විවාහය විශ්වීය ගිවිසුමක් එහි නීතිය පිළිබඳ දැනුවත් ද?

මැයි 30, 2022

 

‘නීතිය’ යන්න සරල අකුරු තුනක වචනයක් වුවද එහි ගැබ් වී ඇති දෑ කිසිසේත් සරල නොවේ. අපේ ජීවිතවල පැවැත්මට, පවුලේ, සමාජයේ පැවැත්මට පදනම වැටී ඇත්තේ නීතිය හරහාය. මිනිස් ජීවිත බැඳී පවතින්නේ ද දම්වැලක පුරුක් මෙන් නීතියෙනි.

සොබා දහමට ද නීතියක් ඇත. ඒ නිසා අප බැඳී ඇති මේ නීතිය අපේ ජීවිතවලින් කිසිසේත් ඈත්කර තැබිය නොහැකියි.

කාන්තා ඔබ ද නීතිය පිළිබඳ අවබෝධයක් ලබා තිබිය යුතුමයි. ඒ අවබෝධය ඔබව රැවටීම්වලින් හා කරදරවලින් බේරීමට උපක්‍රමයක් වේවි.

ඒ නිසා කාන්තා ඔබ දැන සිටිය යුතුම නීති කරුණු මෙලෙස අද සිට විවරණය කෙරේ.

 

දම්මියි, සුජානියි, මාධවියි හොඳම යෙහෙළියන්. උසස් පෙළ පංතියේ හොඳම මිතුරියන් වුණ මේ තිදෙනා තම ප්‍රේමවන්තයන් ‘සමඟ විවාහ වුණේ එකම කාලවල දී.

 

දම්මිය, මාධවියි යහපත් යුගදිවි ගත කරන්නට භාග්‍යවන්තියන් වෙද්දී සුජානිගේ සැමියා වංචා සහගත පුද්ගලයෙක් බව දැනගනිද්දී ප්‍රමාද වැඩියි. එක් දරු පියකුව සිටියදියි ඔහු සුජානි සමඟ පෙමින් බැඳී පසු කලෙක විවාහ දිවියට එළැඹෙන්නේ.

තම මිතුරිය නීත්‍යානුකූල නොවන විවාහයක් සමඟින් බැඳී සිටීම පිළිබඳ දම්මිටයි, මාධවිටයි ඇති වුණේ දුකක්, කනගාටුවක්.

විවාහයක් යනු නීතියට අනුව විශ්වීය ගිවිසුමකි. (Universal Contract) විවාහ වෙද්දි බැලු බැල්මට එය ගිවිසුමක් යැයි ඔබට නොහැඟේවි. ගිවිසුමක් වලංගු වීමට යම් යම් කොන්දේසි තිබේ. විවාහය ගිවිසුමක් නම් එය වලංගු වීමට ද යම් යම් කොන්දේසි බලපායි.

සාමාන්‍ය විවාහ නීතිය

විවාහය සම්බන්ධයෙන් ලංකාවේ නීති වර්ග 3ක් තිබේ. සාමාන්‍ය විවාහ ආඥා පනත යටතේ ඇති නීතිය, උඩරැටියන්ට ඇති විවාහ නීතිය සහ මුස්ලිම් විවාහ නීතිය ඒවායි. සාමාන්‍ය විවාහ නීතිය සාමාන්‍යයෙන් අදාළ වන්නේ පහතරැටියන්ට සහ දෙමළ ප්‍රජාවටයි. උඩරට නීතියෙන් පාලනය නොවන අයටත් මෙය අදාළයි. එනම් එක් අයෙක් උඩරට විවාහ නීතියෙනුත් අනෙකා සාමාන්‍ය විවාහ නීතියටත් අයත් නම් ඔවුන් අතර විවාහය සිදුවන්නේ සාමාන්‍ය විවාහ නීතිය යටතේයි. දෙදෙනාම උඩරට සිටියත් අවශ්‍ය නම් ඒ අයට සාමාන්‍ය විවාහ නීතිය යටතේත් විවාහ වීමට පුළුවනි.

ඒ අනුව සාමාන්‍ය විවාහ නීතිය යටතේ දෙපාර්ශ්වයම මුස්ලිම් නොවන ඕනෑම යුවළකටම තම විවාහය ලියාපදිංචි කළ හැකි වේ.

සාමාන්‍ය විවාහ නීතිය යටතේ ලංකාවේ ඇති ප්‍රධානම කොන්දේසිය නම් දෙදෙනාම වයස අවුරුදු 18 සම්පුර්ණ කර තිබීමයි. වැඩිහිටි කැමැත්ත යටතේවත් අවුරුදු 18ට අඩු අයට විවාහ වීමට අවසර නැති බව සිහි තබා ගත යුතුය. ව්‍යාජ වයසක් දී විවාහ වීම නීති විරෝධිය. එය අපරාධමය වරදක් ලෙස සැලකේ. ඒ කූඨ ලේඛන සාදවන නිසයි.

විවාහ රෙජිස්ටාර්වරයා හමුවීමට යද්දී ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කරමින් වයස සනාථ කළ යුතුය. විවාහ වීමට පෙර විවාහ රෙජිස්ටාර් වෙත දැන්වීමක් (Notice) ඉදිරිපත් කළ යුතුයි. මේ සඳහා නියනමිත ආකෘතිය සම්පුර්ණ කළ යුතු වේ.

