හිම කඳුවලින් වට වූ යුරෝපයේ හදවත ස්විට්සර්ලන්තය

නොවැම්බර් 7, 2022

සුදෝ සුදු හිමවලින් සැරසිලා උසට උසේ නැඟී හිඳින කඳු වැටි.. බැලු බැලු අත දිස්වන සුන්දරත්වය නෙතු මවිත කරනවා. තවත් කාලෙක නෙක වර්ණ මල් සමඟ හරිත වර්ණ ගහකොළ සුළඟට නටනවා. පාරාදීසයක් තරමටම සුන්දරයි.

 

ලොව වෙසෙන බොහෝදෙනකු දවසකට හරි යන්න හිතන, සිහින දකින සුන්දර දේශයක්. යුරෝපයේ හදවත ලෙස හඳුන්වන මේ ලස්සන රට ස්විට්සර්ලන්තය යි. අද අප ඔබ කැඳවාගෙන යන්නේ මේ සුන්දර දේශය වෙතයි. ස්විස් ජාතිකයන්ට අමතරව ලෝකයේ හැම ජාතියකටම අයත් මිනිසුන් මෙහි ජීවත් වෙනවා. ඉතාමත් නීතිගරුකව හැම කෙනකුටම සමගියෙන් ජීවත් වීමට හැකි ලෙස විනය, නීතිය සහ පාලනය ඉහළින්ම ඇති රටක්.

මම ජීවත් වන්නේ ස්විට්සර්ලන්තයේ සූරිච් නගරයේ. සූරිච් ගුවන්තොටුපොළට පයින් යන දුරක. ගුවන්තොටුෙපොළ පිහිටා තියෙන්නේ සූරිච්වල ක්ලෝතන් කියන නගරයේ. ඊට අමතරව ජිනීවා, බාසල් වැනි දිස්ත්‍රික්කවලත් ගුවන්තොටුපොළ තිබෙනවා. සූරිච් ගුවන්තොටින් ස්විට්සර්ලන්තයට ගොඩබහින්නේ නම් හාත්පස දකින දසුනින් ඔබ පුදුමයට පත් වේවි. ඒ සූරිච් ගුවන්තොටුපොළ අවට ඇති ඉතාමත් සශ්‍රීක ගොවිබිම් සහ වගාවන් නිසායි. මෙරට ප්‍රධාන වෙළෙඳ නගරය වන්නේ ද සූරිච්. ඉතාමත් මිල අධික නගරයක්. ලොව වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණෙන නගරයක්.

ඒත් ස්විට්සර්ලන්තයේ අගනුවර නම් බර්න්. එය ඉතාමත් සුන්දර, පැරණි නගරයක්. ස්විට්සර්ලන්තය සොබා සෞන්දර්යය අතින් ඉහළම තැනක පිහිටි කඳුවලින් වටවුණු පුංචි රටක්. රට වටේ මනරම් ගංගා ගලා බසිමින් සෞන්දර්යය වැඩි කරනවා.

මෙහි භාවිත කරන මුදල් ඒකකය

ස්වීස් ෆ්‍රෑන්ක්. අද එය ලංකාවේ මුදලින් ඉතා ඉහළ අගයක් ගන්නවා. එය අමෙරිකානු ඩොලරයටත් ඉහළින් තිබෙන්නේ. ප්‍රංශය, ඉතාලිය, ඔස්ට්‍රියාව සහ ජර්මනිය මායිම් කරගෙන ඒ රටවලට මැදිව පිහිටි රටක්. වර්ග ප්‍රමාණය අතින් ලංකාවටත් වඩා ප්‍රමාණයෙන් කුඩා රටක්. ජනගහනය මිලියන 7.8 ක් පමණ වෙනවා. ප්‍රධාන පරිපාලන දිස්ත්‍රික්ක 26කින් සමන්විත වන අතර ලෝකයේ ධනවත්ම රාජ්‍යය අතුරින් ද එකක් වෙනවා. මේ රටේ භාෂා තුනක් ප්‍රධාන ලෙස කතා කරනවා. ඊට අමතරව රොමාන්ශ් භාෂාව කතා කරන පිරිසකුත් ඉන්නවා.

