හොයන්නේ බලන්නේ නැතිව රට යන්නේ පරිස්සමින්

නොවැම්බර් 28, 2022

 

ඔවුන්ගේ ප්‍රධානම ඉලක්කය බවට පත්ව තිබෙන්නේ දුරබැහැර ප්‍රදේශවල අව වරප්‍රසාදිත කණ්ඩායම්වල තරුණියන් සහ කාන්තාවන්ය. ජාවාරම්කරුවන් ඔවුනට අලුත් ලෝකයක් පෙන්වා දෙන්නේ රට ගිය ගමන් ඔක්කොම හරි යන අදහස කතුන්ගේ සිත්වල තහවුරු වන ලෙසය.

 

අසුන්දර ජීවිතය සුන්දර කර ගැනීම බොහෝ තරුණ තරුණියන්ගේ සිහිනයයි. ඒ සුන්දර සිහින සැබෑ කර ගැනීමට ඔවුහු විවිධ මංපෙත් තෝරා ගනිති. ඉගෙනුමෙන් දුර ගිය අය මෙරට රැකියා කරති. තවත් අය ඇඟලුම් කම්හල් වෙත යන්නේ තාරුණ්‍යයේ සිහිනය සැබෑ කර ගැනීමටය. ඒ සියලු මාර්ග අමතක කරන සමහරු තම අනාගතය සුන්දර කර ගැනීමටත් තම සමීපතමයන්ගේ ජීවිතය සුන්දර කර දීම සදහා තෝරා ගන්නේ විදෙස් රැකියා වෙත යොමු වීමය. රට ඇතුළත රැකියාවක් කරනවාට වඩා විදෙස් රටක ගොස් රැකියාව කිරීම අමුතු සහ අපහසු අත්දැකීමකි.

එහෙත් තමන් සහ තමන්ගේ සමීපතමයන් වෙනුවෙන් ඔවුහු ඒ අපහසු තීරණය පවා ගනිති. විදෙස් රැකියාවක් කියූ විට එහිද විවිධ අංග සහ අංශ තිබේ. සමහරු ඉතාලියට හෝ බටහිර රටකට යොමු වෙති. ඒ රටවලට යොමු වන්නෝ තරමක හෝ සුව පහසු ලෙස රැකියාව කරති. සැලකිය යුතු ඉහළ වැටුපක්ද ලබති. එවැනි රටවල්වලට යොමු වන්නේ සුළුතර පිරිසකි. අපේ ශ්‍රමිකයන්ගෙන් වැඩිපුර පිරිසක් තමන්ගේ සිහින සැබැ කර ගැනීමට තෝරා ගන්නේ මැදපෙරදිග වැලි කතරේ පිහිටි සෞදි ආරාබිය, කුවේටය, ඕමානය වැනි රටවල්ය. එම රටවලට යන්නේ තරුණයනට වඩා තරුණියන් සහ තරුණ කාන්තාවන්ය.එයින් බොහෝ අය අවුරුදු තිස්පහට පහළ තරුණියන්ය. දසක හතරකට එහා කාලයක් පුරා මැදපෙරදිග ගොස් තමන්ගේ සහ තම සමීපතමයන්ගේ සිහින සැබෑ කළ අය බොහෝය. සිහින සැබෑ කිරීම පමණක් නොව රටට විදෙස් විනිමය විශාල ලෙස ගෙන ඒමටද ඔවුන් ලබා දුන් දායකත්වය සහ අද මැදපෙරදිග සේවය කරන සහෝදරියන් ලබා දෙන සේවය අපමණය. තම තමන්ගේ පුද්ගලික අරමුණු පමණක් නොව රටේ සිහින සැබෑ කිරීමටද ඔවුන් දක්වන දායකත්වය අපමණය.

එහෙත් අද වන විට තාරුණ්‍යයේ ලස්සන සිහින දකිද්දී ඒ සිහින මතින් වෙනත් පවිටු අරමුණු සඳහා යොමු වූ පිරිසක් පිළිබඳවද පසුගිය දිනවල දැඩි ආන්දෝලනයක් ඇති විය. එනම් නාඹර වියේ තරුණියන් සහ තරුණ කාන්තාවන් විවිධ ලස්සන අනාගතයක් පෙන්වා ඔවුන් රැවටීමය. එහි අරමුණ බවට පත්ව තිබෙන්නේ මෙරට රූමත් තරුණ කතුන් තාවකාලික වීසා සහ සංචාරක වීසා මඟින් මැදපෙරදිග රටවලට යවා ලිංගික වහලුන් බවට පත් කර මැදපෙරදිග ධනවත් සලෙලුන් වෙත අලෙවි කිරීමය.

