හොඳ විනයක් සහිත ලොව ඉහළම පිළිගැනීමක් ඇති රටක්

අගෝස්තු 8, 2022

 

විදෙස් රටක පදිංචියට යන්න ද සූදානම.....

 

කැන්ගරු දේශය නමින් සුප්‍රකට ඔස්ට්‍රේලියාව

 

දකුණු අර්ධ ගෝලයේ පිහිටි ඔස්ට්‍රේලියාවේ නම ලතින් භාෂාවෙන් Terra Australis - "දකුණු දේශය" වෙතින් සෑදුන බවයි කියවෙන්නේ. මෙරට මුල් පදිංචිකරුවන් මීට අවුරුදු 65,000 කට පෙර පැමිණි ආදිවාසීන්. ඔවුන් ඇබෝර්ජිනිඅල්වරු හා ටොරස් සමුද්‍ර සන්ධිය දූපත් වැසියන්. දැනටත් රටේ ජනගහනයෙන් 3.2% ආදිවාසී සහ ටොරස් සමුද්‍ර සන්ධිය දූපත් වැසියන්. එනම් එම ප්‍රමාණය 812,000ක් පමණ වේ.

 

1606 දී ඕලන්ද දේශ ගවේෂකයන් විසින් ඔස්ට්‍රේලියාව සොයා ගැනුණු අතර, 1770 දී කැප්ටන් ජේම්ස් කුක් ඇතුළු බ්‍රිතාන්‍යයන් විසින් දූපතේ නැගෙනහිර භාගය අත්පත් කරගන්නවා. මුලින්ම ජනාවාසයක් පිහිටවනු ලැබුවේ 1788 දී බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කරන ලද වරදකරුවන් පදිංචි කරවීමට. ඒ නිව් සවුත් වේල්ස්වල. 1850 ගණන්වල මුල් භාගයේ රන් ආකර සොයා ගැනීමත් සමඟ චීනය, උතුරු අමෙරිකාව සහ මහාද්වීපික යුරෝපයෙන් නව සංක්‍රමණිකයන් ගලා එනවා. ඉන්පසුව එළඹුණු දශක කිහිපය තුළ රටේ ජනගහණය ක්‍රමයෙන් වැඩි වෙනවා. පසුව සුදු ජාතිකයන් නොවන සංක්‍රමණවලට සීමා පැනවෙනවා. දෙවැනි ලෝක යුද්ධෙන් පසු යුරෝපීය සංක්‍රමණ යටතේ අධික ජනතාවක් බ්‍රිතාන්‍යයෙන් සහ ඉතාලිය, ග්‍රීසිය සහ ජර්මනියෙන් ඇතුළු යුරෝපා රටවලින් පැමිණෙනවා. 1973 දී වයිට් ඔස්ට්‍රේලියානු ප්‍රතිපත්තිය අහෝසි කිරීමෙන් පසුව, ඔස්ට්‍රේලියාව අනෙකුත් සංක්‍රමණිකයන්ට විවෘත වෙනවා.

 

ජන විකාශනය සහ සංස්කෘතිය බොහෝ දුරට ආසියාවෙන් සිදු වූ සංක්‍රමණ රැල්ලක් ලෙස පරිවර්තනය වෙනවා. කාලයාගේ ඇවෑමෙන් විවිධ රටවලින් පැමිණි සංක්‍රමණිකයන් ඔස්ට්‍රේලියාවේ ජනගහනයේ විවිධත්වයට බලපානවා.

 

පවත්නා තත්ත්වය හමුවේ ලාංකිකයන් බොහෝ පිරිසක් විදෙස්ගත වන්නට සිතති. ඒ නිසාම අපි ලොව පිළිගත් විදෙස් රාජ්‍යයන් පිළිබඳ ඔබේ දැනුම වෙනුවෙන් ලිපි පෙළක් ගෙන එන්නෙමු. පසුගිය සතියේ අපි ඔබ දැනුවත් කළේ ඔස්ට්‍රේලියාව පිළිබඳයි. එම ලිපියේ ඉතිරි කොටසයි මේ.