ප්‍රංශයට මායිම්ව පිහිටි ජිනීවා ප්‍රදේශවල ප්‍රංශ භාෂාව ද ඔස්ට්‍රියාව සහ ජර්මනියට මායිම්ව සූරිච් ප්‍රදේශයේ ජර්මන් භාෂාව ද ඉතාලියට මායිම්ව පිහිටි ප්‍රදේශවල ඉතාලි භාෂාව ද කතා කරනවා. අප ජීවත් වන සූරිච්වල කතා කරන්නේ ජර්මන් භාෂාවෙන්. ඉංග්‍රීසි භාෂාව මේ රටේ ප්‍රධාන භාෂාවක් නොවෙයි.

ජර්මන් භාෂාව කතා කරන ප්‍රදේශවල රැකියා කිරීමට ජර්මන් කතා කිරීම අනිවාර්ය වෙනවා. ඒ වගේම මෙහි තරගකාරී අධ්‍යාපන රටාවක් නැහැ. පාසල් අධ්‍යාපනයෙන් පසුව සෑම දරුවෙක්ම රැකියාවක් කිරීමට පුහුණු කරනවා. ඒ වගේම උසස් අධ්‍යාපනයට යොමු කරනවා. එම නිසා සෑම ළමයකුටම හොඳ රැකියාවක් ලබා ගැනීමට පුළුවන්. ලෝකයේ රැකියාවකට ඉතාමත් ඉහළ වැටුපක් දෙන රටක් ලෙස

ස්විට්සර්ලන්තය නම් කරන්න පුළුවන්. ඉතාමත් නවීන තාක්ෂණය

සහ දක්ෂ වෛද්‍යවරුන්ගෙන් සමන්විත කාර්යක්ෂම රෝහල් පද්ධතියක් මෙරට තියෙනවා. හිම කඳු හැරුණු විට ස්විට්සර්ලන්තය වඩාත්ම ප්‍රසිද්ධ චොකලට් සහ ඔරලෝසුවලටයි. ලෝකයේ ඉතාම වටිනා මිල අධික ඔරලෝසුවලටත්, ලෝකයේ රසම සහ හොඳම චොකලට්වලටත් ස්විට්සර්ලන්තය නම ගිය රටක්.

මේ රටේ සංචාරය කිරීමට නම් සමර්වලට වගේම වින්ටර් සීසන් එකටත් වැඩියෙන් සංචාරකයන් එනවා. ඒ අයිස් කඳු සහ හිම මත ක්‍රීඩා කිරීම සඳහා. ඇල්ප්ස් කඳු වැටිය වට කර ගත් සුන්දර ස්විට්සර්ලන්තයේ ඇල්ප්ස් කඳු මුදුන්වල මුළු අවුරුද්ද පුරාම හිම දැක ගන්න පුළුවන්. මේ ග්ලැසියර් නැරැඹීමට දහස් ගණන් සංචාරකයන් වසර පුරා පැමිණෙනවා. ඔබ හැමෝම රස විඳීමට කැමැති ටොබ්ලැරෝන් චොකලට් පෙට්ටියේ තිබෙන මැටර්හෝන් කඳු පංතිය මතක ද? මෙය පිහිටා තිබෙන්නේ ස්විට්සර්ලන්තයේ. ඊට අමතරව ඇල්ප්ස් කඳු පන්ති අතර තවත් සංචාරකයන් පැමිණෙන කඳු බොහොමයක් තිබෙනවා. ග්ලැසියර් නරඹමින් මේ මනරම් කඳු පන්ති රිසි සේ බලාගෙන ඔබ වෙනමම ලෝකයකට රැගෙන යාමට ඉතාමත් විශිෂ්ට දුම්රිය පද්ධතියක් මෙහි තිබෙනවා. කඳු අතර යාමට ඉතාමත් නවීන කේබල් කාර් පද්ධති දහස් ගණනක් තිබෙනවා. යුරෝපයේ ඉතාමත් වේගවත්, නියමිත වෙලාවට ධාවනය වන, කාර්යක්ෂම දුම්රිය සේවයක් හිමිවන්නේ මෙරටටයි.