මෙම මහා ජාවාරම අල ගිය මුල ගිය තැන් මෙරට සිට අරාබියේ ඕමානය, ඩුබායි දේශය වෙත පැතිර ගොස් තිබේ. මෙම මහා ජාවාරමේ එහිදී ජාවාරම්කාරයන්ගේ ප්‍රධාන ඉලක්කය බවට පත්ව තිබෙන්නේ කොළඹ මැද පන්තියේ හෝ තදාසන්න ප්‍රදේශවල පිරිස් නොවේ. ඔවුන්ගේ ප්‍රධානම ඉලක්කය බවට පත්ව තිබෙන්නේ දුරබැහැර ප්‍රදේශවල අව වරප්‍රසාදිත කණ්ඩායම්වල තරුණියන් සහ කාන්තාවන්ය. ජාවාරම්කරුවන් ඔවුනට අලුත් ලෝකයක් පෙන්වා දෙන්නේ රට ගිය ගමන් ඔක්කොම හරි යන අදහස කතුන්ගේ සිත්වල තහවුරු වන ලෙසය.

විවිධ ලියාපදිංචි සහ ලියාපදිංචි නොවූ ඒජන්සිකරුවන් තම ඒජන්තයන් මේ සඳහා යොදා ගෙන තිබෙන අතර එහිදී ඔවුන් තරුණියන්ට මවා පෙන්වන්නේ සුරංගනා ලෝකයකි.,, ඔයාලාට අපි එක්ක එකතු වුණොත් මිඩ්ලිස් ජොබ් එකකින් නොලැබෙන තරමේ ගාණක් හම්බ වෙනවා.,, ඒ කතාවෙන් පසු තරුණියන්ට අලුත් ලෝකයක් ඇස් අභියස මවා පෙන්වීම එතරම් ලොකු දෙයක් නොවේ. මෙරට ගම්බද සුරූපිනියන් වන මොවුනට ලෝකය පිළිබඳ ලොකු දැනුමක් හෝ සමාජය පිළිබඳ අවබෝධයක් නැත. ඒ නිසා ඔවුන් ජාවාරම්කරුවන්ගේ පහසු ගොදුරු බවට පත්කර ගැනීම ඉතාමත් ලෙහෙසි දෙයකි. අත්දැකීම් අඩු තරුණියන් ගුවන් මඟින් ඕමානයට රැගෙන යන අතර, ඉන්පසු දේශ සීමා පසු කරමින් විවිධ මාර්ග ඔස්සේ ගෙන යන ඔවුන් ලිංගික ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට පත්වන්නේ නිරායාසයෙනි.

ඕමානයේ දී තරුණ කතුන්ගේ වෙන්දේසියකි. මේ වෙන්දේසියේදී තරුණියන් සහ තරුණ කතුන් වයස රූමත් බව යන කරුණු අනුව මිල ගණන් තීරණය වේ. රුපියල් ලක්ෂ දහ තුනේ සිට පහළට අලෙවි වන බව තහවුරුව තිබේ. මෙසේ අලෙවි වූ සහ අතරමං කළ තරුණියන් විශාල ප්‍රමාණයක් මැ‍ෙපෙරදිග තානාපති කාර්යාලවල රැඳවුම් නිවස්නවල රඳවා තිබෙන අතර සමහරුනට නැවත මෙරටට පැමිණීමට අවශ්‍ය මුදල් නොමැතිව දැඩි ලෙස අසරණ භාවයට පත්ව සිටිති.