සමහර වෘත්තිකයන් සඳහා ඔස්ට්‍රේලියානු සුදුසුකම් සපුරා ගැනීම අවශ්‍ය වෙනවා. ශ්‍රම බලකායේ සහභාගීත්වය ඉහළ නැංවීම සහ ශ්‍රම බලකායේ විවිධත්වය වැඩි කිරීම සඳහා මෑත දශක කිහිපය තුළ සිදුවූ විදේශ සංක්‍රමණය නිසා ජනගහනය වර්ධනය වී තිබෙනවා. ඔස්ට්‍රේලියාවට ධනාත්මක ආර්ථික දායකත්වයක් ලබා දීම සඳහා තරුණ, වඩා දක්ෂ හා පුහුණු සංක්‍රමණිකයන් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින්, ශ්‍රම බලකායේ සංයුතිය ද සලකා බලා, විවිධ ක්ෂේත්‍ර සඳහා පුහුණු සංක්‍රමණිකයන් ඉලක්ක කර, ඔස්ට්‍රේලියාව විවිධ සංක්‍රමණ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.

ඔස්ට්‍රේලියාවේ සෑම නිවෙසකම වාගේ වාහනයක් තිබුණත් අවශ්‍ය අවස්ථාවල දී පොදු ප්‍රවාහනය භාවිත කරනවා. විශේෂයෙන්ම එය ප්‍රධාන නගරවලට යාම හා රැකියාවලට යාම පහසු කරනවා. ඒ සඳහා මුදල් දමා කාර්ඩ් පතක් මිලදී ගැනීමත් නැවත මුදල් දමා ටොප්අප් කිරීමත් කළ යුතුයි. රටේ විශාලත්වය නිසා දුර ගමන් සඳහා විශේෂ බස්, දුම්රිය හෝ ගුවන්යානා සේවාවක් භාවිත කළ හැකියි. වාහන පැදවීමේ දී වන වැරැදිවලට දඩ ගැසීමට අමතරව තමාගේ ලකුණු අඩුවීමත් සිදුවෙනවා. ඒ වගේම කුඩා දරුවන් සඳහා වාහනයට වෙනම ළදරු ආසන සවි කළ යුතු අතර දරුවන් තනියම වාහනයේ දමා යා නො හැකියි. එමෙන්ම වාහනයක යන්නකු තම රථයේ නලාව ගසන්නේ වෙනත් රථයක අයකු වැරැද්දක් කළොත් පමණි.

ඔස්ට්‍රේලියාව Medicare සෞඛ්‍ය සේවාව මඟින් සිය පුරවැසියන්ට හා ස්ථිර පදිංචිකරුවන්ට ප්‍රතිලාභ සපයනවා. ඒ සඳහා ලියාපදිංචි වූ විට, අවශ්‍ය සෞඛ්‍ය සේවා සඳහා යම් හෝ සියලුම වියදම් ගෙවනවා. නමුත් සියලුම වෛද්‍ය සේවාවන් සඳහා ගෙවන්නේ නැ. එයට අරමුදල් සපයනු ලබන්නේ Medicare බද්ද ලෙස හැඳින්වෙන ආදායම් බදු මගින්. වැඩ කරන ඔස්ට්‍රේලියානුවන් ඔවුන්ගේ ආදායම් බද්දේ කොටසක් ලෙස Medicare බද්ද ගෙවනවා. සුදුසු මට්ටමේ පෞද්ගලික රෝහල් රක්ෂණයක් නොමැති ඉහළ ආදායම් ලබන්නන් Medicare බද්ද නම් අධිභාරයක් ද ගෙවනවා. ප්‍රාන්ත රජයන් විසින් රෝහල් සහ අනුයුක්ත බාහිර රෝගී සේවා කළමනාකරණය කරන අතර, පොදුරාජ්‍ය මණ්ඩලය විසින් ඖෂධවල මිල සඳහා සහනාධාර දීම සහ සාමාන්‍ය භාවිතය සඳහා අරමුදල් සපයයි. ඒවගේම COVID-19 වසංගතය අතරතුර ඔස්ට්‍රේලියාව වඩාත් සීමාකාරී නිරෝධායන ප්‍රතිපත්ති අනුගමනය කළ රටක්.

