රුව රකින්න අපුරුවට මල් තේ ඇත පාට පාට

ජනවාරි 2, 2023

තේ කියන්නේ ශ්‍රී ලංකාවේ සංස්කෘතියත් එක්ක තදින්ම බැඳුණු ශාකයක්.එක්දහස් අටසිය ගණන්වල ජේම්ස් ටේලර්  ශ්‍රී ලංකාවට තේ ශාඛය රැගෙන ඒමට පෙර අපේ මුතුන්මිත්තන් ගස්වල කොළ මුල් ගෙඩි වගේම පොතුවල සාරයද තේ ලෙස සකසා පරිභෝජනය කරනු ලැබුවා.කෙසේවෙතත් උණුවතුර සමඟ එක්කර ගන්නා බොහෝ දේවලට පොදු නමක් ලෙස තේ යන නාමය භාවිත කළද තේ කොළ සමඟ කිසිදු සබඳතාවක් නොමැති මලින් සකසාගත හැකි මේ පානයන් ඔබටත් නිවෙසේදීම අත් හදා බලන්නට පුළුවන්.

මේ මලින් උපදින තේ ඔබට නිවෙසේදීම ඉතා අඩු මිලට සකසාගන්නට පුළුවන්. ඒ වගේම කිසිදු වස විසකින් තොර මේ මල් තේ ඔබේ සිරුර නීරෝගී කරනවා සේම ඔබේ සමද පැහැපත් කරාවි. මේ මල්  තේ සකසා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණුත් තිබෙනවා.

 

වටපිටාවේ තියෙන මල් වර්ගවලින් තේ හදාගන්නකොට මල් හොඳින් සෝදා ගැනීම ඉතා වැදගත්. ඒ වාගේම පෙති තැලෙන්නෙ නැති වෙන්න තමයි මල් ටික සෝදාගැනීමටත් ඔබ වග බලාගත යුතුමයි. ඒ වගේම පළිබෝධ හෝ කෘමිනාශක ඉසින් ලද මල්වර්ගත් පානයට ගන්න එක සුදුසු නෑ. එමෙන්ම දූවිලි ගහන පරිසරයක නම් එය හොඳින්ම සෝදාගැනීමට මතක තබා ගත යුතුමයි.

 

 

සමන් පිච්ච මල් තේ

 

මිහිරි සුගන්ධයක් තියෙන පිච්ච මල් වේළලා තේ පානයක් සකසා ගන්න පුළුවන්. ආයුර්වේදයේ සඳහන් අන්දමට සිරුර සිසිල් කිරීමේ හැකියාවක් සමන් පිච්ච මල් සතුව තියෙනවා. ඒ වගේම සිරුරේ විස ඉවත් කරන්නත් පිච්ච මල් තේ එකට පුළුවන්. ඇස් පෙනීම වර්ධනය කරන්න වගේම රුධිරගත සීනි මට්ටම පාලනය කරන්නත් සමන් පිච්ච තේවලට හැකියාව තියෙනවා. සිරුරේ විස නසන සමන් පිච්ච මල් ඔබේ සිරුරේ හැඩකාරබව තවත් රැකදේවි.

 

ඔබේ නිවෙසේ ඇති සමන් පිච්ච මල් වේළා ගැනීමෙන් කල් තබා ගන්න පුළුවන්. වේළා ගත් සමන් පිච්ච මල් වතුර බඳුනකට දමා විනාඩි 4-5ක් පමණ උතුරුවා ගන්න. ඉන්පසුව  මල් ටික පෙරා ඉවත් කරගන්න. දැන්  සීනි ටිකක් හෝ හරි කිතුල් හකුරු කෑල්ලක් හෝ සමඟ  පිච්ච මල් තේ රස බලන්න.

