ට්‍රැෆික් නැතිව ලයිසන් ගන්නේ මෙහෙමයි

දෙසැම්බර් 28, 2022

 

ඉල්ලුම් කරන්නේ සැහැල්ලු වාහන බලපත්‍රයක් නම් අවුරුදු 17 සම්පූර්ණ වූ විටම පරීක්ෂණයට මුහුණ දිය හැකි වුවත්, ඔබ බර වාහන බලපත්‍රය ඉල්ලුම් කරන්නේ නම් කලින් ලබා ගත් සාමාන්‍ය බලපත්‍රයක් තිබිය යුතුය.

තරුණ වයස එළඹෙද්දීම තරුණයන්ගේ බලාපොරොත්තුව තමන්ටම කියා වාහනයක් ගැනීම, උජාරුවෙන් වාහනයක් පදවාගෙන යෑමය. කාන්තාවන් ද දැන් අතීතයට වඩා ස්වාධීන වී සිටීම හේතුවෙන් ඔබගේ ගමන් බිමන් තනිවම යෑමටත්, වැඩකටයුතු තනිව, පහසුවෙන් කර ගැනීමටත් වාහනයක් පැදවීමට හැකි වීම මහත් ප්‍රයෝජනයකි. නමුත් වාහනයක් පැදවීම ලෙහෙසියෙන් කළ නොහැකිය. ඊට අනිවාර්යයෙන්ම තමන් සතුව රියැදුරු බලපත්‍රයක් තිබිය යුතුමය. ඔබ වාහන බලපත්‍රයක් ලබා ගැනීමට කැමැත්තෙන් සිටින්කු නම් අනිවාර්යයෙන්ම දැන ගත යුතු මෙන්ම අනිවාර්යයෙන්ම සපුරා තිබිය යුතු කරුණු කිහිපයක් තිබේ. මේ රියැදුරු බලපත්‍රය පහසුවෙන්ම ගන්නේ කෙසේද? ඊට අවශ්‍ය දෑ මොනවාද? ඔන්ලයින් ලබා ගැනීමේ පහසුකම කෙසේද? මේ ලිපිය ඒ සම්බන්ධයෙන් ඔබව දැනුම්වත් කරනු ඇත.

නිසි වයස සපුරා තිබීම

රියැදුරු බලපත්‍රයක් ගැනීමේදී අනිවාර්යයෙන්ම ඉල්ලුම්කරු නිසි වයස් සීමාව පසු කර සිටිය යුතුමය. ශ්‍රී ලංකාවේ පවතින නීතියට අනුව වයස අවුරුදු 18 සම්පූර්ණ වන ඕනෑම කෙනකුට රියැදුරු බලපත්‍රයක් ලබා ගැනීමේ හැකියාව පවතී. සැහැල්ලු වාහන සඳහා බලපත්‍රය ලබා ගැනීමේදී නම් වයස අවුරුදු 17 සම්පූර්ණ වූ අයකුට වුවද ඒ සඳහා වන පරීක්ෂණයට ඉදිරිපත් වීමට අවස්ථාව හිමි වේ. කෙසේ වෙතත් ඔබට බර වාහන පැදවීමට රියැදුරු බලපත්‍රය ඉල්ලුම් කිරීමට වයස 20 සැපිරිය යුතු අතරම, එම රියැදුරු බලපත්‍රයට හිමිකම් කීමට වයස අවුරුදු 21 සම්පූර්ණ විය යුතුමය.
මේ දේවල් අවශ්‍යයි