ප්‍රාදේශීය පාලන ආයතන වෙත නිවාස හිමියන් වරිපනම් ගෙවිය යුතුයි. ඔවුන් විසින් කසළ කළමනාකරණය, ප්‍රදේශයට අයත් පුස්තකාල නඩත්තු කිරීම ආදිය කරනවා. ලබාදෙන ලද බඳුන්වලට කසළ වෙන්කර දැමිය යුතු අතර, සෑම සතියකම කසළ බඳුන් එකතු කරනවා. සතියකට දෙවරක් ප්‍රතිචක්‍රීකරණය සහ ගෙවතු අපද්‍රව්‍ය බඳුන් එකතු කරනවා. එසේම පුස්තකාල මඟින් දරුවන් කියවීමට උනන්දු කරන වැඩසටහන්, යෞවනයන් හා කාන්තාවන් සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.

නිවාස විකිණීම හා කුලියට දීම කරන්නේ බාහිර ආයතනයක් මඟින්. ඒ නිසා දෙපාර්ශවය මුණ ගැසෙන්නේ නැහැ. සම්මුතියක් අත්සන් කර කුලියට දෙන ලද ගෙවල් මාස තුනකට වරක් ඒජෙන්සි මඟින් විසිත්ත කර කුලියට ගත පුද්ගලයා එම නිවාස හොදින් නඩත්තු කරනවා දැයි බලනවා. නිවෙස බාරදීමේ දී එය හොඳින් පිරිසුදු කර බාර දිය යුතු වනවා. නැතිනම් තැන්පත් මුදලින් එය අයකර ගැනීමට ඔවුන්ට පුළුවන්. නැවත නිවෙසක් කුලියට ගැනීමේ දී පෙර විස්තර බලනවා.

රටේ නිවාස හිමියන් බොහොමයක් සුර්ය බල ශක්තිය කරා යොමුවෙනවා. ශිත කාලයට ඉර එළිය අඩුවුණත් එය පරිසරයට මෙන්ම තමන්ගේ පවුලේ අයවැයටත් හොඳයි. සාමාන්‍ය පවුලක නිවාස ණය හෝ කුලිය, ජල, විදුලි, ගෑස්, ඉන්ධන බිල්පත්, වරිපනම්, ලියාපදිංචි අලුත්කිරීම් හා රක්ෂණ, අධ්‍යාපන හා ආහාර මූලික වියදම් වෙනවා.

බහු සංස්කෘතීන් රටේ වාසය කරන නිසා ආහාරපානවල විවිධත්වයක් තියෙනවා. ආසියානු ආහාර සඳහා ඔස්ට්‍රේලියානු වෙළෙඳසල් ජාලාවල අංශයක් තියෙනවා. ඒ වගේම විවිධ ජාතින් ප්‍රධාන නගර හා උප නගරවල තම අවන්හල් හා ග්‍රෝසරි පවත්වාගේන යනවා. ඍතු භේදය නිසා සමහර එළවළු, පලතුරු කාලීනයි. ඝර්ම කලාපිය එළවළු, පලතුරු රටේ උතුරු හා ඊසාන දිග පෙදෙස්වල විශේෂයෙන් කුවින්ස්ලන්තයේ වැවෙනවා. ඒවගේම බෝතල් හා ටින් කරන ලද, වියළන ලද හා ශිතකරණ ලද එළවළු, පලතුරු මිල දී ගැනීමට තියෙනවා. බොහෝ අය තම ගෙවත්තේ මල්වලට අමතරව පලතුරක්, එළවළුවක් වවනවා.