රන්මසු සිහින දකිමින් වැලි කතරට පැමිණි කාන්තාවන් අද පත්ව තිබෙන්නේ රන්මසු නොව තම ළබැඳියන්ගේ මුහුණ හෝ දැක ගැනීමට නොහැකි ඉරණමකටය. මැදපෙරදිග අතරමං කළ මේ තරුණියනට සිදුව තිබෙන්නේ අති අසරණ ඉරණමකට මුහුණ දීමටය. වැලි කතරේ කෙළිබඩු ලෙස අලෙවි කළ මෙම අසරණියන් වෙත අද සිදුව තිබෙන්නෙ කිසිවකුගේ සරණක් නැති තැනකට පත්වීමය. ජාවාරම්කරුවන් තරුණියන් විකුණා ලක්ෂ ගණන් මුදල් තම සාක්කුවලට දමා ගෙන අවසන්ය. දැන් ඔවුනට තරුණියන්ගෙන් වැඩක් නැත. එහෙත් තරුණියන්ගේ තවමත් අනාගත ජීවිතය පිළිබඳ සිහින සම්පූර්ණයෙන්ම වියැකී ගොස් නැත. තමන් පැතූ ලස්සන අනාගතය බොඳ වුවද නැවත තමන්ගේ නෑසියන් ළබැඳියන් වෙත ගොස් නැති බැරිෙකම තුළ ගුළි වී අතට ලැබෙන සොච්චමෙන් හෝ අනාගතය ගත කිරීම තරුණියන්ගේ දැන් එකම අරමුණ බවට පත්ව තිබේ. එහෙත් ඔවුනට ඒ සඳහාද ඉඩක් නොදෙන්නේ මුදල්ය. ලිංගික වහල් ජාවාරම්කරුවන්ගේ අතමිට සරු වුවද අන්ත අසරණ ලිංගික වහල් ජාවාරමේ ගොදුරු බවට පත් වූවන් පැයෙන් පැය දිනෙන් දින විපතට හා අගාධයට ඇදී යති.

නොදැනුවත් කම අත්දැකීම් අඩුකම දුප්පත්කම වැනි ප්‍රධාන සාධක නිසා ලිංගික ජාවාරම්කරුවන්ගේ ගොදුරු බවට පත් වූ මෙම තරුණ කාන්තාවන් නිසා එවැනි අනතුරුවලට පත්විය හැකි තවත් පිරිස් අනාගතය සඳහා පාඩම් ඉගෙන ගත යුතුව තිබේ.

එසේ අප ඉගෙන ගත යුතු පාඩම කුමක්ද නිසි ක්‍රමවේදයන් සහ පිළිගත් ආයතන මඟින් විදෙස් ගතව ජාවාරම්කරුවන්ට වංචාකරුවන්ට හසු නොවී මැද පෙරදිග හෝ වෙනත් විදේශීය රටක සේවය කරන්නේ කෙසේද යන්න ගැන ඉගෙන ගත යුතුය.

ජාවාරම්කරුවනට හෝ වංචාකරුවන්ට හසු නොවී විදෙස් ගත වීමේදී අනුගමනය කළ යුතු නිසි පිළිවෙත් ගැන සැලකිලිමත් විය යුතුය. ලිංගික වහල් වෙළෙඳාම පිළිබඳ කියවෙන මෙම සිදුවීම් ගැන අවධානය යොමු කරද්දී තහවුරු වන ප්‍රමුඛ කරුණක් බවට පත්වන්නේ නිසි වීසා පදනමකින් තොරව සංචාරක වීසා මඟින් විදෙස්ගත වීම, පිළිගත් විදෙස් රැකියා ඒජන්සියක්ද ඔවුන් පෙර වැරැදිවලට සම්බන්ධ වූ ආයතනද යන්න නොසොයා කටයුතු කර ඒජන්සිකරුවන්ගේ රැවටිලිවලට ලක්වීම ලිපි ලේඛන නිසි ලෙස පරීක්ෂා නොකර අත්සන් කිරීම වැනි දේ නිසාද පිරිස් මෙවැනි ජාවාරම්කරුවන්ගේ පහසු ගොදුරු බවට පත්වීමට ඉඩ තිබේ. ලස්සන වචන අසාමාන්‍ය ළෙන්ගතුකම් ගැනද වඩාත් අවධානය යොමු කළ යුතුය. එසේ කටයුතු කිරීමෙන් දැන දැන වළට වැටීම වෙනුවට දැනුවත් බවෙන් මර උගුල‍්වලින් බේරී අනාගත සුබදායක ඉලක්ක වෙත ගමන් කිරීමට හැකියාව ලැබීම නියතය. රජයේ බලධාරීන්ද සඳහන් කරන ආකාරයට නොදැනුවත්කම නිසා අමාරුවේ වැටුණු බව තහවුරු වී තිබේ.

එනිසා තමන් කුමන මට්ටමක සිටියද කුමන ආර්ථික අමාරුවක සිටියද කවරෙකු කුමන චාටු බස් පැවසුවද විමසුම් ඇසෙන් කටයුතු කළහොත් නිසි නුවණින් වැඩ කළහොත් අමාරුවේ නොවැටී සීරුවෙන් අනාගතය ගොඩනඟා ගැනීමට පුළුවන.