සම්බෝලවලට නැතිවම බැරි දෙහි ව්‍යංජනවලට එක් කරන හැටි දන්නවාද?

අප්‍රේල් 28, 2021

 

ප්‍රවීණ සූපවේදී ආචාර්ය

පබ්ලිස් සිල්වාගෙන්

 

 

එළවළු, මාළු, මස්, පලා වර්ග ආහාරයට ගැනීමෙන් අපේ සිරුරට පෝෂණය ලබා දේ. එහෙත් මේවා නිකන් ම තම්බා ආහාරයට ගැනීමට අසීරු ය. ඒවා කටට රස ඇති වන සේ සෑදීමට නම් ඒ සඳහා රස කාරක එකතු කළ යුතුය.

ස්වභාවික රස කාරක එකතු කිරීමෙන් ආහාරවලට රසය මෙන්ම ඖෂධීය ගුණයක් ද ලබා ගත හැකියි. එයට අමතරව ඇතැම් රස කාරකවලින් සුවඳක් මෙන්ම ආහාරයට ලස්සන පැහැයක් ද ලබා දේ. එයට අමතරව ආහාරයේ ඇති පෝෂණීය බව වැඩි කිරීමටත් එහි ඇති ඇතැම් ඌෂ්ණ, සීතල වැනි ගුණයන් වෙනස් කිරීමටත් උපකාරී වේ.

අදත් අපේ රස කාරක 42 න් කිහිපයක් පිළිබඳ අපි වැඩිදුරටත් කරුණු දැන ගනිමු.

 

 

දෙහි

ඉංගී‍්‍රසියෙන් Lime ලෙස හඳුන්වයි. මෙය මුළුතැන්ගෙයට නැතිවම බැරි රසකාරකයකි. පලතුරු කුලයට අයත් දෙහිවල විටමින් සී. බහුලව ඇත. විසබීජ නාසකයකි. මේ නිසා කහ වතුරට දෙහි යුෂ ස්වල්පයක් දමා සාදා ගත් දියරය එදා සිට ම අපි විසබීජ නාසක දියරයක් ලෙස භාවිත කළෙමු.

රෝග බීජ නසයි. ආහාර ජීර්ණය පහසු කරයි. ආහාර රුචිය වඩවයි. ආහාරවලට දෙහි යුෂ එකතු කිරීමේ දී ළිපේ ඇති ආහාරවලට එකතු කිරීමෙන් එහි ඇති විටමින් සී විනාශ වේ. මේ නිසා යම් ආහාරයකට දෙහි යුෂ එකතු කරන්නේ එය ළිපෙන් බාගත් පසු ය.

කොළ මැල්ලුම් ආදිය සඳහා දෙහි යුෂ ස්වල්පයක් එකතු කිරීමෙන් එයට වැඩි රසයක් ලබා ගත හැකිවා මෙන්ම ඉන් එම කොළවල ඇති පෝෂණය නිසි ලෙස සිරුරට උරා ගැනීමට ද මෙය පහසු කාරකයක් ලෙස ක්‍රියා කරයි. සම්බෝල වර්ග, බැදුම් වර්ග ආදියට ද දෙහි යුෂ එකතු කළ යුතුය.

බඩේ ඇතිවන ජීර්ණ අපහසුතා නිසා හටගන්නා බඩේ අමාරු සුව කිරීමට ද දෙහි යුෂ යොදා ගනී. එවැනි දේ සඳහා අත්බෙහෙතක් ලෙස ද දෙහිවලට ඔසුකුටියෙහි වැදගත් තැනක් හිමි වේ.

 

මුරුංගා කොළ

ඉංග්‍රීසියෙන් Drumstic Leaf ලෙස හැඳින් වේ. ඌෂ්ණාධික ආහාරවල ඌෂ්ණය ඉවත් කිරීමේ පුදුමාකාර හැකියාවක් මුරුංගා කොළ සතුව පවතී. විෂ නාසකයක් ලෙසින් ද ක්‍රියා කරයි. සුවඳවත් රස කාරකයකි.

ඉස්සෝ, කකුළුවෝ, දැල්ලෝ වැනි ඌෂ්ණාධික මත්ස්‍ය විශේෂ උයන විට ඒවායෙහි ඌෂ්ණය මැකීම සඳහා මුරුංගා කොළ භාවිත කරයි. මෙය දැමිය යුත්තේ ව්‍යාංජනය උයා හමාර වූ පසුවයි.