ඔබ නව රියැදුරු බලපත්‍රයක් ලබා ගැනීමට සූදානම් වන විට අනිවාර්යයෙන්ම ඉදිරිපත් කළ යුතු ලේඛන කිහිපයක් පවතී. එහිදී පළමුවම ඔබ සතු ජාතික හැඳුනුම්පත, උප්පැන්න සහතිකයේ මුල් පිටපත සහ ඡායා පිටපතක්, රියැදුරු බලපත්‍රයට අවශ්‍ය ප්‍රමාණයේ ඡායාරූප ලබා ගෙන ඉන් නිකුත් කරන ඡායාරූප රිසිට්පත, මාස 06ක් තුළ ලබා ගත් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය. මෙම වෛද්‍ය වාර්තාව ලබා ගැනීමේදී මොබිටෙල් දුරකතන අංකයකින් රුපියල් 1,650ක් රීලෝඩ් කරගෙන 225 ඇමතිය යුතුය. එසේත් නැතිනම් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ (NTMI) වෙඩ් අඩවිය ඔස්සේත් වෛද්‍ය වාර්තාව ලබා ගැනීම සඳහා දින හා වේලාවන් වෙන් කර ගැනීම සිදු කර ගත හැකිය. මේ සියලු ලේඛන සහිතව ඔබ (RMV) මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත යා යුතුය. මෙහිදී සිහිතබා ගත යුතු කරුණ වන්නේ රියැදුරු බලපත්‍රය ලබා ගැනීමට අවශ්‍ය ඔබට නම් ඔබ අනිවාර්යයෙන්ම එම කාර්යාලය වෙත යා යුතු වීමයි.

RMV යන්න වේලාවත් වෙන් කර ගන්න

ඔබේ සියලු ලේඛන සහිතව ඔබ RMV වෙත යෑමට ප්‍රථමයෙන් දිනයක් හා වේලාවක් වෙන් කර ගැනීම අනිවාර්ය වේ. එම කාර්යය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් සිදු කර ගත හැකිය. එසේත් නැතිනම් තමාගේ දිස්ත්‍රික්කයට අදාළ දිස්ත්‍රික් කේතය අමතා, (උදාහරණයක් ලෙස කොළඹ දිස්ත්‍රික්කයේ නම් 0112117116, කළුතර නම් 0342117116 අමතා) අදාළ වේලාව වෙන් කර ගත හැකිය. මෙහිදී මාර්ගගත ක්‍රමයටත්, මාර්ගගත ක්‍රමයෙන් පිටතත් වාහන බලපත්‍රය නිකුත් කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ සඳහන් කර තිබේ.

ඔන්ලයින් ක්‍රමයට රියැදුරු බලපත්‍රය

මාර්ගගත හෙවත් ඔන්ලයින් ක්‍රමයට රියැදුරු බලපත්‍රය ලබා ගැනීමට පහසුකම් සලසා තිබීම කාර්ය බහුල ජීවිතයක් ගත කරන බොහෝදෙනාට ප්‍රයෝජනවත් වන්නකි. දැනට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර පිහිටි ප්‍රධාන කාර්යාලයේ මෙන්ම කුරුණෑගල, හම්බන්තොට, ගම්පහ, අනුරාධපුර, කළුතර, මොනරාගල සහ යාපනය යන කාර්යාලවලත් ඔන්ලයින් ක්‍රමයට රියැදුරු බලපත් නිකුතුව සිදු කරයි. ඒවායින් හම්බන්තොට හා අනුරාධපුර කාර්යාල මඟින් මුද්‍රණය ද සිදු කරයි. ඉහත සඳහන් කාර්යාලවල හැර සෙසු කාර්යාලවලින් ඕෆ්ලයින් හෙවත් මාර්ගගත ක්‍රමයෙන් බැහැරව බලපත් නිකුත් කරයි.

සැහැල්ලු හා බර වාහන අතර වෙනස

ඔබ ඉල්ලුම් කරන්නේ සැහැල්ලු වාහන බලපත්‍රයක් නම් අවුරුදු 17 සම්පූර්ණ වූ විටම පරීක්ෂණයට මුහුණ දිය හැකි වුවත්, ඔබ බර වාහන බලපත්‍රය ඉල්ලුම් කරන්නේ නම් කලින් ලබා ගත් සාමාන්‍ය බලපත්‍රයක් තිබිය යුතුය. එසේම අවම වශයෙන් එම බලපත්‍රය වසර 2කට වඩා පැරණි විය යුතුය. සැහැල්ලු බස් හා ලොරි පැදවීමට නම් ඔබ උස අඩි 4යි අඟල් 10ට නොඅඩු පුද්ගලයකු වීම ද අව්‍යශ්‍ය වේ. විශාල බස් හා ලොරි රථ ධාවන බලපත්‍රයකට හිමිකම් කීමට අනිවාර්යයෙන්ම උස අඩි 5ක් තිබිය යුතුය. එමෙන්ම ඊට අදාළ ලිඛිත පරීක්ෂණයට මුහුණ දිය හැක්කේ වයස 20 සැපිරූ අයකුටය. ඔබගේ වයස 21 වූ විට ඔබ අතට බර වාහන බලපත්‍රය ලබා ගැනීමේ හැකියාව පවතී.

