිටාව අවට කොතරම් හිස් ඉඩම් තිබේදැයි කියා. මේ ඉඩම් ඔබට අයිති ඒවා නොවූවත් ඒ ඉඩම් හිමියකු සමඟ සම්මුතියකට පැමිණ මඤ්ඤොක්කා, බතල, කෙසෙල් වැනි සරල බෝග වර්ගයක් සිටවූවත් ඔබට අඩුම මූලික පිරිවැයකින් අතට මුදලක් ලබා ගත හැකියි.

කාබනික පොහොර යොදා පුංචි ගොවිපොළක් ආරම්භ කරන්න. එම නිෂ්පාදන සාධාරණ මිලකට විකුණන විට ඔබට අවශ්‍ය වෙළෙඳපොළ ඔබටත් නොදැනීම නිර්මාණය වේ. අවස්ථා නැතිබව නොවේ, ඇත්තේ ඔබට එම අවස්ථාවන් නොපෙනීමයි. ඒ නිසා හොඳින් විචාර බුද්ධියෙන් යුතුව අවට බලන්න. අනපේක්ෂිත සිදුවීම් නිසා ඔබට අහිමි වූ දේට වඩා දෙයක් අසල ඇති අවස්ථාවන් ප්‍රයෝජනයට ගැනීමෙන් ඔබට හිමිකර ගත හැකියි.

මිනිසුන් අතහරින්නේ හෝ නැගිටින්නේ තමාට යමකින් රිදුණු විටයි. සමහර පුද්ගලයන් වැටුණාම හෝ රිදුණාම සම්පූර්ණයෙන් ම අතහැර දමයි. නමුත් තවත් අය එම අහිමිවීම ඉදිරියේ වෙනස් වී තමා තුළ සිටින සැබෑ මිනිසා සොයාගෙන සිටියාට වඩා සාර්ථක ගමනක් ආරම්භ කරයි.

සිදුවුණු දේ ගැන සිත සිතා සිටීමෙන් හෝ දුක් වෙවී පසුතැවිලි වෙමින් සිටීමෙන් පළක් නොවේ. ඉන් ඔබට කිසිවක් නොලැබේ. එහිදී සිදුවන්නේ ඔබේ ජීවිතය ඔබට අතහැරී යාමයි. එමනිසා ජීවිතයේ දී අහිමිවීම් කුමන මොහොතක දී හෝ ඔබට සිදුවිය හැකියි. මේ අස්ථිර ලෝකයේ අපට හිිමවීම්වලට වඩා ඇත්තේ අහිමිවීම් ය.

අපේ හිතවතුන්, ඥාතීන්, ආදරණීයයන් දිනෙක මිය යයි. මම, ඔබ ද මිය යයි. එය රෝගයකින් හෝ වෙනත් දේකින් විය හැකියි. මිය යාම අපේ උත්පත්තියත් සමඟින් බැඳී ඇති සාධකයකි. අප ජීවත් විය යුත්තේ ම යම් දිනෙක මිය යනවා යන දැනුම ඇතිවයි. නමුත් ජීවත් වීමේ දී අප සතුටෙන් ජීවත් විය යුතුයි.

අනපේක්ෂිත සිදුවීම් හමුවේ බොහෝ විට අපට නැති වන්නේ වටිනා දේ ය. වැඩි වශයෙන් ආර්ථිකමය වටිනාකමක් ඇති දෑය. මුදල්, වතුපිටි, යානවාහන, රන්ආභරණ ආදියට වටිනාකමක් දී ඇත්තේ ද අපිමයි. නමුත් මිනිස් ජීවිතය හා සැසඳීමේ දී ඒ කිසිවක් වටිනා දේවල් නොවේ. අපි ඒ දේවල්වලට වටිනාකමක් ආරෝපණය කරඇත.

එහෙත් මතක තබා ගත යුතු කරුණක් වන්නේ මේ කිසිවක් ම නොමැතිව වුවද සිවුරක්, පාත්‍රයක්, තල්පතක්, වටාපතක් පමණක් ඇති ආරණ්‍යවාසී භික්ෂූන්වහන්සේ සිටින්නේ ද සතුටින් බවයි.

අපි ජීවිත සංකීර්ණ කොටගෙන ඇත්තේ බාහිර ද්‍රව්‍යවලට වැඩි වටිනාකම් ආරෝපණය කිරීම නිසයි. මේ දේවල් අහිමි වීම නිසා ඇතිවන දුක, කම්පනය ඇති වන්නේ ද ඒ නිසයි. සරල ජීවතයකට අපට හුරු විය හැකි නම් දුක, පසුතැවීම ද අඩු වේ. සොබාදහමෙන් මිනිසකුට ජීවත් වීමට අවශ්‍ය සියලු දේ සපයා ඇත.

ඒ දේවල් නිසි අයුරින් පරිහරණය නොකිරීමෙන් හා වෙනත් සංකීර්ණ අවශ්‍යතා ජීවිතයට ආරෝපණය කරගැනීමෙන් අප ජීවිත සංකීර්ණ කරගෙන ඇත. සරලව සිතා සරලව දිවි ගෙවීමට හුරු වීමෙන් ඉතාමත් සුන්දර ජීවිතයක් ගත කිරීමට ඔබට හැකි වේවි.

 

 ප්‍රවීණ දේශක මොහාන් පල්ලියගුරු