මේ ආකෘති පත්‍රය සම්පුර්ණ කිරීමෙන් පසු එය අදාළ කොට්ඨාශයේ විවාහ රෙජිස්ටාර්වරයා, සාමදාන විනිශ්චයකරුවරයකු, නොතාරිස්වරයකු හෝ කතෝලික පූජකයකු මඟින් සහතික කර ගත යුතුයි.

එසේම විවාහ වීමට පෙර ව්ධබඪජඥ එකක් දෙන්නේ යම් කිසි අවස්ථාවක විවාහයට බාධාවක් ඇති කෙනෙක් විවාහ වුවහොත් ඒ සම්බන්ධයෙන් යම් පාර්ශ්වයකට විරෝධතාව දැක්වීම සඳහා කාලය ලබාදීටමයි. මේ Notice එක කච්චේරියේ ප්‍රදර්ශනය කෙරේ.

හදිස්සියේ විවාහ ලියාපදිංචිය

හදිස්සියේ සිදුවන විවාහ ලියාපදිංචි කිරිම් ද ඇත. ඒවා විවාහ රෙජිස්ටාර් ගේ බලයේ ඇති එකකි. විවාහ රෙජිස්ටාර්ට හදිසි විවාහයක් පිළිබඳ සැකයක් ඇති වුවහොත් මාසයක පමණ කාලයක් විවාහය ලියාපදිංචිය සඳහා සිටීමට සිදු වේ.

දිස්ති‍්‍රක්ක දෙකක දෙන්නකුගේ විවාහයක් ලියාපදිංචි කරද්දී එකම දිස්ත්‍රික්කයක දෙදෙනකුට වඩා, වැඩි කාලයක් ඉන්නට සිදුවේ. ඒ විවාහ Notice එක (කච්චේරි) දිස්ත්‍රික් ලේකම් කාර්යාල දෙකේම වෙන වෙනම දින 14ක කාලයක් ප්‍රදර්ශනයට තැබිය යුතු නිසාවෙනි. මෙහිදී සැලකිල්ලට ගන්නේ ස්ථිර ලිපිනයයි. මේ සියල්ල සිදුවනුයේ වංචනික විවාහ වැළැක්වීමටයි.

සාමාන්‍ය විවාහ නීතිය යටතේ විවාහ වීමට අවසර ඇත්තේ අවිවාහක තැනැත්තන්ට පමණි. වලංගු විවාහයක් ඇති අයකු නැවත විවාහ වුවහොත් පසුව සිදු වූ විවාහය කිසිසේත්ම වලංගු විවාහයක් වන්නේ නැත. උදාහරණයක් ලෙස පිරිමියා කලින් විවාහ වී එය වලංගුව පවතිද්දී නැවත විවාහ වුවහොත් එම පිරිමියාගේ වලංගු විවාහය ලෙස සැලකෙන්නේ පළමුවැන්නයි. වලංගු අධිකරණ ක්‍රියාමාර්ගයක් හරහා නීතියෙන් වෙන්ව නැත්තම්, දික්කසාදය සම්බන්ධයෙන් අවසානාත්මක තීන්දුවක් දී නොමැති නම් නැතහොත් නෛසයි ආඥාව දී නොමැති නම් එවිට ද පසුව කරන විවාහ වලංගු නොවේ. වලංගු විවාහය අවලංගු කිරීම සඳහා නඩු තීන්දුව ලබා දී තවත් මාස 3ක් ලබාදෙන්නේ ඔවුන් නැවත තීරණය වෙනස් කරන්නේ දැයි බැලීමටයි. මේ මාස 3න් පසුව අවසානාත්මක තීන්දුව ලබා දේ. නීත්‍යානුකූල ලෙස දික්කසාද වුණු පුද්ගලයෙක් ලෙස සලකන්නේ එවිටයි. තවත් විවාහයක් කරා යෑමට බාධාවක් නොවන්නේ එවිටයි.

එසේම අපේ රටේ නීත්‍යනුකූලව විවාහ විය හැකි වන්නේ කාන්තාවකට හා පුරුෂයකුට පමණි. සමරිසි විවාහයන් ආදිය තවමත් අප රටේ නීත්‍යනුකූල විවාහ ලෙස නොසැලකේ.

තවද ලේ ඥාතින් අතර විවාහය මෙරටදී නීත්‍යනුකූල නොවේ. ලේ ඥාතින් යනු පියා - දියණිය, මව - පුත්‍රයා, සීයා - මිණිබිරිය, වැඩිමහල් සහෝදරයා - බාල සොයුරිය, මවගේ හා පියාගේ පෙර විවාහවල දරුවන් යනාදිය සඳහා අවසර නැත. නෑනා,මස්සිනා විවාහ සඳහා නීතියේ බලපෑමක් නොමැත. එය අධෛර්යවත් කරනුයේ ජීව විද්‍යාත්මක හේතු සාධක මත බව අවබෝධකරගත යුතුය.

ඉතිරි කොටස ලබන සතියේ...

 

උපදෙස් -

කොළඹ විශ්ව විද්‍යාලයේ

නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ

කථිකාචාර්ය චතුරිකා අකුරුගොඩ

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.