මේ සමාජය හරි නිදහස්. එමෙන්ම මින්සුන් විනයානුකුලව වැඩ කරනවා. අසලවැසියන්ට කරදරයක් වෙන ලෙස ජීවත් වෙන්නේ නැහැ. මඟ හමුවූ විට සිනාසී සුබ පතනවා, ඔබගේ දවස කෙසේද කියා අසනවා. යම් රාජකාරි කටයුත්තක් ඔන්ලයින් කර ගැනීමේ පහසුකම් තියෙනවා. නැතිනම් වෙලාවක් වෙන්කරගෙන ගොස් එය ඉටුකරගත හැකියි. මේ නිසා කාලය ඉතුරු වෙනවා. තමාගේ වාරය එනතුරු රැඳී සිටිනවා. කවුරු හෝ වැරැදි කළ විට පෙන්වා දෙනවා.

ඔස්ට්‍රේලියානු සමාජයේ නිවාඩු ලද විට ඇවිදින්නට යනවා. විශේෂයන් ග්‍රීෂ්ම සමයේ දහවල් කාලය දිගුයි. ඉර බහින්නේ පමාවී. රස්නය නිසා ඒ කාලයට එළිමහනේ ක්‍රීඩා කරනවා. මුහුදු වෙරළේ ගත කිරීම, ස්ර්ෆින්ග්, බෝට්ටු පැදීම් ආදිය බහුලයි. ඔස්ට්‍රේලියානු සොසේජස් සිසල්, පැව්ලෝවා, ලැමිංටන්, මීට් පයි, වෙජිමයිට් සහ ඇන්සාක් බිස්කට් ඔස්ට්‍රේලියානු ආහාර ලෙස සැලකෙනවා. බාබකියු, වයින් සහ බියර් නිෂ්පාදනය හා භාවිතය මෙන්ම නාගරික මධ්‍යස්ථානවල කැෆේ සහ කෝපි සංස්කෘතිය සඳහා ද ඔස්ට්‍රේලියාව ඉතා ප්‍රසිද්ධයි. පාපන්දු සහ ක්‍රිකට් මෙහි ජනප්‍රිය ක්‍රීඩා.

දකුණු අර්ධ ගෝලයේ නිසා ශීත කාලය ජුනි සිට අගෝස්තු මාසය දක්වා. රාත්‍රිය දිගුයි. නමුත් ශීත කාලයෙත් සුපුරුදු පරිදි පාසල් පැවැත්වෙනවා. මිනිසුන් තමන්ගේ රැකියාවලට යනවා. එසේම රටේ විශලත්වය නිසා වේලා කලාපයන් තුනක් පවතිනවා. ඕස්ට්‍රේලියානු බටහිර නගර හා ලංකාව අතර කාල වෙනස පැය දෙකයි විනාඩි තිහක්. නමුත් ඔස්ට්‍රේලියානු නැගෙනහිර නගර හා ලංකාව අතර කාල වෙනස පැය හතරයි විනාඩි තිහක්. වසන්තය හා ග්‍රීෂ්ම සමයේ දිවා ආලෝකය ඉතිරි කිරීමේ හා වැඩි ප්‍රයෝජනයක් ගැනීමේ අරමුණින් සමහර ප්‍රාන්තවල වේලාවන් පැයක් ඉදිරියට ගේනවා. එවිට වෙනස තවත් පැයකින් වැඩිවෙනවා. ඉතින්, ලංකාව වගේම ඔස්ට්‍රේලියාව දූපතක්. පිහිටීමේ, දේශගුණය හා සම්පත්වල වෙනස්කම් තියෙනවා. නමුත් මිනිසුන්ගේ ධනාත්මක ආකල්ප, විනය මෙන්ම මහන්සි වී වැඩ කිරීමෙන් මේ රට මේ තත්ත්වයට පත් වී තිබෙනවා. අපිටත් එහෙම කරන්නට හැකි නම් අපේ රටත් හොඳ තත්ත්වයකට ගේන්න පුළුවන්.

 

 

ශ්‍රී ජයවර්ධනපුර සරසවියෙන් විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලන විශේෂ උපාධිය සමත්ව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රාජ්‍ය වාණිජ බැංකුවක ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනියක් ලෙසින් සේවය කර දැනට ඔස්ට්‍රේලියාවේ, මෙල්බර්න් හි පදිංචිව හිඳින ශානිකා ප්‍රනාන්දු මෙල්බන් සිට ලියයි