 

 නිල් මානෙල් තේ

 

ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය ලෙස සැලකෙන නිල් මානෙල් ඖෂධීය ගුණයෙන් පිරි පුෂ්පයක් ලෙස ප්‍රකටයි. ආයුර්වේදයේ විවිධ රෝග සඳහා නිල් මානෙල් මල් භාවිත කරනු ලබනවා. අතීතයේ පටන් විවිධ රටවල නිල් මානෙල් තේ පානයක් ලෙස ඉතා ප්‍රකටයි.

 

සුව නින්දක් ලබා ගැනීමට වගේම සිරුරේ ශක්තිය වඩවා ගැනීමට නිල් මානෙල් තේ උපකාරී වෙනවා. මානසික ආතතිය දුරුකර සිතේ සතුට ඇති කිරීමටත් නිල් මානෙල්වලට හැකි බව පර්යේෂකයින් පෙන්වා දී තිබීම සුබ කාරණාවක්.

 

නිල් මානෙල් තේ සකසා ගැනීමට අමු නිල් මානෙල් මලක් උතුරන වතුරට දමා විනාඩි 5ක් පමණ වසා තබන්න. ඉන්පසු මල් ඉවත්කර සීනි එක්කර පානයට ගන්න පුළුවන්. මී පැණි එක්කර ගන්න පුළුවන් නම් රසය වගේම ඖෂධීය ගුණයකුත් ලබාගන්න පුළුවන්.

 

මේ ආකාරයෙන් ඔබ අවට පරිසරයෙන් සකසා ගත හැකි ඉහත මල් තේ වර්ග අත් හදාබලන්න.වෙනස සහ සුවය අදම අත්විඳින්න.

 

වැල් දොඩම් මල් තේ

 

නිතර පානයට නොගන්නා නමුත් ඖෂධීය ගුණයෙන් ඉහළ පානයක් ලෙස වැල් දොඩම් මල් තේ හඳුන්වන්න පුළුවන්. නින්ද නොයන පුද්ගලයින්ට සුවදායක නින්දක් ලබා ගැනීමට වැල් දොඩම් මල් උපකාර වෙන බව ආයුර්වේදයේ සඳහන්. ආයුර්වේද වෛද්‍යවරුන් නින්ද නොයන රෝගීන් සඳහා  වැල් දොඩම් මල් තේ එකක් නින්දට පෙර ලබා ගැනීමට  උපදෙස් දෙන්නේ ඒ ඖෂධීය ගුණය නිසාමයි. සිරුර සිහිල්කර ඉහිල් කරනු ලබන වැල් දොඩම් තේ ඔබේ සිරුරේ වේදනාව ක්ෂණිකව සමනය කරනු ඇති.

 

බටහිර වෛද්‍ය විද්‍යා පර්යේෂකයින් සොයා ගත් කරුණු අනුව  වැල් දොඩම් මල් තේ මානසික ආතතිය නැති කිරීමටත් උදව් වන පානයක්.

 

අමු වැල් දොඩම් මල් වගේම වියළාගත් වැල් දොඩම් මලුත් තේ සැකසීම සඳහා  යොදාගැනීමට හැකියි. ඔබේ නිවෙසේ ඇති වැල් දොඩම් මල් වේළාගෙන කල් තබා ගන්නත් ඉන් ශාඛසාර පානය සකසා ගන්නටත් ඔබට  පුළුවන්.

වැල් දොඩම් මල් තේ කෝප්පයක් හදාගන්නේ මෙහෙමයි.

 

වියළාගත් වැල් දොඩම් මල් දෙකකට වතුර එක්කර  තම්බා ගන්න. ඉන්පසු මල් ටික පෙරාගෙන සීනි ටිකක් එක්කර උණුසුම්ව පානයට ගන්න. හකුරු කෑල්ලක් එක් වුණොත් ගුණදායක  වැල් දොඩම් මල් තේ තවත් රසවත් වේවි.

 

උපදෙස්

ආහාර පිළිබඳ පර්යේෂිකා

පංචමී හේවාවිසෙන්ති