 

අවුරුදු 17ක් පුරාවට ඉදිකිරීම් කෙරෙන ගොතර්ඩ් ටර්නල් එක කිලෝමීටර් 57ක් පුරාවට විහිදී යනවා. මෙය ලෝකයේ දිගම උමං මාර්ගය බව ඔබ සමහර විට නොදන්නවා ඇති.

ඒවගේම තමයි වසන්ත කාලය පටන් ගන්නවාත් සමඟ හිරු බසින නැඟෙන වෙලාව දිගු වෙන නිසා දවල් කාලය දිගු කාලයක් වෙනවා. මැයි මාසය පටන් ගන්න කොට රාත්‍රී අඳුර වැටෙන්න ගොඩාක් වෙලාව ගන්නවා. ඒ කියන්නේ කළුවර වැටෙන්නේ රෑ 10ට පමණ. එතකොට දවල් කාලය ඇතිවෙනකම් තියෙනවා. ඒ අත්දැකීමත් හරිම සතුටක්.

මාස 4ක් විතර තද ශීතලට වෙලා තදට ඇඳුම් වර්ග කීපයක්ම ඇඳ ගෙන එළියට යන්නවත් ආස නැති කාලය පහුකරන කොට සිතට ඇතිවෙන සතුට කොහොම කියන්නද?

ඉතින් මිනිස්සු හැමෝම මේ කාලෙට හරිම විනෝදෙන් සතුටින් ගත කරනවා. පුංචි ළමයින්ට ඇතිවෙනකම් සෙල්ලම් කරන්න, බයිසිකල් පදින්න, පිහිනන්න, දුවන්න, පනින්න දුන්න කාලය තමයි මේ. ඒ වගේම හැමෝම ඇවිදින්න යනවා. කැලෑවල සහ කඳු නැඟීම ප්‍රධාන තැනක් ගන්නවා. ඒ වගේම පෙබරවාරි අවසානයේ මාර්තු මාසය පටන් ගන්න කොට ස්විට්සර්ලන්තයේ ලස්සන ගංගාවල බෝට්ටු සහ නැව් ගමනාගමනය පටන් ගන්නවා. එතකොට ගංගාවල නැව්වලින් ගමන් කරමින් එහි අසිරිය විඳින්න හැමෝටම පුළුවන්.

කඳු නැඟීමත් කඳු උඩ කේබල් කාර්වලින් ගමන් කිරීමත් හරිම විනෝදජනකයි. මේ රටේ විශ්‍රාම ලබන්නේ අවුරුදු 65න්. ඒත් ඒගොල්ලො ඒ වයසෙ දි හරිම ශක්තිමත්. ඒ වගේම හරිම සුහදශීලියි. වයසට යනකොට ඇතිවෙන ලෙඩරෝගවලින් ආරක්ෂා වෙන්න වගේම ශරීර සුවතාව වෙනුවෙන් මේ කාලෙදි හොඳට ඇවිදිනවා. ත්‍රාසජනක (Adventure) අත්දැකීම් ලබනවා. පිහිනනවා. ඒ වගේම සංචාරය කරනවා. ජූලි මස මැද සිට අගෝස්තු දක්වා සති 5ක පාසල් නිවාඩුවක් ලැබෙනවා. අවුරුද්දකට ලැබෙන දිගම පාසල් නිවාඩුව එයයි.