මුරුංගා කොළ මැල්ලුමක් ලෙසින් ද ආහාරයට ගත හැකි අතර ඉතාමත් ගුණදායක හා රසවත් ආහාරයකි. කලකට පෙර සෑම නිවෙසක ම වැටට මුරුංගා ගස් තිබීම නිසා නිතර අහාරයට එක්කර ගැනීමෙන් නොදැනුවත්ව ම මේවායෙහි පෝෂණ ගුණය සිරුරට ලැබිණි. නමුත් දැන් දැන් අපේ ඒ භාවිතාවන් එදිනෙදා ක්‍රියාකාරීත්වයෙන් බැහැරව යමින් පවතී.

අමු පැපොල්

Raw Papaw ලෙස ඉංග්‍රීසියෙන් හඳුන්වයි. අමු ගස්ලබු හා ගස්ලබු කිරිවල ඇති රසායනික සංයෝග මාංස ප්‍රෝටීන ජීර්ණය සඳහා පහසුව සලසයි. රුධිරයේ රතු රුධිරාණු ප්‍රමාණය නැංවීමට උපකාරී වේ.

මස්වල ඇති තද ගතිය ලිහිල් කිරීමේ හැකියාවක් අමු ගස් ලබුවල ඇත. ඒ ගුණය පවතින්නේ ගස්ලබු කිරිවල ය. එම නිසා මස් සෝදා කපා ගස්ලබු කොළයක් කඩා සෝදා එම කොළය නවා තරමක් පොඩි වී කිරි එන ලෙස තලා එම කොළය දිගහැර එහි සෝදා ගත් මස් ටික තබා ඔතන්න. දැන් මෙම ගස්ලබු කොළයේ එතූ මස් ටික ශීතකරණයට දමන්න. ඉන්පසුව මෙය එළියට ගෙන නැවත සේදීමකින් තොරව මස් කරිය සෑදීමට ගන්න. මේ වන විට පැපොල් කොළයේ ඇති කිරි මස්වලට කාවැදී අවසන් ය.

නැතිනම් ගස්ලබු ගැට වුවද ව්‍යාංජනයට යෙදිය හැකිය. එහිදී මුලින් ම ගස්ලබු ගැට හොඳින් සෝදා පොත්ත ඉවත්කර නැවත සේදීමකින් තොරව එහි එන කිරි සමඟ ම කැබැලිවලට කපා මස් කරියට දමන්න. මෙහිදී අවශ්‍ය වන්නේ ගස් ලබු කිරි ව්‍යාංජනයට එකතුකර ගැනීමයි.

අමු පැපොල් මැල්ලුම් ලෙස මෙන්ම අච්චාරු ලෙසින් ද සකසයි.

 

හාල්

Rice ලෙස ඉංග්‍රීසි භාෂාවෙන් හැඳින් වේ. පිෂ්ඨය බහුල ය. හාල් පොඟවා අඹරාගැනීමෙන් හා හාල් බැද අඹරාගැනීමෙන් රස වර්ග දෙකක් ආහාරයට එකතුකර ගත හැකියි.

අපි පුරුදු වී සිටින්නේ වට්ටක්කා, පිපිඤ්ඤා වැනි දිය එළවළු හදන විට එහි උකු බව ලබා ගැනීමට බැදගත් හාල් පොල් සමඟ අඹරා දැමීමටයි. නමුත් මේ කාලයේ දී එය එතරම් සුදුසු නොවේ.

අතීතයේ දී මෙන් නොව දැන් පිෂ්ඨය අධික වීම ලෙඩ රෝග වැඩි වීමට හේතුවක් විය හැකි නිසා මේ සඳහා මුං ඇට, කඩල වැනි ඇට වර්ගයක් කබලේ බැද එකතු කිරීමෙන් ප්‍රෝටීන් සිරුරට ලබා ගැනීමටත් ව්‍යාංජනයේ රසය රඳවා ගැනීමටත් හැකි වේ.

මෙහිදී පෝෂණයත් වැඩි වන අතර ඇටවර්ග ආහාරයට ගැනීමට අකැමැති කුඩා දරුවන්ට වක්‍රාකාරයෙන් ඒවා අහාරයට එකතුකර ගැනීමට ද හැකියාව ලැබේ.

 

වතුර

Water ලෙස ඉංග්‍රීසියෙන් හැඳින් වේ. සිරුරේ ක්‍රියාකාරීත්වයට අත්‍යාවශ්‍ය දෙයකි. ආහාර සඳහා වතුර අඩු වැඩි ලෙස යොදා ගැනීමෙන් රසය වෙනස් වේ.

බොහෝ ආහාර වර්ග සැකසීමේ දී මෙන්ම බොහොමයක් පාන වර්ග සැකසීමේ දී ද වතුර යොදා ගනී.