බලපත්‍රය අතට ගන්න නම්,

මේ සියලු කාර්යයන් සපුරා ලිඛිත පරීක්ෂණය සමත් වන ඔබ අතට වාහන පැදීම පුරුදු වීම සඳහා අවසර පතක් හිමි වේ. එම අවසර පත හිමි වී අවම මාස 3ක් ඇතුළත අදාළ පරීක්ෂණයට මුහුණ දිය හැකිය. රියැදුරු බලපත්‍රය ලබා ගැනීමට නම් මේ විභාගය සමත් වීම අනිවාර්ය වේ. බර වාහන බලපත්‍රය ලබා ගැනීමේදී ඇතැම් වාහන සඳහා මෙම සුදුසුකම්වලට අමතරව තවත් විශේෂ බලපත්‍රයක් ලබා ගැනීම ද අනිවාර්ය වේ. මේ සියල්ලෙන් අනතුරුව ඔබ අතට ඔබේ වාහන පැදවීමේ අවසර පත හෙවත් වලංගු රියැදුරු බලපත්‍රය හිමි වේ.

රියැදුරු බලපත්‍රය අලුත් කර ගැනීමට

අතීතයේ මෙන් වර්තමානයේ එකම රියැදුරු බලපත්‍රය දිගටම භාවිත කිරීමට හැකියාවක් නැහැ. රියැදුරු බලපත අලුත් කර ගැනීමට රැගෙන යා යුතු වන්නේ කල් ඉකුත් බලපත්‍රය, ජාතික හැඳුනුම්පත හා මාස 6ක් ඇතුළත ගත් වෛද්‍ය වාර්තාවයි. එහිදී ද අලුතින් ඉල්ලුම් කරනවා සේම වෛද්‍ය පරීක්ෂණයට මුහුණ දී පෙර පරිදිම දින වෙන් කරවා ගත යුතුයි.

අලුත් කරන්න ගාස්තුවක්

රියැදුරු බලපත්‍රය අලුත් කර ගැනීමට ඔබගෙන් රුපියල් 1,700ක මුදලක් අය කර ගනී. බලපත්‍රය අලුත් කර ගැනීමේ සහන කාලය ඉක්මවා ඇති නම් ඔබට ඊට රුපියල් 250ක් සහ ඊට වැඩි වන සෑම වසරකටම රුපියල් 250ක් වශයෙන් ගෙවීමට සිදු වනු ඇත. එපමණක් නොව, රියැදුරු බලපත්‍රයේ සංශෝධන සිදු කරන විට ඒ සියල්ලකටම වෙන වෙනම ගෙවීම් සිදු කිරීමට ඔබට සිදු වේවි.

සැලකිය යුතුම දේ

ඔබට කිසිම කරදරයකින් තොරව මේ දේවල් සිදු කර ගැනීමට නම් අදාළ ක්‍රමවේදය අනුගමනය කිරීම කළ යුතුමයි. ඒ වගේම රියැදුරු බලපත අලුත් කර ගැනීමට යෑමේදී හැකිතාත් කල් ඉකුත් වන්නට මසකට හෝ පෙර වෛද්‍ය පරීක්ෂණයට සහ RMV එකට දින වෙන් කරවා ගැනීම කළ යුතුයි. එමෙන්ම ස්මාර්ට් කාඩ්පත් හිඟය හේතුවෙන් මේ දිනවල ලබා දෙන තාවකාලික ගමන් බලපත්‍රය ප්‍රවේසමෙන් පරිහරණය කිරීමට ද ඔබ වගබලා ගත යුතුය.