මේ කාලයට මාපියන් ද රැකියාවලින් නිවාඩු ලබා ගන්නවා. පාසල් සහ පෙරපාසල් යන ළමුන් සිටින මාපියන් සඳහා රැකියාවලින් නිවාඩු ලබාගන්න මේ කාලෙට පුළුවන්. බොහෝ විට විවිධ රටවලට සංචාරය කරන්නේ වැඩිපුරම මේ කාලෙදි. ගුවන්තොටුපොළ ඉතාමත් කාර්යබහුල සති කීපයක්.

ජුනි, ජූලි සහ අගෝස්තු සමර් එක, මේ කාලයට උෂ්ණත්වය ගොඩක් වැඩි වෙනවා. සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 30 ඉඳලා 35 වෙනවා. සමහර විට 38 විතර වෙනකම් වැඩි වෙනවා. ඒක වෙලාවකට වධයක් වෙන තරම් දැනෙනවා. ඒ වුණත් මේ කාලෙට ලස්සනට, කැමැති විදියට ඇඳුම් අඳින්නත් පුළුවන්.

මේ කාලෙදි ගෙදර මිදුලේ, වත්තේ, බැල්කනි එකේ ලස්සනට මල්, එළවළු ටිකක් වවන්න පුළුවන්. ඉඩකඩ තියෙන විදියට විවිධ දෑ වගා කරනවා. මේ කාලයට ඔබ ආවොත් නිසැකවම ඔබ පුදුමයට පත්කරන්නේ දසත විහිදුණු විවිධාකාර මල්වල සුන්දරත්වයයි. මේ කාලයට මල් ගහක් පැළ කරන්නේ නැති ගෙදරක් සහ තැනක් සොයා ගැනීම පවා අසීරු දෙයක්. ඒ වගේම මේ කාලයට වගා කිරීම්වලට කුලී පදනම මත පුංචි ඉඩකඩ ලබාගන්න ඕනෙම කෙනකුට පුළුවන්. විවේකය තියෙන විදියට වගා කටයුතු සඳහා යොමු වෙන්න කිසිම බාධාවක් නෑ. ස්විට්සර්ලන්තයේ අපනයන භාණ්ඩ අතර චීස් ප්‍රධාන තැනක් ගන්නවා. විවිධ චීස් වර්ග සිය ගණන් වෙළෙඳපොළේ තිබෙනවා. ප්‍රධාන ආහාර වන්නේ කිරි, චීස් සහ අර්තාපල්.

මේ රටේ සංචාරය කරන්න ඔබත් එනවා නම් තෝරා ගන්න හොඳම කාලය මැයි සිට සැප්තැම්බර් මුල් සති කීපයයි. ඒත් ඔබ කැමැති හිම සමඟ අත්දැකීම් එක්ක විනෝද වෙන්න නම් ඔබ එන්න ඕනෙ දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා කාලයේයි. ඒකත් වෙනම සුන්දරත්වයක් බව කිව යුතුමයි. ඔබටත් මුදල් තියෙනවා නම් යුරෝපයේ සංචාරයක් කරන්න පුළුවන්. ස්විට්සර්ලන්තයේ තානාපති කාර්යාලය හරහා වීසා අයදුම් කිරීමට පුළුවන්.

Schengen Visa අයදුම් කිරීමෙන් අවට රටවල අසිරියත් විඳගන්න පුළුවන්. ජර්මනිය, ඔස්ට්‍රියාව, ඉතාලිය, ඩෙන්මාර්ක්, නොර්වේ, ස්පාඤ්ඤය, ලක්සම්බර්ග්, නෙදර්ලන්තය, බෙල්ජියම, ප්‍රංශය, ස්වීඩනය, පෘතුගාලය ළඟම පිහිටි රාජ්‍යයන් කීපයක්. බස්රථ සහ දුම්රිය සේවය වගේම ගුවන් ගමන් මේ සඳහා විවෘතයි. ඔබ වියදම් කරන මුදල්වලට ගැළපෙන විදිහට රාජ්‍යයන් සහ ගමන් මාර්ග තෝරා ගන්න පුළුවන්.

 

ශානිකා විතානගේ කනක

(ස්විට්සර්ලන්තයේ සිට)